You are in
Amazing
HUB
Written by Thejana Abeydeera
මා සිටියේ ඇයගේ පැමිණීම අපේක්ෂාවෙනි. කිසිම නොයිවසිල්ලක් නොතිබුනේ මෙවැනි හමුවීම් මට ඉතා සුපුරුදු ඒවා වූ නිසාය. කෙල්ලකු වෙනුවෙන් බලාසිටීමට සිදුවූ වාර අනන්තය. අනාගතයේදිත් එය එසේම සිදුවනු ඇත. විනාඩි පහක් ගතවන කල්හි ඇය පැමිණියාය. වටපිට බැලූ ඇය වහා මගේ අත අල්ලාගෙන වමත මත කොල කැබැල්ලක් තබා මගේ අත ගුලිකරවා තදකර ආපසු හැරුනාය.
............................... වසර හතරකට පෙර....
සුදු පෙණ කැටි ඇතිකරමින් කලු ගල්වලට වැදෙන ජල පහරක් දැකගත නොහැකි වූවත් තරමක අපිරිසිදු ගතියකින් යුක්තවූ ඒ ජල පහර පාසල් කාලයේ අප සිත් ඇදගත්තා මෙන්ම පාසැල හැරගිය පසුවද අප එතැනට ගෙන්වා ගැනීමට සමත්විය. මසකට අඩුම තරමේ දෙවතාවක්වත් එහි යෑම මගහැරුනේ නැත.
එහි යන හැම වතාවකම අප විවේක ගන්නේ 'මියුරියෙල්' ඇන්ටිගේ කබානාවේ බව අප හුරුපුරුදු සැවොම දනිති. රගර් බෝලයක් අතැතිව ටැප් රගර් ගසනා සික්ස් පැක් ඇති එවුන් අතර අපි ටෙනිස් බෝලයක් රැගෙන සම්බෝල කඩන්නට හෝ බෝල පාස් කරන්නට යොමුවීම අපට මහා ලොකු දෙයක් නොවුනත් එයින් ලැබූ වින්දනය දන්නේ අප පමනය.
මේ සියල්ල වෙනස් කලේ 'ජප්පා' විසින් surfboard එකක් රැගෙන ඒමත් සමගය. එය අපට මහා ලොකු දෙයක් බව නොපිලිගත්තෝ නොවෙති. එහි සිටගෙන surf කිරීම කෙසේ වෙතත් එහි දිගාවී මුහුදු රළ අතරින් යෑම අමුතුම ආශ්වාදයක් ගෙන දුන්නේය. අවුරුදු කාලයට ගමේ හෝ නිවසේ හෝ බඳින ඔන්චිල්ලාවට රණ්ඩු වූයේ කෙසේද ඒ අයුරින්ම අපි surfboard එක සඳහා රණ්ඩු වූයෙමු.
මුහුදට බියක් දැක්වූ 'කසුන්' පවා ඒ පොර කෑම් වලට එක්වූ බව සිහියට නැගෙද්දී දෑස කඳුලින් තෙමීයන්නේ නොදැනීමය. ඔහු අපට අහිමි කලේද මේ මහා සාගරයම නොවෙද? ඒ ගැන කතා කිරීමට ශක්තියක් නැත. ඔහුගේ වියෝවෙන් පසුවද අපි සාගරය හා සම්බන්දය නොනැවැත්වුවේ එයට තිබුන බය නිසාද නැතිනම් කුමක් නිසාද යන්න නිසැකවම කිව නොහී.
කසුන් යන්නම ගොසිනි. තවත් දෙදෙනෙක් ලංකාවේ නැත. එකෙක් ලංකාවේ සිටියද ඌ සිටින්නේ අනුරාධපුරයෙනුත් එහා වන්නි ප්‍රදේශයකය. තවත් එකෙක් බොරලැස්ගමුව අවට සිටියද ඌව සම්බන්ද කර ගැනීමට වඩා ගිම්හානයේ හිම මිනිසෙක් සෑදීම පහසුය.
මේ නිසාවෙන් අප හමුවීම් වලට ඉතිරිව සිටියේ මාත් තව දෙදෙනෙකුත් පමණකි. තව වැඩ කිහිපයක් කර ගැනීමට තිබුන නිසාවෙන් මා කෙලින්ම ගල්කිස්ස වෙරළ තීරයට පැමිනෙන බව යහලුවන් දෙදෙනාට පවසා ඒ වැඩ සඳහා පිටත් වුනෙමි.
මේ කාලය මට මෙන්ම මගේ බිරිඳට සතුට ඉහවහා ගිය කාලයක් ලෙස හැඳින්විය හැකිය. ඇය සිටියේ කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා දින ගනිමිනි. ඇය සමග ගතකළ යුතු කාලය වැඩිවූ අතර ඉඩක් ලැබුන සැනින් යහලුවන් සමග ගල්කිස්සේ යෑම මා ප්‍රිය කලෙමි. කලින් අවස්ථාවල නම් මේ ගමන් ගැන බිරිඳ දැනුවත් වුනත් මේ අවස්ථාවේදී ඇයට බොරුවක් පවසා ගියේ එසේ තනිවම විනෝද වීම යුක්ති සහගත නොවේයැයි මා පිළිගත් නිසාවෙනි.
සිතුවාට වඩා ඉක්මනින් වැඩ සියල්ල අවසන් කරගත් මම යහළුවන්ට ඇමතුමක් නොදමාම ගල්කිස්ස වෙරළ තීරය වෙත යන්නට පිටත් වුනෙමි. ගමන සඳහා වැඩි වේලාවක් ගත නොවූයේ කොළඹින් ඉවතට වාහන තදබදයක් නොපැවතුන හෙයිනි. ගල්කිස්ස උසාවිය අසලින් බස් රථයෙන් බැසගත් මා පාර මාරුවී වෙරළ දෙසට පිහිටි පටු පාර දිගේ ඇවිද ගියෙමි.
වෙරළ අසලට යන්නට විනාඩි දෙකක් තුනක් ගතවන්නට ඇත. අප හමුවන ස්ථානයේ ඔවුන් නොසිටි නිසාවෙන් මම ඇමතුමක් ලබාගතිමි.
'මචන් මම ඇවිල්ලා ඉන්නේ..උඹලා කොහේද'
'අඩෝ උඹ කලින් ආවද..විනාඩි පහක් දීපන් අපි එන ගමන් ඉන්නෙ. වෙලා වැඩි නිසා අපි රේල් පාර දිගේ හිමීට ඇවිදගෙන එන්න හැදුවෙ'
'ඉක්මනට වරෙල්ලා බන්..මට බඩගිනිත් එක්ක. බඩු ටික උඹලා ගේනවනේ..'
'හරි යකෝ ..හිටපන්..කම්මැලි නම් සුද්දියෙක්ගේ ගලක් දිහා බල බල හිටපන්'
සංවාදය තවදුරත් ගෙන ගියද ඒවා මෙහි සඳහන් කරනු නොකැමෙත්තෙමි.
උන් දෙදෙනා රේල් පාර දිගේ එනවා කී නිසාවෙන් මා රේල්පාර දෙසට පැමිනියේ මුහුද දෙස බලා හිඳීමට ඇති නොකැමැත්ත නිසා නොවේ. සමහරවිට බඩගින්න නිසා වන්නට පුලුවන. වෙනදා රේල පාරේ හිඳගෙන ඔලුවේ තඩි නැත්නම් උකුණන් බලවා ගන්නා දැරිවියන් සිටියේ නැත. රේල්පාරේ වාඩිවී සිටිනා කැහැටු මිනෙසෙකු හැරෙන්නට රේල් පාර පාලුය.
මම අනික් පසට හැරුනෙමි.
අනික්පස දර්ශනයට හාත්පසින්ම වෙනස් එකක් නිසා මා එදෙසම බලා සිටියෙමි. අපේ ආච්චිලා සීයලා කියන වචන වලින්නම් 'සීදේවී' ගෑණු ළමයෙකි. ඇය සිටින්නේ තනිවමය. නිල්පාට ඩෙනිමක් සහ රෝසපාට බ්ලවුස් එකක් ඇඳ සිටි ඈ ඇත්තටම ලස්සනය. තරමක මහත..නැත්නම් පොඩි චබ්බ ගතිය නිසා ඈ පිරිපුන් එකියක් යැයි කීමට සිත්දේ...සුදු හමට ඇලුනු රෝසපාට බ්ලවුසය ගෙනදුන්නේ 'Wow she is damn hot' යනුවෙන් මුහුදු සුළඟට මුසුවුන සුසුමකි.
මේ සිරිය විඳින්නට ගතවුනේ විනාඩියකටත් අඩු කාලයකි. ඇය බලා සිටින්නේ මා දෙසය, නැතිනම් මා පිටුපස මට වඩා කඩවසම් තවකෙකු සිටී.
'තෝ වගේ පිස්සෙක්..' මටම කියාගත් මා කොයිකටත් කියා පිටුපස බැලුවෙමි. කිසිවකු නැත. සුළඟටත් නොදැනෙන සුසුමක් හෙලූ මා නැවත ඈ දෙස බැලීමි.
ඇගේ මුහුණේ සිනහවක් නොතිබුනද දුකක් තිබුනා කියාද මතකයක් නැත. ඒ මුහුණ ඇත්තටම අමුතුය. ඈ පියවරක් ඉදිරියට නැතිනම් මා දෙසට පියවරක් තැබුවාය. කොතරම් කෙල්ලන් ආශ්‍රය කර තිබුනද ඒ මොහොත කකුලේ මහපට ඇඟිල්ල පොළොව දෙසට නැවෙමින් බිම හෑරීමට පටන් ගති.
ඇයගේ අත්වල කිසිවක් නොමැත. අඩුම තරමේ උරහිසේ Handbag එකක්වත් එල්ලාගෙන නැත. පියවර වෙනස් කළ ඈ රේල්පාර මැදට පැමිණියාය.
කිසිවක් සිතාගත නොහැකි මම ඈ දෙසම බලාසිටියෙමි. පසුපසින් දුම්රියක හඬ ඇසේ. වහා දුම්රිය එන දෙස බැලූ මම නැවත ඈ දෙස බැලුවෙමි. ඇය පෙර ලෙසම රේල්පාර මැද සිටගෙන සිටී. දුම්රියේ ශබ්දය එන්න එන්නම වැඩිය. මා කෑ ගසීමට උත්සාහ කලත් එය ව්‍යර්ථ වූවේය. ඇය රේල්පාරෙන් ඉවත්වන අයුරක් පෙනෙන්නට නැත. ඇගේ මුහුණ කිසිම වෙනසක් නොපෙන්වයි. මට කලිනුත් තේරුම් ගැනීමට නොහැකිවූ ඇගේ මුහුණ එලෙසමය.
මා කිසිවක් සිතුවේ නැති බව මට හොඳාකාරවම මතකය. අප දෙදෙනා අතර තිබුනේ අඩි දහයක පමණ පරතරයකි. මා හැකි වෙර යොදා ඈ අසලට දිව්වෙමි. ඇයව දෑතින් බදාගත් මා ඈ තල්ලු කරගෙනම නමුත් ඇය දැඩි ලෙස ග්‍රහණය කරගෙනම රේල්පාරෙන් ඉවතට පැන්නෙමි. එසැනින් දුම්රිය අප පසුකර ගියබව දුටුවෙමි. ලඟම පිහිටි අවන්හලක සිටි මිනිසෙකුගේ කෑ ගැසීම නිසා සුලු මොහොතකදී සෑහෙන පිරිසක් අප දෙදෙනා වටකර ගත්තෝය.
මම ඇයව වත්තම් කරගෙන නැගිට්ටෙමි. අසල සිටි පිරිස මොනවදෝ කියමින් කෑ ගසති. මම ඇයගේ මුහුණ දෙස බැලුවෙමි. දෑස්වල, කම්මුල් වල කඳුලු තිබුනේ නැත.
'යකෝ අපි දැක්කා ඈතදී සීන් එක. මොකද්ද යකෝ උනේ'
මගේ යහලුවන් දෙදෙනාද පැමිණ ඇත. රැස්ව සිටි පිරිස තවමත් කෑ කෝ ගසති. සමහරු මගේ කරෙන් අල්ලාගෙනය. කොල්ලන් පිරිසක් ඇයව මගෙන් වෙන්කොට ප්‍රශ්න කිරීමක යෙදී සිටී. ඇය නිහඬය.
කරේ තිබූ අත් ගසාදැමූ මා ඉක්මනින් ඇය වෙත ගියෙමි. ඈ මා වෙතට පැමිනියාය.
'I cant undestand what they are saying' ඇය පැවසුවාය.
දැන් නම් ඇයගේ මුහුණේ යම් තැති ගැනීමක සළකුණු ඇත.
'Ok dont worry. You are not Srilankan?'
'No. Im from Maldives'
'මචන් මේකි මොල්ඩිවුස්. සිංහල තේරෙන්නෙ නෑ. අපි මේකිව ගෙදර ගිහිල්ලා බස්සමු. නැත්නම් තව මොනව කරගනීද දන්නෑ' මම යහලුවන්ට කීවෙමි.
අසල සිටි කොල්ලන්ට සහ අනෙකුත් අයට මම කරුණු පැහැදිලි කර දුන්නෙමි. ඒ පොඩි වෙලාවට උන් වෙනමම කතාවක් හදාගෙන තිබුනි. මම සහ මේ මාලදිවයින් කෙල්ල අතර සම්බන්දයක් ඇති බවත් මා අතින් අනාථවීම නිසා කිසිවක් කරගත නොහැකි ඈ සියදිවි නසාගන්නට ගිය බව වෙරළ තීරයටම පැතිරවීමට ඔවුන් සමත්වී තිබුනි.
උන් කිසිම බයක් සැකක් නැතිව ඒ පිළිබඳව විමසීම මා කුපිත කරවීමට සමත්විය. යහලුවන් දෙදෙනා නොමැති වන්නට එතැන එක්කෝ මා පිහි ඇණුමකට ලක්වන්නට හෝ දැඩි ලෙස පහර කන්නට ඉඩ තිබින. මේ අතර පොලිස් බයික් දෙකක් පැමිණ අප අසලම නැවැත්වීය. ඒ නිසාවෙන් රැස්ව සිටි පිරිස මදක් පිටුපසට වූවෝය.
'119 එකට කෝල් එකක් ආවා suicide attempt එකක් කියල. කවුද suicide කරගන්න හැදුවේ. ඔයාද? පොලිස් මහතෙකු ඇය දෙසට හැරී ප්‍රශ්න කළේය.
'සර්..එයා ලංකාවෙ නෙමෙයි. මෝල්ඩියුස්..සිංහල බෑ' මම පැවසුවෙමි.
'ඔයාගේ මෙයත් එක්ක තියෙන සම්බන්දෙ මොකද්ද?'
'ම..මගේ..එහෙම සම්බන්දයක් නෑ. මම තමයි මෙයාව බේරගත්තේ'
'ඇත්ත කියනවා. මේකේ බරපතලකම දන්නේ නැද්ද. හිරේ යන්න වෙන වැඩක්. බොරු නොකිය කරුණාකරල අපිට ඇත්ත කියනවා'
'ඇත්ත තමයි කියන්නේ සර්' 'මේක ඇහින් දැක්ක කවුද ඉන්නෙ'
නොසන්සුන් වූ පිරිස ගේ හඬ නිසා ඉන්පසු කියූදේ පැහැදිලිව ඇසුනේ නැත. ඉදිරියට පැමිණි වයස හතලිහක පමණ පුද්ගලයෙකු කතා කරන්නට විය.
'රාලහාමි..මම මේක දැක්කා. මේ ගැණු ළමයා ගොඩක් වෙලා ඉඳලා රේල්පාරෙ හිටියෙ'
'එතකොට තමා කොහෙද හිටියෙ. මොනව කරමින්ද හිටියෙ'
'මම අර රෙස්ටුරන්ට් එකේ උඩ තට්ටුවේ එලවලු කප කප හිටියෙ'
'හ්ම්ම්..ඉතින් ..ඊට පස්සෙ'
'මම හිතුවෙ කෙල්ල, කොල්ල එනකම් ඉන්නව කියල. එතකොට මේ මල්ලි බීච් එක පැත්තේ ඉඳලා ආවා'
'ඉතින්..' පොලිස් නිලධාරියාගේ හඬ උස්විය.
'මේ මල්ලිත් කෙල්ල දිහා බලන් හිටියා' 'දෙන්නා කතාබහ කලාද' 'නෑ රාලහාමි. මුකුත් කතාකලේ නෑ. පස්සෙ කෙල්ල රේල් පීල්ල මැදට ආවා. ටිකකින් කෝච්චියක් එන සද්දෙ ඇහුනා. මම කෑගැහුවා. කෝච්චියේ සද්දෙට ඇහුනේ නැතුව ඇති. දෙන්නගෙන් කවුරුවත් මගේ දිහා බැලුවේ නෑ' 'ඉතින්..'
'පස්සෙ..පස්සෙ..ඒක දකිනකොටත් මගේ ඇඟ හීතල වෙලා ගියා රාලහාමි.
මේ මල්ලි කෙල්ල දිහාවට දුවගෙන ගිහිල්ලා කෙල්ලත් එක්කම රේල් පාරෙන් එලියට පැන්නා. දශමයයි තිබ්බෙ. මම හිතුනේ දෙන්නම ඉවරයි කියල. මම කෑ ගහගෙන පල්ලෙහාට දුවගෙන ආවා'
'තමා මොනවද දැක්කෙ'
'මේ දෙන්නා රේල් පාරෙ එහාපැත්තෙ වැටිලා ඉන්නව. මම කෑගහගෙන ලඟට දිව්වා. මම හිතුවෙම මැරිලා කියලා. මොකද දෙන්නා හෙලවුනේවත් නෑ' තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් දෙදෙනා මාගෙන් තව ප්‍රශ්න වැලක්ම ඇසුවෝය.
පසුව මගේ යහලුවන්ගෙන්, අවට සිටි එකෙක් දෙන්නෙක්ගෙන් ප්‍රශ්න කළ ඔවුහු මාගේ ආධාරයෙන් මාලදිවයින් කෙල්ලගෙන් ප්‍රශ්න කිරීම ඇරඹීය.
ඇය දැඩි ලෙස නොසන්සුන් වී සිටි අතර ඔවුන් අසන ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දීමෙන් වැලකී සිටියාය. ඇය සතුව අන්න්‍යතාව තහවරු කිරීමට කිසිම ලියකියවිල්ලක් හෝ පාස්පෝට් එක පවා තිබුනේ නැත. එය තම නිවසේ තිබෙන බව ඇය පැවසුවාය. එසේනම් නිවසට ගොස් භාරකාරයන්ට මේ පිළිබඳව පවසා පාස්පෝට් බාරදෙන ලෙසට ඇයට නියෝග කෙරුනි. නමුත් ඇය තරයේ කියා සිටියේ නැවත නිවෙසට නොයන බවත්, එසේ ඇයට බලකලහොත් නැවත කොයිම හෝ වෙලාවක සියදිවි හානිකරගන්නා බවත්ය.
භාරකාරයන්ට සිද්දිය සැල කිරීමද ඇය නැවත සියදිවි හානිකරගැනීමට හේතුවක් විය හැකි බව ඇය පැවසුවාය. පොලිස් නිලධාරීන්ට පවා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිත් සිතාගත නොහැකි වූවා විය යුතුය.
'මල්ලි ..ඕයි මේ අහනවා. තමුසේට තේරෙනවා නේද. අපිට කෝල් එකක් ආපු නිසයි අපි ආවෙ. 119 කෝල් එකක බරපතලකම තේරෙනව නේද? මේ කෙල්ලට තේරුම් කරන්න බෑ. මේකිව පොලිසියට අරන් යන්න පුලුවන්. ඒත් එහෙම කළොත් උඹට ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි..'
'අයියේ ..මට පොඩ්ඩක් කෙල්ලට කතා කරන්න දෙන්න. මම කොහොමහරි හිත හදන්නම්. නැත්නම් කෙල්ල ආයේ suicide කරගන්න හැදුවොත් බේරගන්න බැරිවෙයි..ප්ලීස් අයියේ..'
'යකෝ උඹ කතාකරන විදියට හිතෙන්නෙ උඹයි මේකියි අතරෙ ඇත්තටම සම්බන්දයක් තියෙනව කියලනේ..'
'නෑ අයියේ එහෙම දෙයක් නෑ..මමයි මෙයාව බේරගත්තේ. මට පොඩ්ඩක් කතාකරන්න දෙන්න..මම කැමති කරවගන්නම කෙල්ලව ගෙදර එක්කගෙන යන්න'
'හරි..ඉක්මනට කතා කරනවකො...මෙ තමුසෙලා මොනවද වටවෙලා බලන් ඉන්නෙ. යනවලා. අපි ඉතුරු ටික කරගන්නම්' ඔහු කෑ ගැසීය.
ඇය මා හා කතා කිරීම ඇරඹුවාය. ඇයට වයස අවුරුදු දහ හතරකි. පහළොස්වෙනි උපන්දිනය යෙදී ඇත්තේ හෙට දිනයටය. ඇය ලංකාවේ කොල්ලෙකු සමග ආදර සම්බන්දයක් පවත්වන අතර ඔහු මැයට පිටුපා වෙනත් කෙල්ලකු හා සිටීමේදී ඇයගේ අතටම අසුවී ඇත. ඒ පිළිබඳව ඇතිවුන කළකිරීම, තරහව මිශ්‍රවුන හැඟීම් නිසා ඇය දිවි නසාගන්නට තීරණය කර තිබුනි.
මම හැකිපමන ජීවිතයේ වටිනාකම ගැන ඇයට පැහැදිලි කර දුන්නෙමි. ඇය අසා සිටියාය. කෙසේහෝ නිවෙස බලා යාමට ඇය කැමති කරවා ගත්තෙමි. නමුත් ඇය කියා සිටියේ පොලීසිය නොපැමිනිය යුතු බවයි. එයට කැමැත්ත පලකරනවා ඇරෙන්නට වෙනත් පිළියමක් නොතිබුනි. පොලීසියට කරුණු පැහැදිලි කර දුන්නද ඔවුන් ඇයගේ නිවසට පැමිනිය යුතුම බව පැවසුවෝය.
'හරි..අයියේ මම කෙල්ලව ත්‍රීවීලර් එකක දාගෙන යන්නම්. අයියල නොදැනෙන්න ෆලෝ කරන්න. නැත්නම් කෙල්ල ආයේ කලබලයක් කලොත්..'
ඇත්තටම ඒ පොලිස් නිලධාරීන් දෙදෙනා මා ගැන සිතූ නිසාවෙන් එයට කැමති වූවෝය. මා ඇය සමග ත්‍රීවීලර් රථයක ඇයගේ නිවෙස බලා පිටත් වුනෙමි. මා සමග මගේ යහලුවන් දෙදෙනාද පැමිනියෝය. ත්‍රීවීලරයේ යෑම අපහසු වුවද යහලුවන් දෙදෙනා සිටියේ එකා අනෙකාගේ ඔඩොක්කුවේය. යන අතරතුර මා ඇගෙන් දුරකතන අංකය ඉල්ලුවෙමි. එය යහපත් චේතනාවෙන් කළ ඉල්ලීමක් විය. ඇයට එය මතක නැති බවද ඇගේ දුරකථනය ඒ මොහොතේ ලඟ නැති බවද පැවසුවාය. ඒ වෙනුවට ඈ මගේ අංකය ඉල්ලා ගත්තාය. කුඩා කොල කැබැල්ලක මම මගේ අංකය සටහන් කර දුන්නෙමි.
ඉන්පසු සිදුවූ සිද්දි දාමය කීමෙන් මා ඔබ වෙහෙසට පත් නොකරමි. මහත්වූ ආයාසයකින් අනතුරුව පොලීසියෙන් කිසිම ප්‍රශ්නයක් නොවී ඇය ඇගේ නිවෙසට ඇරලවූ අතර මා ඇතුලු යහලුවන් දෙදෙනාද නැවත පැමිනියෙමු. මා කළ වැඩේ බරපතලකම පොලිස් නිලධාරීන් දෙදෙනා මෙන්ම මගේ යහලුවන් දෙදෙනා නැවත නැවත පවසන්නට වුවෝය. එම පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවට වෙන නිලධාරීන් දෙදෙනෙකු මේ සිද්දියට පැමිණියානම් මා සිර ගෙයි කූරු අතර සැඟවෙන්නට ඉඩ තිබුනි. තව දශමයක් එහාමෙහා වුනානම් ජීවිත ගනනාවක ඉරණම කෙසේ වෙනස් වන්නට තිබුනාද? මා සහ මාලදිවයින් කෙල්ල ජීවිතක්ෂයට පත්වනු ඇත.
පැතිරෙන කටකතා සවන් වැකෙන මාගේ බිරිඳ කුමක් කරගනීද? ඇය සහ කුස තුල සිටින දරුවා කෙසේ මේ සඳහා වන්දි ගෙවයිද? මගේ අම්මා තාත්තා.... මා සමග පැමිණි යහලුවන් දෙදෙනා..ඔවුන්ගේ පවුලේ අය.... මේ නිසාවෙන් මාතුල ඇතිවූ මානසික පීඩනය ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැතැයි සිතමි. ..............................
මම කොල කැබැල්ල දිගහැර බැලුවෙමි.
'You gave me life. You gave me a reason to live. By the way Im wearing the smile you gave me. Thank you sir!!!'
දිගු සුසුමක් පිටකල මා ඈ දෙස බැලුවෙමි. ඈ පුටුවෙ වාඩිවී මේසය මතට දෙ අත් තබාගෙන සිටී. සෙමෙන් ගොස් මට තබා තිබූ අසුනේ වාඩිවුවෙමි.
'Alright...Good evening'
'Good ....evening sir..'
' So, today is the first day of the class. mmm...This will be a revision class and I hope school teachers have covered all the relevant chapters'.
'Sir...there was a chapter..they couldnt cover. But you did..' ඇය සෙමෙන් පැවසුවාය...
තේජන අබේදීර
Written by Thejana Abeydeera
නුගේගොඩින් බස් එකට නැග්ගෙ ඉක්මනට යන්න බලාගෙන. බස් එකේ සෙනග වැඩිය හිටියේ නෑ. ජනේලේ අයිනේ සීට් එකේ වාඩිවෙලා ඔලුවත් සීට් එකට හේත්තු කරගත්තෙ මහන්සිය නිසාමයි. විනාඩි දහයක් වගේ නින්ද යන්න ඇති. ඇහැරල බලනකොට තාම මහරගම. බස් එක හෙලවෙන්නෙවත් නෑ. අවුරුදු දවස්නෙ. ෆෝන් එක අතට අරන් කෝල් එකක් ගන්න හදලත් ආයේ ඕනේ නෑ කියල හිතුන.
පමුණුව පාරට යන පැත්තේ පාරේ සෙනග පිරිලා. ඒ එක්කෙනෙක්ටවත් මට තරම් ප්‍රශ්න නැතුව ඇති කියල හිතුනෙ නිකමටම නෙමේ.
මහරගම ඉඳල කොට්ටාවට යන අතරතුර පර්ස් එකේ තියන සල්ලි ටික පස් හයපාරක්වත් ගනින්න ඇති. ඉස්සර මාරු සල්ලි කරදරයක් කියල එහෙමෙහෙ විසිකලාට අද ....ඒවත් ගනන් කිරීමට එකතුවුනා. රුපියලේ දෙකේ කාසි වල පවා තිබුනෙ පුදුම ආඩම්බරයක්.
ඒ අතරේ ආපහු එකපාරටම මතක්වුනා කුරුටු ගාපු නෝට්ටු දැන් පාවිච්චි කරන්න බෑ කියල.
ගැස්ට්‍රයිටිස් හැදෙන්න වගේ බඩ ඇතුලෙන් හීනියට රිදුමක් ආවා. ආයෙත් ගනන් කරා. ගනන් කරනවාට වඩා නෝට්ටු දෙපැත්ත පෙරලල බැලුවා. ඔව් මට මතක තිබුනා හරි. එක දාහේ කොලේක පෑනෙන් ලියල තිබුනා.
'පර බල්ලො..මුන් සල්ලි පාවිච්චි කරන්න දන්නෙ නෑ. අපි එපැයි දැන් ඕවට බැංකු ගානේ යන්න ඕනේ'
මම හිතෙන් බැන්නා. තව තව දේවල් කිය කිය බැන්නා. සමහර ඒවා වචන විදියට මිමිනුනාද කොහෙද.. හෙට අවුරුදුනේ. බැංකුවල සල්ලි හෙට මාරුකරයිද. දැන් ඒවා මාරු කරන්න දීපු කාලේ ඉවරයි කියල ගන්න බෑ කියයිද? මගේ පපුව දන්න ගත්තා. බස් එකේ උඩ රැක් එකේ වතුර බෝතල් තියෙනවා මට මතක්වුනා. ඉස්සිලා පිටිපස්සෙ ඉස්සරහ දෙකේම බැලුවා. වතුර බෝතලයක් තිබ්බේ නෑ.
ඔලුව ඉස්සරහ සීට් එකේ බාර් එකෙන් තියාගත්ත මම කල්පනා කරන්නට වුනා. 'කොට්ටාව බහින්න...කොට්ටාව ටිකට් ගත්ත ඔක්කොමල බහින්න'
බස් එක අද්දන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මට බැහැගන්න පුළුවන් වුනා. ගෙදරට මුකුත් අරන් ගියොත් අපරාදේ..මම ගෙනියන දේවල් අත්‍යවශ්‍යම ඒවා නෙමෙයි නම් කිසිම වැඩක් නැතිවෙනවා. තාත්තා ගේ අතට සල්ලි දෙනවා. එතකොට ඕනකරන දෙයක් ගනීනේ.
පහුගිය සති දෙකටම මම වියදම් කලේ රුපියල් එක්දහස් හයසිය තිස් හතයි.
ඒවත් ඕනම දේවල් වලට විතරයි. සීනි, පාන්පිටි, පාන්, බිත්තර, සෝයාමීට් වලටයි, පොඩි එවුන්ගේ බේත් වලටයි ගමන් වියදම් වලටයි තමයි ඒවා වියදම් වුනේ.
පොඩි උන් අවුරුද්දට අලුත් ඇඳුම් ඉල්ලුවේ නෑ. බිරිඳ ලඟ එකතු කරගත්තු සල්ලි වගයක් තිබිලා උන්ට ටී ෂර්ට් දෙකක් අරන් දුන්නා. අවුරුද්ද හැමෝටම මෙහෙමද..
නෑ නෑ එහෙනම් වෙනදටත් වඩා පමුණුවේ සෙනග ඉන්නෙ කොහොමද ...
කොටාවෙන් බැහැපු මම ගෙදරට යන බස් එකේ නැගලා දහතුනේ ටිකට් එකක් ඉල්ලනකොට මතක්වුනා කලින් මම මේ දුර ත්‍රීවීලර් එකේ රුපියල් 150 ක් දීලා යනහැටි.
'ආ..මහත්තයා කොහොමද ..අම්මලගේ ගෙදර යනවද? හොදයි හොදයි අවුරුද්දට ගෙදර යන්නත් එපැයි' සූකිරි විකුණන මල්ලි බස් එකට නැගලා. කියවගෙන යන ගමන් පුරුදු විදියට සූකිරි පැකට් දෙකක් දික්කලා. 'අනේ මල්ලි අද එපා..'
මට වෙන කියන්න දෙයක් තිබුනේ නෑ. හැමදාම කොට්ටාවෙදි ඔහුව දැක්කොත් සූකිරි පැකට් දෙකක් ගන්න මම අද නොගන්නේ ඇයිද කියල ඔහු බලාගෙන හිටියෙ හිතාගන්න බැරුව වගේ.
පස්සෙ ඔහු හිනාවෙලා යන්න ගියා. ඒ හිනාව සමච්චලයට දාපු එකක් නොවන බව මට හොඳටම තේරුම් ගියේ ඔහුගේ මුහුණේ ඉරියව් දැක්කහම. ගෙදරට යනකොට තාත්තා වත්ත සුද්ද කරනවා.
'බස් එකේද ආවේ?' මම හිස වනාගෙන ඇතුලට ගියා.
'කෝ පොඩ්ඩො'
'ලොක්කට සනීප නෑ. ඊයෙත් ලේඩි රිජ්වේ එක්කගෙන ගියා'
නයින්වෙල්ස්, ඩර්ඩන්ස්, ලංකා ගිහින් ඉන්ශුවරන්ස් ක්ලේම් කරපු කාලේ මතක්වුනා.
'අම්මා කෝ' 'නිදි තාම ..වැටුන එකේ අමාරුව තාම තියෙනවා'
'මට වතුර තිබහයි. වතුර එකක් බීලා එන්නම්' මම කුස්සියට ගියේ ඇත්තටම වතුර තිබහ නිසා නෙමෙයි. ෆ්‍රිජ් එක ඇරල බැලුවා. ඒක ඕෆ් කරල..ඇතුල හිස්.
එලවලු කූඩේ තිබ්බේ මාලුමිරිස් කරලකුයි, කැරට් අල දෙකකුයි. මම හිතුවා හරි. තාත්තා කවදාවත්ම අමාරුකම් කිව්වේ නෑ. මට එදා කෝල් කරපු වෙලාවෙ නිකන් හිතුනා මේ දවස්වල අපිට වගේමයි කියලා. කුරුටුගාපු නෝට්ටුව යකාට ගියාවේ.
ඒක මට තියාගෙන ඉතුරු ඒවයින් තාත්තට දෙනවා. තාතතයි මමයි වෙනදා වගේ රටේ ප්‍රශ්න පත්තර විස්තර ඔක්කොම කතා කරල තමයි ගෙදර ප්‍රශ්න වලට බැස්සෙ. තාත්තා කියන්නේ ගොඩක් අඩුකරලා. මාත් ඉතින් ගොඩක්ම අඩු කරලා කිව්වෙ.
'හෙට අවුරුදු නිසා කඩවල් ගොඩක් වහයි. වැස්සකුත් එනවනේ. මම දැන් යන්න හදන්නෙ. යන ගමන් තාත්තාත් යමු ගිහිල්ලා බඩු ටිකක් ගමු' මාගේ පෙරැත්තය නිසාම කුඩයකුත් අරගෙන තාත්තා මාත් එක්ක යන්න එලියට බැස්සා.
අම්මට වැඳලා මාත් අවුරුද්ද පහුවෙලා එන්නම්කෝ කියාගෙන පිටත්වුනා. කඩවල් ගොඩක් වහලා තිබුන නිසා ෆුඩ් සිටියට යන්න අපි තීරණය කළා. මම ගනන් හදල එක ගොඩකට ගහපු සල්ලි ටික අරගෙන තාත්තා ගේ අතේ තිබ්බා.
'දැනට මේකෙන් ගමු'
'මේක තියාගන්න. අමාරු වෙලාවනේ. අම්මටයි මටයි එච්චර දේවල් ඕන වෙන්නෙ නෑ' තාත්තාට තේරෙන්න ඇති මම දුන්න ගානෙන් මම මේ දවස්වල දුවන හැටි.
'නෑ නෑ ඔය ටිකෙන් ඕනම කරන ටිකක් හරි දේවල් ගන්නකො' මගේ කටේ බලේට තාත්තා ෆුඩ් සිටිය ඇතුලට ගියා. මම කෑශ් කවුන්ටර්ස් අසලම ෆෝන් එක බලමින් සිටියා. ටික වෙලාවකින් කවුන්ටර් එක ලඟ තාත්තා ගේ කටහඬ ඇහෙනවා.
'ඉන්න බලන්න ..ඕක අයින් කරන්න එපා. බෝංචි ටික අයින් කලොත් ගාන හරිද'
'නෑ සර් ඒත් තව ...පොඩ්ඩක් ඉන්න බලන්න...ඒත් තව රුපියල් හැත්තෑවක් මදි'
මම එතැනට යනකොට තාත්තා එලවලු එකින් එක අයින් කරනවා. 'ඉතින් සර් ..ඔය චොකලට් එක අයින් කරන්න. එතකොට ගාන හරියටම හරි'
'නෑ නෑ එපා..ඉන්න ..දැන් බලන්න....'
තාත්තා කියවගෙන යනවා.
'තාත්තේ මොකද්ද ප්‍රශ්නේ. කීයක් මදිද' එහෙම ඇහුවට මට දෙන්න තියෙන්නේ අර කුරුටුගාපු දාහේ කොලෙයි තව මාරු කාසි වලින් දහසයකුයි විතරයි. මට අතින් සංඥා කළ ඔහු විනාඩියකින් පමන ගැටලුව විසඳගෙන ආවා.
'ඉස්සර ඉඳලම චොකලට් වලට ආසයිනේ. මෙන්න මගෙන් අවුරුදු තෑග්ගක්'
මා කුඩා කළ සිටම කැන්ඩොස් කැශූනට් චොකලට් පෙරේතයෙකි. අඩුම තරමේ මගේ පුතුන්වත් එලෙස නැත. මා උසස්පෙළ පන්තියේදී දවසක තාත්තා කැශූනට් එකක් අරන් දුන්නා මතකය. මගේ කැශුනට් චොකලට් එක නිසාවෙන් ඔහු එලවලු වර්ග කිහිපයක් ගත් බඩු වලින් ඉවත් කර තිබුනි.
රුපියල් එකසිය විස්සක් මගේත් ඔහුගේත් හිත් එක්ක කොහොම ඔට්ටු වූවාදැයි හරියටම කිව නොහේ.
'එක්ස්කියුස් මී මිස්...එක්ස්කියුස් මී...'
කවුන්ටර් එක ලඟින් නැගුන හඬ මා ඉබේම ඒ දෙස මා නෙත් යොමුකිරීමට සමත්විය. කවුන්ටරයේ සිටි කෙල්ලගේ දෑසින් කඳුලු බේරෙනු දුටුවෙමි.
ඈ බලා ඉන්නේ මා දෙසද..ඔව් මා දෙස බව ස්ථීරය. මගේ වමත මගේ වම් ඇසට ගියේ ඉබේමය. එහි කඳුලුය.
කවුන්ටර් එකේ පෝලිමේ සිටි මිනිසාගේ හඬට ඒ දෙස බැලූ ඈ නැවත මාදෙස බලා නැගූ සිනාව සුකිරි මල්ලීගෙන් නැගුන සිනාවමදෝයි මට සිතුනි.
තාත්තා වැළඳගත් මා කඳුලු සඟවාගෙන ඔහු සමග ෆුඩ් සිටියෙන් එලියට බැස්සෙමි. තාත්තා නැමැද ඔහුගෙන් ඉක්මනින් සමුගත්තේ තවදුරටත් හැඟීම් හිරකරගෙන සිටි නොහැකි නිසාවෙනි. දිගු හුස්මක් සමග උඩ බැලූ කළ සූර්‍යයා යලිත් වළා අතුරින් එබෙන්නට මාන බලන හැටි දුටිමි.
වළාවන්ට හැමදාටම සූර්‍යයා සඟවාගත නොහැකිය.
හැමදාම වැසි වසින්නේ නැත. මා සූර්‍යයා හා සිනාසුනාදැයි නොදනිමි. නමුත් අමුතු හැඟීමක් සමග සිත ගත ප්‍රබෝධමත් වූවාසේ හැඟේ.
රුපියල් දහසයකින් නුගේගොඩට යන්නට නොහැකිය. ටිකට් එක විසි පහකි. අද බැංකු වසා ඇති නිසා කුරුටුගෑ දාහ එසේම තැබූ මා කැශූනට් එකේ කොලේ ගැලෙව්වෙමි...හැටන් නැශනල් බැංකුව පසුකරගෙන ඉදිරියටම ඇදුනෙමි. මා ලද හොඳම අවුරුදු තෑග්ග මා සමග නිසා සිත ගත දෙකම පිරී ඇත...
#තේජන_අබේදීර
Written by Thejana Abeydeera
'අදවත් පන්සල් යමුද ..'
'පෝය කියල පන්සල් ගානේ ගෑටුවට වැඩක් නෑ සරලා..අපි හොඳ දෙයක් කරනවනම්..හොඳට ජීවත් වෙනවනම් ..අනුන්ට කරදරයක් වෙන්නෙ නැත්නම් එච්චරයි ...ඔය බොරුවට පන්සල් ගිහිල්ලා හිත සනසගන්න බොරු කරල එන එකට මන් කැමති නෑ...'
'ඔයා කැමති නැත්නම් නිකන් ඉන්න..මම තනියෙන් හරි යනවා..මේක අපි මැරි කරල එන පළවෙනි පෝය...ඒකටවත් පන්සල් යන්න එන්න බැරිනම් ඔයා නිකන් ඉන්න..'
'සරලා...විශේෂ දවස්වලට පන්සල් ගිහිල්ලා ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ...'
'විශේෂ දවස් නෙමෙයි ඔයාව මැරි කරන්න කලින් මම කොහොමත් පන්සලත් එක්ක හිටියා..ඔයා මැරි කලත් හරි..එක පාරක් යන්න උනාද ...'
'හරි රණ්ඩු වෙන්න ඕනේ නෑ..ඔයා ගිහිල්ලා එන්න..ගිහිල්ලා මට වාහනේ එවන්න..මට එලියට යන්න තියනව ...එනකොට කැබ් එකක් දාගෙන එන්න පුළුවන් නේ..'
සරලා නුරුස්නා ස්වරූපයකින් එතැනින් ඉවත්ව ගියේ තවදුරටත් ඔහු සමග කතාකර පලක් නැතිබව දන්නා නිසාය. සුදුවතින් සැරසී කාරයට නැගුනු ඈ රියදුරු සමග පිටත් වූවාය.
ගුවන් පාලම පසුකරගෙන රථය ඉදිරිය ඇදෙද්දී සරලා ජනේලයෙන් පිටත බැලුවේ කිසිවක් දකිනු රිසින් නොව දැනුනු තනිකම මදකට හෝ නැති කරගන්නා අටියෙනි. මාර්ගය දෙපස වැඩ කරනා කම්කරුවන් සුපුරුදු පරිදි තමන්ගේ වැඩවල නිරත වී සිටිති. ඉදිරියෙන් ගමන් ගන්නා කොලු රැලකි. උන් ක්‍රිකට් පිති සහ බෝල අතැතිව සිනාසෙමින් දඟලමින් ගමන් කරති.
බස් නැවතුම්පොළේ වාඩිවී සිටිනා වයසක ගැහැණියකි. ඇය නුදුරින් වූ විශාල මල්ලකි. ඇයට අසලින් සිටගෙන සිටින්නේ කොල්ලෙක් සහ කෙල්ලකි. ඔවුන්ගේ ඇඳුම් දෙස බලනා කල පන්සල් යන්නට ලැස්ති වී සිටිනා අයුරකි. ඒ දුටු සරලාගේ සිත යම් තිගැස්මකට ලක්විය.
ඒ ගැන වැඩිදුර නොසිතූ ඇය සුසුමක් පිටකලාය.
'මැඩම් ...අපි ආවා...' රියදුරුගේ හඬින් පියවි සිහියට පත් ඈ පනාවක් ගෙන කොණ්ඩය පීරන අතරතුර රියදුරු ඇමතුවාය.
'විලී...දැන් මහත්තයා ගන්න යනවා නේද ..'
'ඔව් මැඩම් ..මැඩම්ට පුළුවන්ද එනකොට කැබ් එකක එන්න..මොකද මහත්තයාගේ වැඩ ඉවරවෙනකොට කීය වෙයිද දන්නෙ නෑ මැඩම් ...'
'ආ ඒකට කමක් නෑ විලී...මම එන්නම්..' කියූ සරලා තම බෑගයද රැගෙන රථයෙන් බැස පන්සල දෙසට ඇවිද ගියාය.
'අනේ මේ අසරණයට කීයක් හරි දෙන්න නෝනා....මේ පෝය දවසේ ...' තම මුදල් පසුම්බියෙන් රුපියල් සීයේ නෝට්ටුවක් රැගෙන යාචකයා වෙත පිරිනැමු ඇය ඉදිරියට ගියාය. යාචකයා පින් දෙනු ඇසුනත් අය අසා සිටීමට රිසියක් නොමැතිව ඇය පසු නොබලාම ගමන් කලාය.
බිම බලාගෙනම ගමන් කල ඇයට ඇගේ පයට පෑගෙන වැලි කැට එහාමෙහා වෙන අයුරු දැකගැනීමට හැකි වුනෙන් ඒ දෙසම බලාගෙන ගමන් කලේ එයින් සිතට යම් සහනයක් දැනුනු නිසා විය යුතුය.
ඉදිරියෙහි වූ පඩිපෙළ නැගීමට ඇති නිසා වැලි කැට දෙස බලාසිටීමෙන් ඇතිවූ සහනය වෙනුවට ඇයට සුසුමක් පිටවූයේ නිතැතිනි. බෑගය තරමක් බර වූ නිසාවෙන් පඩිපෙළ නැගීමට අපහසු විය. ඇයට තරමක් ඉදිරියෙන් පඩිපෙළ නගින වයසක අම්මා කෙනෙකි. ඇය අතේත් තරමක බෑගයක් ඇත. ඇය තමාට වඩා පහසුවෙන් පඩිපෙළ නගිනවා නොවේදැයි සරලා සිතුවාය.
වයසක මව ඈ දෙස හැරී බලා මද සිනහවක් පෑවාය.
'දුවට අමාරුයිද...පඩිපෙළ නගින්න...'
'නෑ අම්මේ..පොඩ්ඩක් මහන්සියි ..' සරලාද ඇයට මද සිනහවක් පෑවාය.
'හිතේ තියන බර අයින් කරල පඩිපෙළ නගින්න දුවේ...එතකොට මහන්සිය නැතිවෙයි...මම එහෙමයි මෙච්චර ලේසියෙන් යන්නේ...' ඇය තමාගේ හිත කියවන්නේ කෙසේදැයි සරලා පුදුමයට පත්වූවාය.
ඇය වයසක මව සමීපයටම ගියාය.
'මාත් ඔය වයසෙදි ගොඩක් ලොකු බරක් හිතේ තියාගෙන මේ දුව යන විදියටම මේ පන්සලට ආවා මතකයි...මම අද දුවට කියාපු දේ එදා මට අම්ම කෙනෙක් කිව්වා...මාත් ඔය දැන් දුව පුදුම වුනා වගේ පුදුම වුනා...' සරලා සිනාසෙන්නට වෙර දැරුවා මිස කිසිවක් නොකීවාය.
'දුව කසාද බැඳලා වැඩි කලක් වෙන්න බෑ..අද මහත්තයට වැඩ...දුවට පන්සල් යන්නම ඕන නිසා දුව තනියම ආවා...එහෙම නේද ...'
මෙය නම් කිසිසේත්ම විය නොහැකිය. ඇය බලා සිටියාක්මෙන් සියල්ලම පවසන්නේ කෙසේද. පුදුමයට පත් සරලා තවමත් ඇය දෙස බලාසිටී.
'දුව මේ පඩියෙ අයිනකින් වාඩිවෙන්නකො...ඔය මල්ල පැත්තකින් තියලා..' කියූ වයසක මව ඉහල පඩියෙන් වාඩිවූවාය.
සරලාද පුදුමයත් සමගම මව පෙන්වූ පඩිය මත වාඩි වූවාය. 'දුව උදේට කාලත් නෑ නේද ..මෙන්න මේක කාලා ඉන්න..' වයසක මව සරලා වෙත දිගුකලේ බනිස් ගෙඩියකි.
එය ප්‍රතික්ෂේප කිරීම යුතු නැති නිසා ඇය එය පිළිගත්තාය. මවද තවත් බනිස් ගෙඩියක් ගෙන එයින් කැබැල්ලක් අතින් කඩාගෙන කන්නට වූවාය. ඇය නැවත කතා කරන්නට විය.
'දුව දන්නවද මම ඒ කාලේ යාලුවෙලා හිටිය කෙනාව මට කසාද බඳින්න බැරිවුනා...'
'අනේ....ඇයි අම්මේ ඒ...මොකද උනේ..' සරලාට නැගුනු දුක හමුවේ ඈ ඇසුවාය.
'එයාට අපේ ගෙදර අය කැමති උනේ නෑ..'
'ඉතින් මොකද උනේ. අම්මේ...'
'ඒක නිසා මම ගෙදරින් ගේන කිසිම යෝජනාවකට කැමති උනේ නෑ...මම ගෙදර අයගෙන් පලිගත්තා...මාව බලන්න අය ගෙදරට එනකොට මම පිස්සු විදියට රඟපාලා ඒ ඔක්කොම අවුල් කරල දැම්මා...අම්මල මට බැන්නා..සමහර වෙලාවට ගැහුවත් එක්ක...' ඇයට සිනහවක් මතුවිය.
'අනේ...ඉතින් ...' 'මම හිතුවෙ මම යාලුවෙලා හිටපු කෙනා මම වෙනුවෙන් ඉඳිවි කියල...ඒත් ඒක එහෙම උනේ නෑ...එයා මාස තුන හතරකින් වෙන කසාදයක් කරගත්තා...'
'පිරිමි ඔහොමමයි අම්මේ...'
'ඔව් දුව...ඉතින් මම ඒකෙන් ගොඩක් මානසිකව වැටුනා ...පස්සෙ මම ගෙදරින් ගෙනාපු යෝජනාවකට කැමති වෙලා කසාද බැන්දා...'
'ඒක තමයි අම්ම කරපු මොලේ ඇතිම වැඩේ...තමන් වෙනුවෙන් ඉන්න බැරි මිනිහෙක් මොකටද ...'
'හ්ම්ම්...මම බැන්ඳ මනුස්සයට සල්ලිබාගෙ හොඳට තියනව ..ඉඩකඩන් වගේම යාන වාහන තිබ්බා. පයින් ගියපු මම කාරෙකේ යන්න පුරුදු උනා...'
'ඒ ජීවිතේ හොඳයි තමා අම්මේ...ඒත්...'
'ඔව් දුව මුලදි හිතපු දේවල් ...මවපු හීන ..ටික කාලයක් යනකොට හීනම විතරක් උනා...මනුස්සයා නරක නෑ..ඒත් එයා මාව තේරුම් ගත්තේ නෑ...'
'ඔව් අම්මේ...හරියටම හරි..මිනිස්සු අපිව තේරුම් ගන්නෙ නෑනේ...අපිට ඕන දේකට සල්ලි දීලා ..ඉල්ලන දේවල් සල්ලි වලට අරන් දීලා විතරක් සතුටක් දෙන්න බෑ...'
'මගේ මහත්තයා මට කිසිම අඩුවක් කලේ නෑ සල්ලි වලින්...හැබැයි මොකද්ද අඩුවක් මගේ ජීවිතේ තිබ්බා දුව...ඒ අඩුව මගේ ඔලුවට ලොකු බරක් උනා...කසාදෙන් මාසෙකට පස්සෙ ආපු පළවෙනි පෝය දවසේ මම තනියම ආවා මේ පන්සලට...'
'මොනවා.....අම්මගේ මහත්තයා පන්සල් එන්න බෑ කිව්වද...' ඇය සිනාසුනා මිස එයට පිළිතුරක් ලබා නොදී කතා කරන්නට වූවාය.
'ඉතින් මම ඔයා වගේ මෙහෙම පඩිපෙළ නැගගෙන එනකොට හම්බවුන අම්ම කෙනෙක් මට ගොඩක් දේවල් කියල දුන්නා....ඒ දේවල් තමා මම මේ දුවට කිව්වෙ...' 'එතකොට අම්මේ....අම්ම කලින් යාලුවෙලා හිටපු කෙනා ගැන ආයේ හොයල බැලුවෙ නැද්ද ....'
'ඒක දුව ....ඔයා ඔයාගෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක් නේද...මගෙන් ඇහුවට..' වික්ෂිප්ත වූ සරලා ඇය දෙස බලාසිටියාය.
'දුව...සමහර පිරිමි ගැන අපිට තේරුම් ගන්න බෑ...ඇත්තටම මිනිස්සු හිතන්නේ තෙරුම් ගන්න අමාරු ගෑණු කියල...නෑ..ඒක වැරදියි...තේරුම් ගන්න අමාරු පිරිමි...'
'ඇයි අම්ම එහෙම කියන්නේ....'
'ඔයා ඒ දරුවගේ වෙඩ්න් ෆොටෝ එකක්වත් දැකලා තියනවද...'
'කාගෙද ? කාගෙද අම්මා ...' 'සහන්ගේ....'
'මොනවා....අම්මා මේ මොනවද කියවන්නේ...අම්මා කොහොමද සහන්ව දන්නේ...'
'කියන්නකො දුව ...ඔයා සහන්ගේ වෙඩින් ෆොටෝ එකක්වත් දැකලා තියනවද ....අඩුමගානේ එයා බැඳපු කෙනාව හරි දැකලා තියනවද ...'
'නෑ අම්මා...නෑ...මම දැකලා නෑ...මොනවද ඔයා මේ කියන්න හදන්නේ....'
'සහන් ඇත්තටම කසාද බැන්දද නැත්නම් ....'
'නැත්නම් ...නැත්නම් මොකද්ද ...අම්ම කියන්නේ සහන් බැන්දේ නෑ කියලද....'
'මම දන්නෙ නෑ...ඒක ඔයාගෙ වැඩක්...ඒත් එයාගේ එක පුරුද්දක් ඔයාට මතකද ....'
'පුරුද්දක්...මොන පුරුද්දක්ද...මට තේරෙන්නේ නෑ...මගේ ඔලුව රිදෙනවා...'
'හොඳට මතක් කරල බලන්න දුව...හැම මාසෙකටම පාරක් සහන් පුරුද්දක් විදියට කරන දෙයක්...'
'දෙයියනේ....ඔව් ....අද ....අද පෝය දවස නේද ...අනේ....ඔව් ....අම්මේ මට මතකයි....අනේ ...මට මතකයි...' සරලාගේ නෙතඟින් ගිලිහෙන කඳුලු බිඳක් පිසදැමූ වයසක මව ඇය දෙස බලා අහිංසකව සිනා සුනාය.
'අම්මේ....අනේ....කියන්න අම්මේ...මට මේ ඔක්කොම ඔලුවට බරයි...'
'මම ඉස්සල්ලාම කිව්ව වගේ බර බිමින් තියන්න...එතකොට මනසත් සැහැල්ලුයි...' සරලා වයසක මව දෙස හොඳින් බැලුවාය. කොහේහෝ දැක ඇති හුරුපුරුදු ගතියක් ඇයගෙන් දිස්වේ. ඒත් හරියටම කවුද කියා මතකයේ නැත.
'අම්මා ..මට ඔයාව හොඳට පුරුදුයිනේ....ඔයා කාගේ කවුද...' වයසක මව සිනාසුනාය විනා කිසිවක් නොකීවාය.
'අම්මේ කියන්නකො...අනේ....මම දැන් ඔලුවෙ බර ගොඩක් අයින් කලා...'
'දුව මට පරක්කු වෙනවා....මම ගිහිල්ලා එන්නම්...ඔයාට තෙරුවන් සරණයි ...කල්පනාවෙන් හිතට එකඟව වැඩ කරන්න...'
'අම්මේ...අනේ ...යන්න එපා...මට කියන්න මම සහන්ව බලන්න යන්නද...කියන්න ...ඒක විතරක් කියන්න...'
'ඒක දන්නෙ ඔයයි දුව..හැබැයි ඔයාට වෙන පන්සලකට යන්න වෙන එකක් නෑ...'
'මොනව...ඒ කියන්නේ....සහන්....මෙ පන්සලේ....'
'මම ගිහිල්ලා එන්නම් දුව...' පඩියෙන් නැගිටගත් වයසක මව ඉහල පඩිවලට නගිමින් යන්නට ගියාය. සරලාද පඩියෙන් නැගිට වහා පහලට බසින්නට වූවාය. ඈ කෙතරම් වේගයෙන් පහලට බැස්සාද යනු කිහිප වතාවක්ම සාය පැටලී වැටෙන්නට ගොස් බේරුනේ ඇගේම වාසනාවටයි. ඇය පන්සලේ ගේට්ටුවෙන් ඇතුලට පැමින රුපියල් සියයේ කොලයක් දුන් යාචකයා ලඟ අවපැහැ ගැන්වුනු ඩෙනිම් කලිසමක් සහ ලා නිල් පැහැති ...ඇත්තෙන්ම එයත් අවපැහැ ගැන්වී ඇත...ටී ෂර්ට් එකකින් සැරසුනු ඔහු...... ඔහුගේ මුහුනේ රැවුල වැවී ඇත..අපිලිවෙලකට තිබෙන කොණ්ඩය පෙරදා සේමය. නමුත් ඔහුගේ සුපුරුදු සිනහව එදා වගේමය.
බිම තණකොළ බිස්සෙහි යාචකයා සමග වාඩිවී ඔහු සුපුරුදු සිනහවත් සමග යාචකයා සමග කතා කරමින් සිටී. ඇයට නැගුන දුක සෙමෙන් පහව ගියේ ඔහු බිඳක්වත් වෙනස් නොවී සිටීම නිසාය. ඒ වෙනස රූපයෙන් නොව ඔහුගේ ගතිගුණ වලිනි. ඇයට අතීතය සිහිපත් විය.....
.............................................. 'සරලා ...අද පෝයනේ....' 'ඉතින්...පන්සල් යමු කියල කියන්නද හදන්නේ...අපි කොහොමත් පෝයට පන්සල් යනවා...ඔයා මතක් කරන්න ඕනේ නෑ..'
'නෑ....අහනවකෝ පණ්ඩිත කෙල්ල...'
'කියනවකො පණ්ඩිත කොල්ලා...' ඇගේ සිනහව මෙන්ම ඔහුගේ සිනහව නිසා අවට සිටි මැදිවියේ ගැහැණු කෙනෙක් ඔවුන් දෙස බලා කෝපයෙන් ගැස්සූ අයුරු මතක්වී ඈට සිනහවක් නැගුනි.
'ලබන සඳුදට අපි යාලුවෙලා හරියටම මාසයයි...මේ එන්නේ අපි යාලුවෙලා එන පළවෙනි පෝය...' 'ඉතින්....'
'මම හැම පෝයකටම කරන දෙයක් තියනව ...කවදාවත් වරද්දන්නෙ නැතුව ...ඒක මම මැරෙන දවස වෙනකම් කරනවා...අද ඔයාට පුළුවන්ද මාත් එක්ක ඒක කරන්න එන්න....'
'හා ..එන්නම්කෝ...මොකද්ද අනේ ඔච්චරම ඔයාගේ ලොකු වැඩේ...කියන්නකො...'
'යමුකෝ...ගිහිල්ලාම බලමු....'
ඔවුන් දෙදෙනා කඩයකට ගොස් චොක්ලට් බිස්කට් පැකට් දෙකක් සහ තවත් චීන අවන්හලකින් 'සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්' දෙකක්ද රැගෙන ගියේ පන්සලකටයි. එහි ඇතුලුවන් ස්ථානයට මදක් ඈතින් රැඳී සිටි යාචකයෙක් දුර තියාම සහන්ව දැක අපහසුවෙන් නැගිට සිට කිලිටි වූ දත් වලින් සිනහවක් පෑවේය.
'අද මහත්තයා නෝනා කෙනෙකුත් එක්කගෙන ඇවිල්ලා ...අනේ වාසනාවන්...'
'සරලා....මේ ඉන්නේ ධනපාල මාමා....මාමේ මේ ඉන්නේ සරලා...'
සහන් ඔහු සමගම බිම වාඩිවූවේය. 'සරලා...එන්න වාඩිවෙන්න...' ඇය කිසිවක් සිතාගත නොහැකිව වාඩිවූවාය. තරමක් වෙලා යාචකයා සමග කුලුපගව කතා කල සහන් ඉන් අනතුරුව නැගිට පන්සලේ තරමක් ඇතට වන්නට තිබූ ගසක් යටට සරලා සමග ගමන් කලේය.
යාචකයාද ඔවුන් සමග පැමිණියේය. පසුව අත සෝදාගත් ඔහු සරලාටද අත සෝදාගන්නට දී ගෙනා කෑම පාර්සලය ගස යට දිග හැරීය.
'හැම පෝයකටම මම දවල් කෑම කන්නේ ධනපාල මාමා එක්ක...අද ඉඳලා සරලත් ඉන්නව අපිත් එක්ක...ඉස්සර නම් අපි දෙන්නට බත් එකක් ඇති ...දැන් ඉන්න මම සරලත් ඉන්න නිසා මම බත් දෙකක්ම ගෙනාවා....'
මේ සිදුවීම් සරලාට සිහිනයක් මෙන් විය. කිලිටු ඇඳගත් යාචකයෙකු සමග එක බත් පතක් බෙදාගෙන කෑම තරමක අප්පිරියාවක් එක් කලද ...ඈ අපහසුවෙන් එය විඳදරා ගත්තාය. කෑම කා අවසන බිස්කට් පැකට් ඔහුට ලබාදුන් සහන් තව වේලාවක් ඔහු සමග සිනාසෙමින් කතා කලේ හොඳින් හඳුනන අයෙකු පරිද්දෙනි.
'සහන් ...ඔයා ඒ මනුස්සයව අඳුරනවද...'
'ඔව්...' 'එයා කාගේ කවුද...'
'එයාගේ විස්තර මම දන්නවා...ඒත් ඒ මගේ කවුරුත් නෙමේ...මම නිකන් කතාකරල විස්තර දැනගත්තේ...ඉතින් හැම පෝය දවසකම මගේ දවල් කෑම ඒ මාමා එක්ක තමයි ගන්නේ...'
......................... 'සරලා....' එක්වරම ඈ තිගැස්සුනේ සහන්ගේ හඬ ඇසීමෙනි.
'සරලා ඔයා මෙහේ...'
නමුත් සරලා බැලුවේ යාචකයා දෙසයි. 'හ්ම්ම්...ධනපාල මාමා නැතිවුනා...ගිය මාසෙ ...ඔයාගේ වෙඩින් එකට පස්සෙ දවසේ...'
'අනේ පව්....මොනා වෙලාද සහන්...'
'ඒක ...ඕන නෑ...කොහොමත් සනීප නැතුවනේ හිටියේ...ඔයා...ඔයා තනියමද ආවේ...'
'ඔව්...කෝ ....ඔයා තනියමද ආවේ....'
'ම්ම්...ඔව් ..'
'සහන් ...මට ඇත්ත කියන්න...ඔයා මැරි කලේ නෑ නේද ...ඔයා මැරි කලානම් අනිවාර්යයෙන් අද මෙතනට එන්නේ වයිෆ් එක්ක...'
'එහෙම බැලුවොත් ඔයත් මැරි කරල නෑ නේද සරලා....ඔයත් තනියම ඇවිල්ලා තියෙන්නේ...'
'ඔව්...ඇත්තටම ඒ වගේ තමයි...ඒත් මට දැනගන්න දේවල් ටිකක් තියනව ...මට ඇත්තම කියන්න සහන්...'
'හරි...අහන්න...මම ඇත්තම කියන්නම්...'
'ඔයා මැරි කලේ නෑ නේද ...'
'නෑ...' 'එහෙනම් ඇයි මට බොරු කිව්වේ...මැරි කලා කියල...'
'මේක අහල ඔයාගේ අම්මලට වෛර කරන්න එපා...එයාලා කැමති තමන්ගේ දුවගේ යහපතට...
මට වඩා සල්ලි තියන හොඳ වැදගත් පව්ලක කෙනෙක්... ඔයා කරපු පිස්සු වැඩ නිසා දවසක් ඔයාගේ අම්මා අඬාගෙන මගේ ලඟට ආවා...අම්ම කෙනෙක්ගේ කඳුලු කියන්නේ හොඳ දෙයක් නෙමේ....දකින්න බැරිම දෙයක්..... මම ඔයාගේ අම්ම කියපු දේට කැමති උනා....'
'මොනවා.....ඒ කියන්නේ.....'
'ඔව් සරලා...මගේ ආදරේ කවදාවත් වෙනස් උනේ නෑ....' 'අනේ....සහන්....මට ඒක කියන්න තිබුනා...'
'ඔයා පිස්සියක් වෙනව මට බලාගෙන ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ...'
'සහන්....' 'එපා....මුකුත් කියන්න එපා...ඔයා ඔයාගේ ගමන යන්න....මම මගේ ගමන යනවා....අපිට සසරෙන් එතෙරවෙන්න තව කල් තියනව ...ඒක නිසා අපිට තව අවස්තාවක් එයි ....'
'සහන්...ඒ අම්මා.....අනේ සහන්....ඒ අම්මා.....'
'මොන අම්මද.....සරලා....මොකද ඔයාට වෙලා තියෙන්නේ...ඇයි මේ.....'
'සහන් මට මතක් උනා...ඒ අම්ම කවුද කියල...මම දැන් දන්නවා ඒ කවුද කියලා...ඒත් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ....එන්න ..ඉක්මනට එන්න ...මාත් එක්ක යන්න....'
සරලා සහන්ව ඇදගෙන පඩිපෙළ නගින්නට වූවාය. කිසිවක් සිතාගත නොහැකිව සහන් ඇය පසුපසින් දිව එන්නට විය. සරලා කලබලයෙන් විහාරය දෙසත් බෝධිය දෙසත් බලමින් වයසක අම්මාව සොයන්නට වූවාය. සරලාට ඇයව දැකගන්නට ලැබුනි. ඇය සිටියේ තවත් වයසක පිරිමි කෙනෙක් සමග පහන් පත්තු කරමිනි.
සරලාට පිටුපා ඇය සිටි නිසා පිරිමි කෙනාව හරිහැටි දැකගන්නට ලැබුනේ නැත. නමුත් වයසක මව හැරී සිනහවක් සමගින් සරලා දෙස බැලුවාය. ඒ සමගම පිරිමි කෙනාත් ඇය දෙස බැලුවේය. ඔහු සහන්ගේ හැඩරුවට සමාන බව බැලූ බැල්මට සරලාට හැඟීගියේය.
'අම්මා ...මම හිතුවා හරි....ඔයා තමා....... කවුද කියල මම හිතුවා හරි...' වයසක මව මද සිනහවක් නගමින් එතැනින් නික්ම ගියාය.
'සහන්....එන්න අපි දෙන්න පහනක් පත්තු කරමු...'
'කෝ ඔයා කියපු අම්මා...එයාව හොයන්නේ නැද්ද...'
'මම එයාව හොයාගත්තා...සහන්...ආයේ කවදාවත් මට ඔයාව නැතිවෙන්නේ නෑ...අපි දෙන්නා වයසට යනකම්ම එකට ඉන්නවා...මගේ හිතේ තියන බර මම පැත්තකින් තිබ්බා....
ඔයත් ඒවා පැත්තකින් තියන්න.... ආයේ කවදාවත් ඒ බර ගන්න එපා....මම එහෙම ගන්න දෙන්නෙත් නෑ....'
'දුව මේකෙන් පහන පත්තු කරන්න...මාව රැකගත්තට ගොඩක් පින්..මට මගේ ආදරය එක්ක සැනසිල්ලේ ජීවත් වෙලා සැනසිල්ලෙ මැරිලා යන්න පුළුවන් ...'
'ඔයයි අම්මේ ඔයාවම රැකගත්තේ...ඔයා නොහිටින්න...අපි දෙන්නම සදහට විඳවනවා...'
'මොනවද සරලා ඔයා හිමින් කියවන්නේ...මට ඇහුනේ නෑ...'
'අහ්හ්...නෑ ...මුකුත් නෑ සහන්....එන්න අපි මේ පහන පත්තු කරමු...'
~තේජන අබේදීර~
Written by දිගැසි පබසරා අමරසිංහ
පෙරදින මිතුරෙකුගේ නිවසේ පැවති සාදය නිම වී පාන්දර ජාමයේ එලියට පැන ගත් මාත් තවත් මිතුරන් දෙදෙනෙකුත් හොව්-චී-යිංග් දක්වා පාගමනින් ආවේ වසන්ත සෘතුව ආරම්භයේ පිපෙන කහ පාට මල් වල සුවඳ නැවුම්ව ආඝ්‍රාණය කරගන්නට ඇති වූ ආශාව නිසාම යි.
බගාඕ සුපිරි වෙළඳ සංකීර්ණයේ පිහිටි තායි අවන්හලකින් රස නහර පිනා යන නූඩ්ල්ස් කෝප්පයක් කා කොකෝ බීම හලෙන් ලබාගත් අඩි තුන්කාලක් පමණ උස වන බුබුළු තේ බඳුනක් බීමට සිතාගෙන හොව්-චී-යිංග් දුම්රිය පළෙන් මෙට්රෝ දුම්රියකට අප ගොඩ වුණා. සති අන්තයක් වූ එදින හොව්-චී-යිංග් දුම්රිය ස්ථානය වෙනදාට වඩා ජනාකීර්ණ වුණේ විනෝද චාරිකා සංගමයකින් සංවිධානය කළ එක් දින චාරිකාවේ එක් ගමන් ආරම්භක ස්ථානයක් එය වීම නිසායි.
ලී-යූ ත්, මා-වෝ හා මාත් එකිනෙක අත් පටලාගෙන පා විදහාගෙන තරුණ ලීලාව පාමින් මදක් විනෝදකාමී ලෙස දුම්රිය වෙත ගමන් ගන්නට වූයේ ඇතැම් විට පෙරදා රැයේ පානයන්ගේ ජවය තවමත් ඉතිරි වී තිබුන නිසාද විය හැක.
දුම්රිය දොර වැසෙන්නට ඔන්න මෙන්න තිබියදී ඒ වෙත දිව ආ රෝස පැහැති ගවුම් කාරිය වෙත මගේ ඇස් සැනෙකින් දිව ගියේ ඈ සතුව ඇයට දරන්නට බැරි තරම් බඩු කන්දරාවක් තිබීමත්, ඒවා ආම්බාන් කරගැනීමට ඇයට අසීරු වීමත් නිසායි.
" පරෙස්සම් වෙන්න.." "ස්තුති" ඇයගේ අතින් අල්ලා නග්ගවාගත් මා එසේ පවසන්නට වූයේ දෑස් පමණක් ඉතිරිවන සේ වසාවත් මුඛ වාඩම දෙසත් ඊට උඩින් මා මග හරින්නට එහෙ මෙහෙ දිව යන ඇගේ දෑස් දෙසත් බලමින්.
" මොකක්ද මේ?" " චිත්‍රයක්.." "කාගෙද?" "මගේ" " ඔයා චිත්‍රා කාරියක්ද?" "ඔව්. මම බෙයිජිං ආට් ස්කූල් එකේ ශිෂ්‍යාවක්.."
" ශා... නියමයිනෙ. මෙහෙ නෙවෙයිද පදිංචි?"
" නෑ මම ග්වන්ජොව්. නිවාඩුවට එහෙ යනවා. අම්මලා තාත්තල එහෙ.." කතාවෙන් කතාවෙන් බගාඕ දුම්රිය පලට දුම් රිය ළඟා වී ඇති බව ඇමතුම් යන්ත්‍රයෙන් දැනගන්නට ලැබුණත් ඇය යන ගමනාන්තය තෙක් ගමන් කිරීමට හිත බල කලා. " සහෝදරයා.. මම බහින්නේ නෑ. " " ඕ ඕ..... ඔයා එහෙනම්.. හරි හරි.. අපි ගියා"
අසීරුවෙන් මිතුරන් පිටත් කළ මා ඇගේ සමීපයේම තිබූ අසුනේ වාඩිවී ඈ හා සියලු තොරතුරු හුවමාරු කරගත්තේ ඇයත් මාත් වසර ගණනක් දැන හඳුනාගෙන සිටියවුන් පරිද්දෙන්..
එදින ඈ ප්‍රදර්ශනයක් සඳහා තම සිතුවම් තුනක් රැගෙන හයිඩියෑන් බලා පිටත් වූ අතර ඉන්පසු එළැඹි සෑම බ්‍රහස්පතින්දාවකම ඇගේ චිත්‍ර පාසැලේ ප්‍රායෝගික දිනයක් වූ බැවින් එදිනට පරිසරය සිතුවම් කරන දිනයක් වූ නිසා, ඇයට පාසැලෙන් එළියට ඒමට හැකි විය.
පුරා මාස 6 ක් තිස්සේ හැකි සෑම බ්‍රහස්පතින්දාවනක්ම ඈ මා වෙසෙන ටියැංජින් වෙත මා බැලීම උදෙසාම පැමිණියේ කිසිම වෙනත් අවශ්‍යතාවයක් නොමැතිවම වු අතර,ඒ වනවිට අප අතර හටගෙන තිබූ තදබල ප්‍රේම සම්බන්ධය නිසාම එකිනෙකා නොදැක සිටීමේ මට්ටමට එය පත් වී තිබූ නිසාය. මගේ රැකියාවෙ ස්වාභාවය අනුව ඇයට නිවාඩු තිබූ දිනයක ඇය බැලීමට යාම කළ නොහැකි වූ නිසා කිසිදු තර්කයක් හා අදිමදි කමක් නොමැතිවම ස්වකැමැත්තෙන්ම සතිපතා මා හා ගෙවීමට පැමිණි ඇය මගේ ඇහි පිල්ලමටත් , මාගේ කොට්ටයෙ සුවඳටත්, මාගෙ පැරණි කාමරයේ විදුලි පංකාවටත්, ගෙවුණු සෙරප්පු ජෝඩුවටත්, මාගෙ උණුසුම් හුස්මටත්, මාගෙ නාන කාමර සංගීතයටත්, මාගේ රැවුම් ගෙරවුම් වලටත් ඉනික්බිති මා විසින් එල්ල කළ වාග් ප්‍රහාරයටත් රහසේ දුක් වෙමින් ආලය කරන්නට වුණා.
හිස රිදුම් දෙන දවස් වල මා දුන් එක ඇමතුමෙන් ග්වන්ජෝ සිට පැමිණ මා රැක බලාගත් ඇය බලාපොරොත්තු වූ ආකාරයට ප්‍රේමය මට දීමට නොහැකි වී ඇති බව මට වැටහෙන විට ඈ මගෙන් බොහෝ දුර ගොස් අවසන් ය.
මේ ඈ හා මා සිදුකළ අවසන් ප්‍රේම සංවාද කීපයයි. ඇ විසින් එවු wechat පණිවුඩ මා මෙසේ පිරික්සමි.
" ඔයා වෙනස් වෙලා වොං"
" ඔයාට පිස්සුද මම වෙනස් වෙලා නැ. නියූ.. මෙ මගෙ හැටි"
" ඔයා ඉස්සර වගෙ මගෙ ගැන බලන්නෙ නෑ. හැමදාම රෑට මම බලාපොරොත්තු වෙන ඇමතුම මට දැන් ආදරෙන් ලැබෙන්නෙ නෑ"
" මම වෙනස් වෙලා නෑ. මම ඔයා එක්ක තව අවුරුදු 30 ක් ඉන්න පොරොන්දු වෙලා ඉන්නේ"
"ඇයි තිහක්?" " තිහක් හිටියා කියන්නෙ කොහොමත් මැරෙණකම්ම අපි එකට ජීවත් වෙනව කියන එක" එය මාගෙ පොරොන්දුවක් විය.
" ඔයා ඇයි දෑන් මම සතුටු වෙන දේවල් කරන්නෙ නැත්තෙ? " ඔයා වෙනුවෙන් මම කොයි තරම් දෙවල් කරලා තියෙනවද?
" ඔව් මම නෑ කියන්නෙ නැ වොං.. ඒත් මතක් කරල බලන්න. මේ මාස අට පුරාවටම චිත්‍රෙකට මාතෘකාව කරගත්තෙ ඔයා කියපු මාතෘකා"
" ඔව් ඉතින්.. ඉතින් කියන්න නියූ" " ඉතින් දැන් ඔයා මගෙ චිත්‍ර ගැන බලනවාද?"
" හරි අපි මේ බ්‍රහස්පතින්දා ඉඳන් පුරුදු විදියට කරමු"
" මම අන්තිමට ඇඳපු චිත්‍ර ටික ඔයා බැලුවද"
" මට බලන්න වෙලාවක් ආවෙ නෑ නියූ" " ඔයාට මතකද මගෙ චිත්‍ර ප්‍රදර්ශනය දවසෙ අපි ගත්ත පින්තූරය?" " ඔව්... නියූ...ඒක ජීවිත කාලෙම ඔයා ගාව තියෙන්න ඕනෙ"
" මම මාස ගානක් ඔයා ඉන්න තැනට ආවාට ඔයා දවස් කීයද වොං මාව බලන්න ආවෙ?" එය ද සත්‍යයකි. මා ඇය බලන්නට ගියේ තුන් පාරකි.
ඇය මා බලන්නට විසි එක් වරක් පැමිණ ඇත.
මා ඇඟිලි තුඩු වලින් ඇගෙ තවත් wechat පණිවිඩයක් පෙරළුවෙමි.
" ඔයාට ඕනෙ මාව මග අරින්න්ද වොං?"
" අනේ එහෙන නැ නියූ.."
" එහෙනම් ඇයි මට වෙනසක් දෑනෙන්නේ"? " ඔයාගෙ හිත ඒ.ඔයා ඉන්නෙ දෙමාපියන්ගෙන් ඈත. ඔයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා" " ඉතින් එහහෙනම් මම මොකද්ද කරන්නේ?" " මාත් එක්ක ඉන්න." " හ්ම්ම්"
මා කෙසේ හැසිරුනත් මා හා හිඳිවි යැයි මගේ හිත තද බල ලෙස විශ්වාස කළා.
" ඔයාට මතකද ඔයාක් දුන්න ඩොල්පින් කෙනෙක් ඉන්න පෙන්ඩන්ට් එක" " ඔව් නියූ... ඇයි මට අමතක?" " මම නිකම් ඇහුවේ.
මට එන්න එන්නම දැනෙනවා ඔයා වෙනස් වෙන බව."
" උඹ කොහොම කිවාත් උඹට මගෙන් යන්න බෑ නියු. උඹට මම නැතුව ඉන්න බෑ"
" හ්ම්ම්ම්" මා නැතිව තප්පරයක් ගෙවීමට නොහැකි, පැය 24 ම මාවම සෙවූ, ඇමතුම් , කෙටි පණිවිඩ , විටෙක වදයක් වන අයුරින් මා හට කල බාධා කිරීම් ද හමුවේ දිනෙක ඇයට මා තරවටු කලෙමි.
" නියූ... ඔයා නම් මහම මහ ලෙඩෙක්, වදයක්, කරදරකාරියක්" මදක් නිෂ්ශබ්ධව සිටි ඈ දුරකතනට විසංධි කොට ගෙවූ අඩ පැය මට බොහෝ සිත් රිදෙන්නට වූ කාරණාවක් වූ නිසාම එදින මැදියම් රැයේ මා ඇය ඇමතුවෙමි.
" නියූ... ඔයා හොඳින්ද" " ඔයා? ඇයි නිදි නැද්ද" " නිදාගන්න දැන්"
"හා" ඇය හොඳින් නොවනු ඇත..එය විශ්වාසයි..එහෙත් ඇය රිදවීමට සිතා ඇය අඳින ලද සිතුවම් වර්ණනා නොකිරිමටත් , ඇයට සිතුවම් කිරීමට මාතෘකා වක් ලබා දී එය නිමකළ පසු ඒ දෙසවත් හැරී නොබැලීමට තරම් වත් කුරිරු මානසිකත්වයක් මා හට තිබි ඇත.
" ඔයා කියන කියන දේ කරන්න මට බෑ නියූ.. ඔයා නිසා මට මගේ පුරුදු නැති කරගන්න බෑ. වෙනස් කරන්නෙත් නෑ."
" ඔයාට මාව එපාද්?" " ඕනෙ. හැබැයි මට ඔයා නිසා මගෙ නිදහස නැති කරගන්න බැ"
" මම එහෙම කිව්වද වොං" " ඔයා එහෙම කිව්වත් මම කරන්නෙත් නෑ" මා එසේ පැවසු දින ඈ බොහෝ කැ ගසා හැඬුවාය.
" නියූ... මට සමාවෙන්න " "සමාව දුන්නා. ඔයාට පුලුවනිද පරණ වොං වෙන්න"
" ඔව් අනිවාර්යයෙන් මම එහෙම වෙන්නම්" මෙසේ ඇය විසින් මේ මාස කිහිපය පුරා දොළොස් වරක් පමණ අසා ඇති අතර මා විසින් එසේ පොරොන්දු වී ද ඇත.
තවත් මාස හතරක් උස් පහත් වීම් සමග කාලය ගත කොට අවසන ඈ විසින් මෙතෙක් සිතුවම් කළැ ඇගේ විශිෂ්ටතම සිතුවම හා මා වෙනුවෙන් සකස් කල කුඩා හුරුබුහුටි කාඩ් පතක් ද , ඉරන ලද තවත් කාඩ් පතක කැබලි ද සමග ලිපියක් මාගේ මිතුරාගේ නිවසේ ලිපිනයට තැපැල් කොට ඇත.
" ආදරණීය වොං, ඔබ විසින් මාස කිහිපයක් මා නොසලකා හැරි නිසාත්, ඔබගේ හොඳම මිතුරිය හා කල් ගෙවීම ඔබ මා හා ගෙවීමට වඩා අගය කරන බව මට හැඟී ගිය නිසාත්, ඇගේ අසනීපයක් වුවද මහත් කොට තකා මාගෙ අසනිප සුලු කොට තැකූ නිසාත්, ඔබ විසින් මා සම්බන්ධ තිබු සෑම පුරුද්දක්ම වෙනස් කිරීමට ක්‍රම ක්‍රමයෙන් කටයුතු කර තිබූ නිසාත්, අවසාන මාස කිහිපයේ ඔබගේ මග හැරීම්, මා එවන පණිවුඩ නොබලා නමුත් ඔබ දුරකතනයේ අන්තර්ජාලයේ සැරිසරන බව දැකීම , නොසලකා හැරීම් හා ආදරණීය ඇමතුම් හා වචන වල අඩු වීම් නිසාත්, අවසන මා නික්ම යමි.
මින් මත්තට ඔබ කැමති සිතුවම් නොඅඳිමි. මා කලු සිතුවම් පමණක් අඳිමි. මීට හැමදාම ආදරණීය නියූ....
එය මා අතට පත් වෙද්දි , මා සමග පැය 24 ම කලහ කළ, කැ ගැසූ, නෝක්කඩු කිවු එහෙත් මගේ හිත නිතරම සෙවූ ඇගේ දුරකතන අංක පවා භාවිතයේ නොමැති වූ අතර තවමත් මා ඇයව සොයමින් හොව්-චී-යිංග් වල හවස් වරු ගෙවනවා..
©️දිගැZ✍️ දිගැසි පබසරා අමරසිංහ 2022 ජූනි 27
Written by දිගැසි පබසරා අමරසිංහ
"ඔය පවුඩර් ටික පිහදාගන්න."
එයා කියද්දී මගේ අත ඉබේම මූණට ඇදුනා. මුණගැහිච්ච පළවෙනි දවසේ ඉඳන් ටිකක් ආඩම්බරකාර ගති පැවතුම් තිබුණාට, ඉක්මනින් කේන්ති ගිහින් කෑ ගැහුවාට, ඒ වගේම නිවෙන, කෙනෙක් කියලා මම ආදිත්‍ය ගැන හිතන් හිටියේ.
ඒත් ආදිත්‍ය කියන්නේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි පොතක්.
මගේ දෙවෙනි ප්‍රේම සම්බන්ධයත් කැඩිලා බිඳිලා , හිත හොඳටෝම රිදිලා තිබුණ වෙලාවක මම ආදිත්‍ය එක්ක කතා කරන්න ගත්තේ මට හොඳ සවන්දෙන්නෙක්, යාළුවෙක් ඕනේ වෙලා තිබුණ නිසා.
" ඔයා ඕනෙම දෙයක් මට කියන්න. ඔයාට ඒකට සම්පූර්ණ නිදහස තියෙනවා. ඔයා කොම්ෆටබල් විදියට මං එක්ක ඉන්න" ආදිත්‍ය නිතර කිවුවේ ඒ වචන ටික.එයා එකම දේ දෙපාරක් කියනවාට කොහෙත්ම කැමති වුණ කෙනෙක් නෙවී.
මට සමහර වෙලාවට විසඳගන්න බැරි, උත්තර නැති ප්‍රශ්න මම ඔහේ ආදිත්‍ය එක්ක කියෙවුවා. වැඩි කාලයක් යන්න කලින් ආදිත්‍යට මගේ මේ හැසිරීම, කියවිල්ල එපා වෙනවා වගේ මට දැනුණා.
එදා බත්තරමුල්ල වලේ වේදිකා නාට්‍යයක් බලන්න ගිහින් හිටියේ ආදිත්‍ය එක්ක මම. අපි දෙන්නාගෙ තිබුණේ යාළුකමකට එහා ගිය සම්බන්ධයක්.
හැබැයි ඒක ආදරයක් නෙවෙයි කියන එක මම දැන ගත්තේ ආදිත්‍ය කියපු දේවල් වලින්. වේදිකා නාට්‍යය අතරතුරේ ආදිත්‍ය මගේ අත් දෙක පටලවාගෙන උරහිසට හේත්තු කරගත්තා මාව. ඒ වෙලාවෙ මට හරිම සුරක්ෂිත හැඟීමක් දැනුණා.
වේදිකා නාට්‍යය ඉවරවෙලා ආපහු නවාතැන් වලට යද්දී මම ආදිත්‍ය ගැන කලින් තිබ්බ හැඟීම සහ දැන් තියන හැඟීම ගැන කෙටි පණිවිඩ කීපයක් යැවුවා. මට ඕනෙ වුණේ මිත්‍රත්වයකට එහා ගිය මගේ හිතේ හැඟීම දැන් ආදරයකට පෙරළිලා බව කියන්න.
ඒත් ආදිත්‍ය ඒ හැමදේම ප්‍රතික්ෂේප කරලා මට තදින් දොස් කියන්න ගත්තා.
" මහිදිනී, ඔයා ගැන මගේ හිතේ කිසිම ආදරයක් නෑ!! ඒක නිකම් හැඟීමක් විතරයි.
ඒක මම පැහැදිලිවම කියන්න ඕනේ. ඔයා මේ ටික තේරුම් ගන්න.ඔයාගෙ තත්වය උඩ මම ඔයාට ඇහුම්කන් දුන්නා. ඔයා ගැන මටත්, මං ගැන ඔයාටත් තිබ්බේ ආකර්ශනයක් විතරයි"
මට ඊට වඩා දෙයක් කියාගන්න ලැබුණේ නෑ ආදිත්‍ය කියන්නේ කොහොමත් දැඩි කෙනෙක් නිසා බොහොම ඉක්මනින් මගේ හිතේ හැඟීම් වෙනස් කරගන්න ඕනේ බව මම තේරුම් ගත්තා. මම තීරණය කළා ටික කාලයක් නිහඬව ඉන්න..
ඒත් ආදිත්‍ය කියන පුද්ගලයා මගේ හිතෙන් ගියේ නෑ. ඒකට හේතුව එයා මට එයාගෙ හිතේ සුවපහසු කලාපයක් හදලා තිබුණා. මගේ ගොඩක් ප්‍රශ්න එයා විසඳලා දුන්නේ හරිම ප්‍රායෝගිකව සහ මට හානියක් නොවෙන විදියට.
මට කවදාවත් ආදිත්‍යව හොඳින් තේරුම් ගන්න බැරි වුණා. අපි දෙන්නම රැකියාව කළේ පුද්ගලික ආයතන ජාලයක ක්ෂේත්‍ර දෙකක. ඔය අතරේ ආදිත්‍යටත් , මටත් අපි දෙන්නාගේ ක්ෂේත්‍ර වලින් ආයතනික මට්ටමෙන් ඉන්දියාවේ සංංචාරයක යෙදෙන්නට ලැබුණා. " ඔයා 2.30 ට එයාපෝට් යන්න ලෑස්ති වෙලා ඉන්න.
මම ඔයාව පික් කරනවා" ආදිත්‍ය කාලෙකට පස්සෙ හිතවත් විදියට කෙටි පණිවිඩයක් එවලා තිබුණා. එයා එක්ක එකට එක කියන්නවත්, ප්‍රශ්න කරන්නවත්, අමාරුයි.
ඒක මම දැන් තේරුම් අරන් හිටියේ . ආදිත්‍යට මුල් කාලේ ඕනෑ තරම් මම වෙනුවෙන් වෙලාව තිබුණාට මගෙ හිතේ ආදිත්‍ය ගැන ආදරයක් ඇති වුණ දා ඉඳන් ආදිත්‍ය මාව මගෑරියා කියලා මට දැනුණා. ඉන්දියානු සංචාරය පුරාවටම ආදිත්‍ය මගේ ළඟින් හිටියත් සංචාරය නිමාවෙලා ආයෙ ලංකාවට එන දවසේ ආදිත්‍ය ආයෙමත් ටිකක් නිහඬ වුණා.
සමහරවිට ආදිත්‍යට බය හිතෙන්න ඇති මම ආයෙමත් ආදිත්‍ය ගැන ආදරයක් ඇති කරගනී කියලා. " ආදිත්‍ය මට කතා කරන්න ඕනෙ" " ඔයා ඕනෙ දෙයක් ලියලා දාන්න මෙසෙජ්" ඒ කෙටි උත්තරෙන් මට සෑහීමකට පත්වෙන්න බැරි වුණත් වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. ආදිත්‍ය මම යවන පණිවුඩ බැලුවාද නෑද්ද කියලවත් මට හිතාගන්න බැරි වුණා. සමහර රැයවල් තිබ්බා ආදිත්‍ය එක්ක කතා කරන්නම ඕනෙ කියලා හිතුණ.
ඒත් ආදිත්‍ය මගේ පණිවුඩ බැලුවෙම නෑ හෝ බලලා උත්තර එවුවේ නෑ. "ආදිත්‍ය මට කතා කරන්න ඕනෙ" " මට වද දෙන්න එපා මහිදිනී.. මම ඔයාට ඕනෙ තරම් අවස්ථාව දුන්නා . ඔයාව මම අදටත් අයින් කරන්නෙ නැතුව තියන් ඉන්න එක ගැන ඔයා සතුටු වෙන්න.
හැබැයි ඔයාගෙ ඔය හැසිරීම නිසා ඔයා ඉක්මනින්ම ඒ දේත් කරගන්නවා." ආදිත්‍ය එහෙම කියද්දි මගෙ හිත උල් පිහි වලින් පසාරු කරනවා වගෙ දැනුණා. මම තීරණය කළා ආදිත්‍යට කතා නොකර ඉන්න.
ඒත් සමහර රාජකාරීමය කටයුතු වලට ආදිත්‍යට මම කෙටි පණිවුඩ යැවුවා. ආදිත්‍ය හිතුවෙ ඒවා මම එවන සාමාන්‍ය පණිවුඩ කියලා වෙන්න ඇති එයා ඒවා කියෙවුවෙත් ප්‍රමාද වෙලා. කොහොම කරත් මට ආදිත්‍යගේ මිතුරුකම අතඅරින්න අමාරු නිසා මම ආදිත්‍යගෙන් ඇහුවා ඒ ගැන.
" මට තාමත් ඔයා ළඟ කම්ෆටබලි ඉන්න පුලුවන්ද ආදිත්‍ය?" " ඔයා වැඩ අවුල් නොකරන තාක් කල් ඔයාට කම්ෆටබලි මෙතන ඉන්න පුලුවන්"
මට එයාගෙන් අහන්න ඕනෙ වුණා කොහොමද මම ඉන්න ඕනෙ කියලා. මම ආදිත්‍ය එක්ක කතා කරන්න ගත්ත මුල්ම කාලේ එයා මම කෑවාද බීවාද කියලා පවා හෙවුවා. දවසක් ඒ වෙනස ගැන ඇහුවාම එයා මට කිවුවා " මිනිස්සුන්ට ඇබ්වැහි වෙන්න එපා " කියලා.
එයා දැනන් හිටියා මම එයාට ගොඩක් ඇබ්බැයි වෙලා කියලා. එයාගෙන් අහද්දි මම කොහොමද ඉන්න ඕනේ කියලා, පැහැදිලි උත්තරයක් ලැබුණේත් නැහැ ආදිත්‍ය කතා නොකරපු දවස් වලට මට හරි හිස් බවක් දැනෙන්න ගත්තා .
එයාගෙන් පණිවුඩයක් එනකම් මඟ බලන් හිටපු රැයවල් තිබ්බා. සමාගම් කීපයක් තියන අන්තර්ජාතික සමාගම් ජාලයක අධ්‍ය්ක්ෂවරයෙක් වෙච්ච ආදිත්‍යට මම වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් තිබ්බේ නෑ ඇත්තටම. ඒ වගෙම එයා නිතර කිවුවා එයාට එහෙම කාවවත් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑ, ඊට වඩා එයාට එයාගෙ වැඩ වැදගත් බව.
එහෙම කියද්දිත් මම එයාගෙන් එයාගෙ වෙලාව ඉල්ලපු එක කළේ ඇයි කියලා අදටත් මම දන්නෑ .
අර මුලින්ම කිවුවත් වගේ ආදිත්‍ය කියන්නේ අකුරු තිබුණාට, කියවලා තේරුම් ගන්න බැරි පොතක්. ආදිත්‍යට මම කිවුවෙ එයා කැමති , අකමැති හැමදේම මට කෙලින් කියන්න කියලා. ඒත් කවදාවත් එයා එහෙම කළේ නෑ. එයා ඒ වෙනුවට කළේ මට එයාව කියවලා තේරුම් ගන්න ඉඩ දීලා නිහඬ වෙච්ච එක..
මම දන්නවා ආදිත්‍ය හැම තැනදිම මාව පරෙස්සම් කළා කියලා. විශේෂයෙන්ම අපි එකම රැකියා ස්ථානයේ හිටපු නිසා. මම ආදිත්‍යව තේරුම් ගන්න එක එක දේවල් කළා නිහඬව හිටියා, එතකොට ආදිත්‍යත් නිහඬවම හිටියයා . ඊට පස්සෙ මම එයා ගැන හොයලා බලන්න් ගත්තා .
එයා ඒ ගැන හොඳටම කේන්තී අරන් බැනලා තිබ්බා . ඊට පස්සෙ මම ආදිත්‍යට දවසකට එක කෙටි පණිවිඩයක් විතරක් යවන්න ගත්තා.එයා සමහර වෙලාවට ඒක බැලුවා. සමහර වෙලාවාට නොසලකා ඇරියා .
ආදිත්‍ය බය ඇති මම එයාට ආදරෙ කරයි කියලා. එයා මට ආදරෙ නෑ කියපු වෙලාවෙම එයාගේ වචන වලට මගේ ආදරේ මැරුණා කියලා එයාට මම කිවුවේ නෑ. රාජකාරී පණිවුඩයක් ඊ මේල් කරපු වෙලාවක ආදිත්‍ය මට ලියලා එවලා තිබ්බා මට ඕනෙ ඊනෙම දෙයක් එයාට ලියලා එවන්න කියලා. ඒත් ඒ දේවල් කියවන්න තරම් ආදිත්‍යට මම වෙනුවෙන් වෙලාව තියනවා කියලා මට හිතන්න අමාරුයි.
ආදිත්‍ය මාව ඈත් කරන්න උත්සාහ කරන වාරයක් ගානේ මම එයාගෙන් දශමය දශමය ඈත් වෙන නිසා දැන් මට ආදිත්‍ය ළඟ සුවපහසු තැනක් වගේ දැනෙන්නේ නෑ . මාස කිපයකට කලින් රාජකාරී කටයුත්තකට නුවරඑළියේ හෝටලයකට ගිය වෙලාවේ මගේ මූණේ රෝස පවුසර් වලට උඩින් කඳුලක් ගලාගෙන එනකොට, "අඬන්න එපා රත්තරං" කියලා එයාගෙ පිටි අත්ලෙන් කඳුලක් පිහදාපු ආදිත්‍ය අද මගේ මූණෙ කඳුලක් දකිද්දි කිවුවෙ, "ඔය පවුඩර් ටික පිහදාගන්න." කියලා.
මේ පොඩි කාලය කොයි තරම් ආදිත්‍යගෙ හිතෙන් මාව අයින් කරලාද කියල මට තේරුනේ අද. ජීවිතේ කියන්නේ යාම් ඊම් විතරක් වුණාට ආදිත්‍ය, ඔයාව මගේ හිතවතා විදියට දකින්න මං තාමත් ආසයි.
ඒ වෙනුවෙන් මොනවා කරන්නද කියලා නොතේරෙන තැනක මම ඉන්නේ. ඉස්සරහටත් මම කාගෙහරි බිරිඳක් වුණත්, ඔයාගෙත් මගෙත් තිබ්බ මිත්‍රකම එහෙම්ම දකින්නයි මම ආසා කළේ. ඔයා දවසින් දවස මාව ඈත් කරනකොටත් මම තාමත් මඟ බලන් ඉන්නවා අර ඉස්සර ඔෆිස් එක ඉස්සරහ අයිස්ක්‍රීම් කඩෙන් අයිස් ක්‍රීම් කප් එකක් අරන් බෙදාගෙන කාපු, මූවි එකකට යමූ කිවුවම හා යමූ කියලා ආපු ආදිත්‍යව ආපහු දකින්න...
කාලේ බොහොම ඉක්මනින් යනවා ආදිත්‍ය... මම ආයෙමත් කියන්නෙ, මම මඟ බලන් ඉන්නවා.. අර මගේ සවන්දෙන්නා, හිතවතා එනකම්....
දිගැසි පබසරා අමරසිංහ 2025 පෙබරවාරි 22
Written by දිගැසි පබසරා අමරසිංහ
. "ලස්සනයි"... ...."මොනවද? "... ..."ඔයාගෙ ඇඟ".... ....."හ්ම්ම්.. වීනස් වගේලු නේද?
ඔය එන හැමෝම කියන්නෙ".. ඇය මහ හයියෙන් සිනා සෙයි. ... ඔයා දන්නවද වීනස් කියන්නේ කව්ද කියලා?".. ..
" මොකද මං නොදන්නේ? මං වගේම බාගෙට නිරුවත් වෙච්ච සුදුමැලි ගෑනියක්"... ....
" එච්චර ද දන්නේ ?"... ... " තව මොනව දැනගත්තත් වැඩක් ද මහත්තයා ?..." "නම මොකද්ද කිවුවෙ ඔයාගේ?"
"නිදාර්‍යා" " නිදාර්‍යා? හරිම අමුතු ලස්සන නමක්. ඇයි මේ රස්සාව කරන්නේ?"
" ලෝකේ පරණම රස්සාවනෙ මහත්තයා, මහත්තයා ආව නම් ආව වැඩේ කරගන්න." මුදලක් ගෙවා පැය දෙකකට ලබාගත් කාමරයේ ජනේලය යාන්තමට අරිමින් මම සිකරැට්ටුවක් දල්වා ගත්තේ හිතේ ඇතිවූ හැඟීම යටපත් කරගැනීමට සිතා යි.
ඇස් කොනෙන් පෙනුනු ඇයගේ නිරුවත්ව තිබුණු ඇත්දළ පැහැති උරබාහු මට අමුතු හැඟීමක් ජනිත කළා. සිකරැට්ටුවේ දුම් වළලු එක දෙක ජ්නේලයෙන් පිටතට රටා මවමින් ඈතට පා වී යන්නට වූ අතර ඈතින් පෙනෙන ඇතුගල බුදු පිළිම වහන්සේ දෙස බලන්න්ට තරම් මට හිත ශක්තිමත් වූයේ නැහැ.
"නිදාර්‍යා...." " මහත්තයා !!! මගේ නම කට පාඩම් කර කර මෙතන කාලේ කකා ඉන්නේ නැතිව වැඩේ කෙරෙන්නෙ නැත්‍තම් මෙතන බිල ගෙවලා යන්න"
" නිදාර්‍යා, වෙනදටත් අනිත් අයටත් ඔහොම කෑ ගහනව ද? "
අනික් අය මහත්තයා... ආපු වැඩේ කරගෙන යනවා මිසක් මහත්තයා වගේ ටැග් ගැහි ගැහී ඉන්නෙ නෑ, මට තව ගමනක් යන්න තියෙනවා, මහත්තයට එපා නම් අපි යමු.."
"නිදාර්‍යා, අපි කතා කරමු ටිකක්..." "මට වැඩ තියෙනවා" "මොනවද වැඩ? " " මහත්තයා බබා වෙන්න හදනවානෙ.."
"ඔයාගෙ වයස කීය ද?" "28 යි" " අම්මා තාත්තා නැද්ද?" " ඉන්නවා, නුවර.. එතනින් එහාට අහන්න එපා"
" ඇයි මෙහෙම අතින් අතට යන්නේ?" " ඒක ලොකු කතාවක්.. මහත්තයාට ඒක අහන්න ගියොත් වැඩි වෙන පැයට තුන්දාහ ගානේ ගෙවන්න වෙයි.."
කාමරයේ තුවා රඳවනයේ දමා තිබූ තුවාය හැඳගත් පසු සිරුරෙන් ගිලිහුණු කලිසම, අසල පුටුවක අඩමානයට එල්ලී සිටි අතර එහි පිටුපස සාක්කුවේ තිබුණු වොලට්ටුව රැගෙන ඈ වෙනුවෙන් නියම කළ මිළට අමතර තවත් නවදහසක මුදලක් ඇයට ලං කළා. ඒ ඇය හා අමතර පැය තුනක්වත් ගෙවීමට සිතාගෙන යි. ඒ ඇයගේ පහස ලබා ගැනීමට නම් නොවේ.
ඇත්ත වශයෙන් ම ඒ ඇය හා කතා කිරීමේ දැඩි ආශාවක් මගේ සිතේ තෙරපී තිබුණු නිසා යි. " මෙච්චර ඕනේ නෑ. මගේ ගාන දහ දාහයි"
" තව පැය තුනක් ඕනෙ මට" " එච්චර අමාරුයි මේ වෙලාවෙ.
අද දවසට කස්ටමර්ස්ල හතරක් ආවා. මට තවත් ලොකු වෙලාවක් මහන්සි වෙන්න අමාරුයි" " නෑ මට ඕනෙ කතා කරන්න විතරයි"
"ඇයි මහත්තයා ආව වැඩේ කරග්න්නේ නැද්ද?" "නෑ" යයි හිසින් සන් කරමින් මම ඇය දෙසම බලා ඉන්නට වුණා. බොහෝ වෙහෙස වී සිටි නමුත් මඳක් හෝ දීප්තිය අඩු වී නොතිබූ ඇගේ නිල්වන් ඇස් වලින් මවිත වී, එක එල්ලේ මගේ ඇස් දෙස බලා සිටි ඇය අඩක් නිරාවරණය වූ ඇගේ කුඩා පියයුරු දෙස හිස් බැල්මක් හෙලා එය ඇඳ රෙද්දෙන් වසා ගනිමින් වහළය දෙස හැරී හඬ අවදි කරන්නට වුණා.
" මහත්තයට පුළුවන් ද මාව අහන් ඉන්න?" "ඔව් ඔයා හිතේ තියන ඕනෙම දෙයක් කියන්න නිදාර්‍යා" "හ්ම්ම්ම්,
එයා ! මාව දාලා ගියා. එයා මට මුණගැහෙනකොට එයා බැඳපු මිනිහෙක්... මට අවුරුදු 24 යි. එයාටත් 24 යි...
එකාතකට මහත්තයාට මොකටද මේවා?" " ඔයා කියන්න නිදාර්‍යා.. මම අහන් ඉන්නේ"
" එයා හරිම හැන්ඩ්සම්.. ආදරේ කරා මට ඇති තරම්.. එයාට වයිෆ් කෙනෙක් හිටියට මට හස්බන්ඩ් කෙනෙක් එතකොට හිටියෙ නෑ" " නිදාර්‍යාට දැන් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවද?
කාමරයම දෙවනත් වන සේ ඇය සිනාසෙන්නට වුණා. " මට? මේ රස්සාව කරන ගෑනියෙන් බඳින්න කැමති බෝධිසත්වයෝ ඉන්නවද මහත්තයා මේ ලෝකෙ?
ඇය නැවත වියරු හිනාවක් මුහුණේ ඇඳග්තේ මා දෙසද නුරුස්නා බැල්මක් හෙලමින්. රත් පැහැ වී තිබුණු ඇගේ ඇස් වලින් ඇයට නොදැනීම කඳුලක් ගලා විත් කම්මුල් තෙත් කරන් කොට්ටයට වැටෙන්නට වුණා.
"සොරි නිදාර්‍යාගෙ හිත රිදුනා නම්" "අනෙ! රිදෙන්න කොයින්ද අපිට හිත් මහත්තයා?" "හ්ම්ම්ම්" "මහත්‍තයාට ඕනෙ වුණේ මේ ටිකනෙ. ඔව් ඒ මනුස්සය වශී වුණේ මගෙ රූපෙට.
ඊට පස්සෙ හැටන් වල මගෙ නමට තිබ්බ තේ වත්තට. මට හිතෙන්නේ ඒ මනුස්සයා හැමදේම දැනගෙන මාව දැලේ දාගන්න මට බොරු රඟපෑමක් කරා. මට එයාගෙන් ඒ කාලේ ආදරේ ඇති වෙන්නම ලැබුණා.
ඒ ආදරේ බොරුවක් කියලා මම පොඩ්ඩක්වත් හිතුවෙව් නෑ. හරිම අහිංසක වචන, හොයාබැලීම් වලින් ඒ ආදරේ පිරිලා තිබුණ.මම ඇල්පෙනිති තුඩකින්වත් එයාට බොරුවක් කළේ නෑ. "ඉතින් මොකද වුණේ ඒ ආදරේට නිදාර්‍යා?"
" ඒක ආදරයක් නෙවෙයි රැවටීමක් මහත්තයා. එයාට එයාගෙ නෝනගෙ ස්කොල් එකකට ලොකු සල්ලියක් ඕනෙ වෙලා තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. ඒ හැමදේම දැනගන්න්කොට මම ගොඩක් පරක්කු වැඩියි මහත්තයා."
" ඉතින්.." " ඉතින්, මම ආදරෙ කරේ ඕනෙම දෙයක් එයා වෙනුවෙන් කැප කරන්න හිතාගෙන" " ඒ කියන්නෙ නිදාර්‍යා එයාව කවදහරි එයාගෙ වයිෆ්ගෙන් වෙන් කරක කසාද බඳින්න හිටියෙ?"
"පිස්සුද මහත්තයා?" " එහෙනම්" " මහත්තයාලාත් දන්නෙ රූම් ගානෙ යන්න විතරයි ද? ආදරේ කියන්නෙ අයිති කරගන්න එකමද මහත්තය?'
" නිදාර්‍යා ඉන්නෙ වේදනාවෙන් නිසා නිදාර්‍යාට තරහ යන්නෙ ඔය" " එයා බැඳපු කෙනෙක් කියලා දැන දැනත් මම් එයාට තවදුරටත් ආදරේ කරේ එයාගෙ රඟපෑම ඒ තරම්ම සාර්ථක නිසා. එයා හැමතිස්සෙම කිව්වෙ එයාට වයිෆ් සලකන්නෙ නෑ, එයායි වයිෆුයි අතර පවුල් ජීවිතයක් නෑ. එයා වයිෆ්ගෙන් ඉක්මනින් අයින් වෙනවා. එයාට ආදරේ ඕනෙ.
වගේ මහ ගොඩක් හෑලී ඉස්සරහ මම රැවටිලා මහත්තයා. ඔය හැමදේම අහගෙන එයා වෙනුවෙන් හැමදේම කළා මම. එයා අඬද්දී මම එයාව හිනැස්සුවා. එයා කෑ ගහද්දී මම එයාව අහන් හිටියා.
කොටින්ම එයාගෙ වයිෆ්ගෙන් වෙන්න ඕනෙ හැම යුතුකමක් ම මගෙනුයි එයාට ඉෂ්ට වුණෙ. ඉගෙනීම පවා මගෙ කඩාකප්පල් වුණා. මම හැමදේම කැප කරා" " ඔව් ඉතින්..." " දැන් වෙලාව හරි මහත්තයා" ඇය වේගයෙන් ඇඳෙන් නැඟී සිට් නාන කාමරයට ඇදී ගියේ එහි සිටම කෑ ගසා මෙසේ පවසමින් ය. " අන්තිමට මහත්තයා, එයාගෙ වයිෆ්ගෙ ස්කොල් එකට රට යන්න මගෙ තේ වත්ත උකස් තියලා සල්ලි දුන්නා.
එයාට මම ඇත්තටම ආදරේ කළා මහත්තයා" " ඉතිං......."
" ඉතිං, මාස දෙකකින් එයාගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා දැනගෙන එයාත් ඒ රටටම ගියා මහත්තයා" " ඔයා?" " මම මොනවා කරන්නද මහත්තයා." මම ආදරේ කළේ පවුල කඩන්න නෙවීනෙ.
යන්න එපා කිව්වේ නෑ" " ගිහින් කතා කලාද්" "දවස් තුනක් කතා කළා. ඊට පස්සෙ ඒ නම්බර් එක වැඩකළේ නෑ. අදටත් ඒ නම්බර් එක වැඩ කරන්නේ නෑ මහත්තයා..දැන් නම් මට වැඩකුත් නෑ"
ඇඟ දොවාගෙන ඈ නාන කාමරයෙන් පැමිණියේ අත් පටි සගිත ඉතාම අලංකාර දම් පැහැති දණිස්ස දක්වා කෙටි ගවුම්කින් සැරසෙන ගමන් ය. කඩිමුඩියේ සරල ව කඩා දැමු කෙටිකොණ්‍ඩය හා පුයර සුවදින් හැඩවූ ඇය , " දවස් තුනක් කතා කරපු එයා මාව මගෑරියා මහත්තයා. ඉස්සෙල්ලාම කළේ කෝල්ස් කට් කරන එක.
කට් කරලා වයිෆ් ළඟ ඉන්නවා කියලා මෙසේජ් දැම්මා. පස්සෙ පස්සෙ කෝල්ස් ආන්ස්වර් කළෙත් නෑ. ඊට පස්සෙ මම යවපු මෙසෙජ් රීඩ් කළේ නෑ..
අන්තිමට කියල එව්ව එයාට එයාගෙ පාඩුවෙ නිදහසේ ඉන්න දෙන්න කියලා" " හ්ම්ම්ම්" " මට යන්න ඕනෙ මහත්තයා" "නිදාර්‍යා" "
එයාට සල්ලි දෙන්න ඕනෙ නිසා උකස් තියපු අපිට තිබ්බ එකම දේපල වෙච්චි තේ වත්ත සින්න වුණා. අම්මාටයි තාත්තාටයි කියලා තිබුණ එකම ආදායම් මාර්ගය ඒක මහත්තයා. අම්මා අංශභාග ලෙඩෙක්. තාත්තා මගේ ඉගෙනීමට වියදම් කළෙත් ඔය තේ වත්තෙන්. තාත්තලා කරපු ලොකුම මෝඩකම තමයි අවුරුදු විස්ස වෙද්දි මගෙ නමට ඔය තේ වත්ත ලියපු එක.
අන්ධ වෙච්ච ආදරේ නිසා මම අම්මයු තාත්තයි පාරට ඇදලා දාන්නෙ කොහොමද? අම්මාගෙ බෙහෙත් වලට සෑහෙන ගාණක් ඕනෙ වුණා.ඉතින් එතනින් එහාට අසරණ අම්මයි තාත්තයි කොහොම කන්න බොන්නද? "
" ඉතින් නිදාර්‍යා දැන් අම්මයි තාත්තයි කෝ? මගේ ගැන කනින් කොනින් ආරංචි වෙච්ච තාත්තාට හාර්ට් ඇටැක් එකක් ආවා මහත්තයා. එයා නැති වුණා.
අම්මව මට බලාගන්න විදියක් නෑ රස්සාවක් නැතුව. ඒ නිසා මම අම්මාව බලාගන්න තැනකට දැම්මා. එතනින් ගොඩක් හොඳට සාත්තු කරනවා. හැබැයි ලොකු වියදමක් යනවා. මාව අම්මයි තාත්තයි හැදුවේ මලක් වගේ කිසිම අඩුපාඩුවක් නොකර.
ඉතින් මම අම්මාට ඒ සැප දෙන්න ඕනේ, තාත්තට දෙන්න බැරි වුණ සැප අම්මාට වත් දෙන්න ඕනේ.
දැන් අම්මා මාව අඳුරන්නේවත් නෑ මහත්තයා. එයාගෙ සිහි කල්පනාවත් නෑ" "දැන් නිදාර්‍යා ඉස්සරහට මොකද්ද කරන්න ඉන්නේ?" "මේ කරා වගේ අම්මා ජීවත් වෙනකම් ඉන්නවා" " නිදාර්‍යා කසාද බඳින්න කැමති නැද්ද?" ඇය වියරුවෙන් මෙන් හඬනඟා සිනාසෙමින් කාමරයේ දොර ඇරගෙන පිටත්ව ගියේ, "ඔන්න ඔය දොර වහගෙන බිල ගෙවන් යන්න..මං වැටුණ ලිං කටින්ම ගොඩ එනවා මහත්තයා...!!" යැයි පවසමින් හැඟීම් විරහිත බැල්මක් මා වෙත හෙලන ගමන් මය.
දිගැසි පබසරා අමරසිංහ 2020 ජනවාරි 12
Written by Chathuri Ni Sansala
හිරු සැඟවීම ගොස් ඇති හැඩකි. කඳු පියස්සාව වටා ගී ගයමින් ඉගිලෙන වැහි කෝඩය නොනැවතී වැහිබිඳු බිම හලයි. හිමිදිරි සිහිල හෝදා වැහි සිසිල පරිසරය ම වෙලා ගෙන තිබුණි. එනමුදු මා හද උණුහුමකින් පිරී තිබුණි.
යලිත් වරක් මා ජැකට්ටුවේ වම්පස සාක්කුවට අත තබා බැලීමි. ළයේ ගැවෙනා මායිමෙහි ඒ දිලිසෙනා කුඩා තිලිණය තිබුණි.
හුස්මක් ඉහළ ඇද වැහි හුළඟෙන් ළය පුරවාගෙන නිවසින් පිටතට පියවරක් තැබීමි. හිසට ඉහළින් උසුලා ගත් කුඩය කඳු මුවුනත හරහා හමා යන හුළඟ සමගින් අරගලයකය.
අසීරුවෙන් එයද වාවාගෙන අනික් අතෙහි වු සුවඳැති ක්‍රිසන්තියම් මල් පොකුර මම සිරුරට මුවාකරගතිමි. සුළඟට එය සුණුවිසුණු කරනට ඉඩ දිය නොහේ.
වර්ෂාව මැද ඉදිරියට යාමද තරමක අසීරුවක් උව මා නතර කළ හැක්කේ නම් කා හටද? අද නම් යා යුතු ම දිනයකි.
ඉදින් මම වැසි දියෙන් තෙමෙමින් ඇට මිදුලු දක්වා ම කාවදින සීතලෙන් වෙව්ලමින් ම මම කඳු පාමුලට බැස යාන්තමින් වැසි මුවාවකට පා තැබීමි.
වැස්සෙහි හඬ තවද ඇසේ. එනමුදු හිසට ඉහළින් නැගි මැයි මාර ගස් දෙපේලිය මද සහනයක් ගෙනදුනි. රතු පැහැයෙන් පිපී තිබූ මැයි මාර මල් වැසි දියෙන් පහර ලද නටුවෙන් ගිලිහී බිම වැටෙමින් තිබුනේ වැස්සට ම මුහු වෙමිනි.
එය අද දිනයට හොඳ ම රතු පාවඩයකි.
අහා... අවසන මම එහි පැමිණියෙමි. නොපැමිණියා නම් කුමට?
මා අපේක්ෂාවෙන් එහි රැඳී සිටි තැනැත්තියගේ නෙත් මත දුලමින් තිබූයේ මා දුටු ප්‍රේමණීය ම මදහසයි.
වදනක් හෝ නොදොඩාම අත වූ ක්‍රිසන්තියම් පොකුර ඈ හට දුනිමි.
වෙනත් තිලිනයක් නම් අවැසි නොවන බව මම දනිමි.
අද වැනි දිනක මෙතරම් වැසි වැටෙන හිමිදිරියේ ම ක්‍රිසන්තියම් මල් පොකුරක්ද අත දරා මා ඈ සොයා පැමිණීම ම ඈ හට තිළිණයක් සදිසි බව දනිමි.
එනමුදු මම ඇයට තවත් දෑසින් සිනහ විසිරුවන්නට ඉඩ දී නැඹුරුව ඈ දෙතොල් පෙති සිපගතිමි. සීතල පරයමින් මා හද තුළ උණුහුම නැගෙන්නට විනි.
මම සිනහ සැලුවෙමි. ඈ වඩා සුන්දර සිනහවක් මුව දරා උන්නාය.
අවසන මම මගේ ජැකට්ටුවෙහි සාක්කුවට අත දමා එය පිටතට ගතිමි. කුඩා හුරුබුහුටි , එමෙන් ම දිලෙන කුඩා තිළිණය.
දිලෙනා රිදී පැහැ කර මාලයෙහි එල්ලෙන කුඩා රිදී හදවතකි.
ඈ සැමදාමත් එවැනි දේට ආශා කල බව දනිමි. මගේ දෑතින් ම එය පැළඳවූ මම ඈ වැළඳ මිනිත්තු කිහිපයක් ගත කළෙමි. කිසි දිනක ඈ තුරුලෙන් මිදෙන්නට අවැසි බවක් නොදැනේ. ඈව වැළඳ හිඳිනා අතරතුර ම යලිත් ඒ දෙතොල් තව වරක් සිපගතිමි.
"සුබ උපන්දිනයක් මගෙ බෝනික්කි. ඔයාට නම් වයස කියන්නෙ නිකන් ම නිකන් ඉලක්කමක්"
මා එලෙස මුමුණද්දී උව ඇගේ දෙතොලතර ඒ නොවෙනස් සිනහව එලෙසින් ම රැඳී තිබුණි.
ඈ වෙන නම් කුමක් කරන්නද? මම ද කඳුළු ගලනා වේදනාබර හදවත ආයාසයෙන් වසාගෙන සිනහවක් පෑමි.
කිමද මට ඈ අබියස හඬනු නොහේ. එහෙයින් යලිත් මීපැණි තැවරූ සිනහවක් පෑ මම හිසට ඉහළින් නැගි කිරිගරුඬ පියස්සාව දෙස බලා ශෝකය පාකොට ඈ අසල හිඳගෙන දොඩන්නට උනෙමි.
ඒ සයවන අවුරුද්දයි. රිදී කරාබු යුගල, මුදුව, අත් පලඳනාව,මේ වසරෙහි කර මාලය.
ලබන වසරෙහි මම ඈ වෙනුවෙන් පා සළඹක් ගෙනෙමි. සිතුවිලි අතර ම යලිත් මම ඈ දෙතොල් සිපගතිමි. ඈ මගේ මත්වීමයි. උණුහුම මුසු මුදුබව වෙනුවට පිඟන් ගඩොලක දැඩි සීත බව දෙතොල විඳගනිද්දී මම කඳුලක් සැනෙන් පිසගතිමි.
කම් නැත, ඇය නිදනු ඇත. මම ඈ සමීපයෙහි සිට දොඩමි. ඈ අසා සිටියාවේ.
Written by Chathuri Ni Sansala
ඇඟම හිරිවට්ටන හීතල හුළඟ මූණ ඉඹ ඉඹ කෝලිත්‍තම් කරද්දි මම බලාගෙන හිටියෙ පේන කඳු මුදුන් දිහාව. සුදටත් වඩා අලු පාටකට හුරු තරමක් ඝන මීදුම කඳු සිරස් වෙලාගෙන තිබ්බෙ හරිම ආදරයකින්. උදේ හතත් වෙලා, ඒත් හීන් කලුවර තාමත් එහෙමමයි.
ඒ මෙහෙ හැටි කියන්නෙ. මේ තමයි මන්දාරම් නුවර. නම ඇහුවත් හිතට දැනෙන්නෙ අමුතුම හැඟීමක්. මීදුම, ලා අඳුර, හිතම හිරිවට්ටන සැර ඒත් සුන්දර හීතල, පේන මානෙම පැතිරිනු මිදුණු කොල පාට, පළාතම වටකරගෙන නැගුණු කඳු මුදුන්, ඒක අමුතුම ලෝකයක්. අමුතුම සුන්දරත්වයක්.
මන්දාරම් නුවර නම ඇහෙද්දි ඉස්සර දැනුන ඒ අමුතුම හැඟීමට තවත් අමුතුම හැඟීමක් එකතුවෙලා දැන් ගොඩක් කල්. හ්ම්ම්ම්ම් ඒක වෙනමම කතාවක්.
තනියම වාඩිවෙලා ඔහේ බලන් හිටපු මම ගැස්සිලා හැරිල බැලුවෙ උරහිසට දැනුණු ස්පර්ශකින්. ඔව්, මං තාමත් මන්දාරම් නුවරදි තිගැස්සෙනව.
ඒ මතක ඇතුලෙ අතරමං වෙලා ඉන්න නිසා. ඒත් කාලය ඉගිලිලා. ආයෙම සුසුමක් හෙලපු මං වාඩිවෙලා හිටපු තැන්නෙන් නැගිට්ටෙ අපේ එලිමහන් කූඩාරම දිහාට යන්න.
සමාධි, මහෙ හොඳම යාලුව මගෙ උරහිස පිරිමැද්දෙ මගෙ සුසුමට හේතුව හොඳටම දන්න නිසා. "යමු නදී, උණු උණුවෙ කොෆී තියනව.
බීල ඉමු" සමාධි කිව්වම මම හිනා උනේ මතක හිත කොනකට තල්ලු කරල දාල. අපි කූඩාරම ගාවට යද්දි එතන පුංචි පහේ හෝටලයක් වගේ. උණු උණුවෙ දුන් දාන කෝෆි එක්ක ගිනිමැලයට උඩින් ලී දඬු කීපයක් හරස් කරල එල්ලපු තාච්චියක සුවඳට බැදෙන සොසේජස්. ඒ මොන විදිහෙ කෑමක්ද මන්ද. ඕන එකක්.
පේපර් ප්ලේට් එකක් උඩ තියල දුන්න රන්වන් පාටට බැදුණු සොසේජස් එක්ක උණුම උණු සුවඳ එන කෝෆි කෝප්පය දැක්කම මට කවදාවත් නැති පෙරේතකමක් දැනුන. හරිම රස පාටයි.
මගේ කොටහත් අරගෙන ගිහින් මං ගිනිමැලයට ආසන්න තැනකින් වාඩිවුනේ නිවාඩු පාඩුවේ ඒක රස විඳින්න. උණුම උණු සොසේජස් කටක්, ඊටපස්සෙ ගිණිගහන තොල් පිච්චෙන කෝෆි උගුරක්. හීතල කපාගෙන ඇඟට දැනෙන අමුතුම උණුහුමක්. හොඳම යාලුවො පස්දෙනයි එයාලගෙ පුංචි පවුල් ටිකයි එක්ක මෙහෙම ගමනක් ඇවිත් ගිනිමැලයක් වටේට වාඩිවෙලා පොඩි කයියක් දාගෙන ඉන්න එකත් වෙනමම සුන්දර හැඟීමක්.
ඒත්,...... මට වැඩියෙන්ම සුන්දර මේ මන්දාරම් නුවර කඳු මුදුන් පේන තැනකට වෙලා මතක අතර සැරිසරන එක. ඒ නිසාම බඩ පුරවගත්ත මං යාලුවන්ට ගිණි මැලයෙ රස්නය විඳින්න දීල මගේ සීතල මතක විජිතය හොයාගෙන ආපහු කලින් හිටපු තැනටම ගිහින් වාඩිවුනා. මේ අවුරුදු ගානක් පුරාවට මං කරපු මන්දාරම් නුවර මතක වන්දනාවෙ පස්වෙනි අවුරුද්ද.
කෝඩු මං පලවෙනි වතාවට මන්දාරම් නුවර දැක්කෙ අවුරුදු පහකට කලින්.
"මේ... හරිම ලස්සනයි මියුරු. බලන්නකො නම, මන්දාරම් නුවර. මට ඒ නම දැක්කමත් එහෙ ගියා වගේ දැනෙනව"
"ඉතිං, යන්න ආසද එහෙ?" මං මුහුණුපොතේ දැකපු ලස්සන පින්තූර්‍යක් දැකල කිව්වම ඒ එයා අහපු දේ, හරියටම අවුරුදු පහකට කලින්.
එයා තමයි මියුරු. එයාගෙ ප්‍රශ්නෙට මං දීපු උත්තරේ
"අනේ.... ඔව්" ඒ වෙද්දි අපි කැම්පස් එකේ අන්තිම විභාගෙ ලියල ඉවර වුණා විතරයි.
මියුරු, සමාධි, මාශි, අනූ, සංජනා, රකී, අමිත් මගේ සෙට් එක. මගේ උත්තරේට හිනාවෙලා අහක බලාගත්ත මියුරු ඊට දවස් දෙකකට පස්සෙ මන්දාරම් නුවර ගමන ලෑස්ති කරල තිබ්බෙ මට හොරෙන් අපේ සෙට් එකේ ඔක්කොම දැනුවත්ව.
දෙයියනේ මන්දාරම් නුවරට පය තිබ්බ වෙලේ ඉඳලම මගෙ ඇස් වැහුනෙ නැති තරම්. ඇස් ලොකු කරගෙන මන්දාරම් නුවර හිත වශී කරන සුන්දරත්වය මං ඇස් දෙකෙන් උරාගෙන විඳගත්තෙ පුදුම ආසාවකින්.
"මෝඩි, ඔය බෝල ඇස් පොඩ්ඩක් වහගනින්.නැත්තම් රිදෙන්න ගනී ඔහොම ඇස් ලොකු කරගෙන බලන් ඉඳල" අනිත් උන් පිස්සුවෙන් වගේ ෆොටෝ ගහන අස්සෙ මං වාඩිවෙලා හිටපු තැන්නෙ මං ගාවින්ම වාඩිවෙච්ච මියුරු කිව්වම මගෙ කටින් පැන්නෙ ලොකු හිනාවක්.
"මෙහෙ හරිම ලස්සනයි මියූරු. හැමදාම ඉන්න හිතෙනව" "ඉමු ඉතිං" "ඈහ්?" "මෙහෙ ගෙයක් අරන් පදිංචි වෙමු අපි දෙන්න"
"අපි දෙන්න?" මියුරු කියපු දේට මට පුදුම හිතුන. "ඔව් අපි දෙන්න" "ඒත් ඇයි අපි දෙන්න විතරක්" එහෙම ඇහුවම ඒ ලස්සන මූණෙ ඇඳුනෙ ලස්සන හිනාවක්.
මුකුත්ම නොකිය මගෙ මූණට ළං වෙච්ච මියුරු සීතලෙන් වෙව්ල වෙව්ල තිබ්බ මගෙ තොල් උඩින් එයාගෙ තොල් තියද්දි මම මොහොතකට ගල් උනා. මුලු ලෝකෙම නැවතුනා. ඒ මගෙ ප්‍රථම හාදුව.
මිත්‍රත්වයෙන් අඩියක් ඉස්සරහට තියල මාව ළං කරගත්ත ඒ දේ මගේ ප්‍රථම ආදරය. "සොරි නදී, මට ඔයාව දැනෙන්න අරන් අවුරුදු ගාණක්. ඒත් මේක කියන්න වෙලාව එනකම් ඉන්න උනා" මියුරු ලැජ්ජාවෙන් හිනාවෙලා කිව්වෙ මම තවදුරටත් හිතාගන්න බැරුව බලන් හිටිද්දි.
මට ඔහු ගැන පළවෙනිම විශේෂ හැඟීම දැනුනෙ එදා ඒ මොහොතෙ. ඒ මොහොතෙ ඉඳල අද මේ ගෙවිල අවසන් වෙන පස්වෙනි අවුරුද්ද වෙනකම් මට ඒ විශේෂ හැඟීමෙන් මිදෙන්න පුලුවන් උනේ නෑ.
හිත පතුලම පහුරුගාන ආත්මයටම උරාගත්ත ඒ වේදනාව වචනවලින් විස්තර කරන්න මම දන්නෙ නෑ. ඒත් අවුරුදු ගානක් පුරාවට ඒ වේදනාවෙන් දැවි දැවී මතක එක්ක ජීවත්වෙන එක මට පුරුද්දට ගිහින්.
"ඔය ලස්සන බෝල ඇස් තියන බෝනික්කි පැටියෙක්ට මං ආසයි"
එදාම ඇරඹිච්ච ප්‍රේමයකට එච්චර දුර ගමනක්, විහිලුවක් වගේ උනත් මගේ තොල් සිපගෙන අඩ හෝරාවක් ගෙවෙන්නත් කලින් එයා මට ලස්සන හීනයක් මවල පෙන්නුව" "අපි එයාට මන්දාරා කියල නම දාමු"
මම ඒ හීනෙට පාට තැවතුව. "ඒත්, මන්දාරම කියන්නෙ මීදුමටනෙ" "ඉතිං, මං මීදුමට හරි ආසයි. ඒක හරිම ලස්සනයි.
ඒ නම අපිට මන්දාරම් නුවර මතක් කරයි" ඔහු හිනාවෙලා මං ලබපු දෙවෙනි හාදුව සලකුණු කලේ මගේ නලලත.
ඒත් මට අමතක උනේ හීනයන්ගෙන් අවදි වෙද්දී වඩාත් වේදනාකාරී බව. අවුරුදු පහක්ම ගෙවිල ගිහින් ඒත් ඒ හීනෙ දැකල දවස් දෙකක් යන්න කලියෙන් ඒ හීනෙන් එළියට ඇදල දාද්දි දැණුණු වේදනාව තාම හිත පාරනව.
දවස් දෙකකට පස්සෙ මියුරුගෙ කටහඬ අහද්දි ඒ කටහඬ අහන අන්තිම වතාව ඒක කියල මම දැනගෙන හිටියනම් දෙයියනේ.
රිදෙන මතක අස්සෙන් ඇස් අගට ආපු කඳුලු බින්දුවක් කම්මුල ඉඹිද්දි මං ඇස් වහගත්ත. තවමත් වේදනාවෙ කෙලවරක් නෑ. පිහිතුඩු වගේ ඇනි ඇනී හිතම පාරනව.
"මන්දාරා..." එකපාරටම ඇහිච්ච හඬක් නිසාවෙන් මං ඇස් ඇරල බැලුව. මීදුම අස්සෙන් දුවගෙන එනව පේන්නෙ පොඩි කෙලි පොඩ්ඩක්. මගෙ දෙයියනේ ඒ හුරතල් මූණ, රෝස මලක් වගේ. අලුපාටට දිලිසෙන බෝල ඇස්, ඒව බෝනික්කියෙක්ගෙ වගේ. ඇත්තටම ඒ බෝනික්කියෙක්.
මගෙ ඉස්සරහම නැවතිච්ච අවුරුදු තුන හතරක් වගේ වෙච්ච ඒ පොඩි එකී හරිම ලස්සන හිනාවකින් මගෙ දිහා බලන් හිටියෙ.
"මන්දාරා.... දෝනී... ඔහොම ඉන්න අපි එනකම්" මීදුම අස්සෙන් ඊළඟට දුවගෙන ආවෙ තරුණ ගෑණු කෙනෙක්. ඊටත් පිටිපස්සෙන්.......
හිතමැද්දට හෙන සීයක් එකපාරටම වැදුන වගේ. ඇස් ඉස්සරහ මැවි මැවී පෙනුනෙ උපාධි ප්‍රධානෝත්වය දවසෙ වෙන කෙල්ලෙගෙ අත අලලන් මගෙ දිහා නොබලම ගිය මියුරුව. හ්ම්ම්ම්ම්ම් ඒ අතීතය.
පිරිමියෙක්ට අයිති ඇස් දෙකක් විසල් කරන් බලන් ඉද්දි මම තැන්නෙන් නැගිටල යාලුවො ඉඳපු දිහාවට ඇවිදගෙන ගියා. සමහර විටක මම ආයෙම මන්දාරම් නුවර මතක වන්දනාවට නොයේවි. කෙලෙසුණු මතක භූමිවල වන්දනාව නිශ්ඵලයි.
Written by Chathuri Ni Sansala
දියතලාව සොඳුරු පරිසරය සිසාරා පැතිර තිබු තරමක සීතල මැදින් බස් රථය නොනැවතී ධාවනය වන අතර මම කවුලුවක් අසලට වී පිටත බලා සිටියෙමි. වෙලාව සවස 4ට පමණ විය. මගේ ජීවිතයේ අලුත් ආරම්භයකි. අලුත් පරිච්ඡේදයකි. ගැඹුරු හුස්මක් ගෙන සීතල නැවුම් සුළඟින් ළය පුරවාගතිමි.
හිත තුළ පිනා යන ප්‍රීතියක් මෙන්ම කුමක්දෝ නුහුරු භීතියක්ද නැගේ. එනමුදු ඇතුලාන්තයෙන්ම නැගී එන තෘප්තිමත් බවකි.
අද පටන් වසර කිහිපයකට මේ සොඳුරු දනව්ව මගේ නිවස වන්නට යයි. එය සිහිනයකි. නැත. සැබෑ වන්නට යන සිහිනයකි. ගත දැවටී ඇති චාම් සාරිය දෙස බැලූ මම පසෙකින් සුරක්ෂිතව එල්ලා ඇති නිල ලාංජනයක් සහිත කබාය දෙසට නෙත් යොමු කලෙමි. සැබැවින්ම එය හදවතේ ඇඳුණු සලකුණකි. මම මගේ සිහිනය තුලට පළමු පියවර තබා ඇත්තෙමි. ඒ විසල් තේජාන්විත පෙනුමැති ගේට්ටුව තුළින් බස් රථය එම භූමියට ඇතුල් වද්දී හදවත නතර වූවාක් මෙන් දැනුනි. මෙය මගේ සිහිනයට තටු දෙන බිමයි. දියතලාව යුධ හමුදා පුහුණු පාසල.
“මම සුලෝචනා මදුමතී බන්ඩාර. අද පටන් පුහුණුවන කැඩෙට් නිළධරිනියක ලෙස දිවිහිමියෙන් රට වෙනුවෙන් කටයුතු කිරීමට මා පොරොන්දු වෙමි” එම භූමිය මත පය තැබූ ප්‍රථම මිනිත්තුවේදම මා සිතින් සපත වූයෙමි. රැගෙන ආ බඩු භාණ්ඩද රැගෙන බස් රථයෙන් බිමට බට මට මෙන්ම අනෙකුත් පිරිසටද ඉතාමත් අනගි පිලිගැනීමක් ලැබුණි. දන්නා අය දන්නවා සේම නොදන්නා අය විශ්මයට පත්වෙන පිලිගැනීමකි.
නිල කබා සාරි වලින් සැරසී ගෙන ආ බඩු බාහිරාදිය දෑත හරහට අරගත් අප හට පෙල සැදී අදාල වූ රැස්වීම් ශාලාවක් කරා යන්නට අන ලැබුණි. නැත දුවන්නට අන ලැබුණි. දෑත් හරහට ගත් බඩු පොදිද, ගත දැවටුණු වදකාර යාර 6ක සාරියද, පයේ ලූ අඩි තරමක අඩිය උස මිරිවැඩියද ඒ සියල්ලටමත් වඩා ලඳ බොළඳ ස්ත්‍රී ශරීරයද දුවන්නට මැලි කමක් දක්වද්දී ගොපල්ලෙක් විසින් දක්කනු ලැබූ සත්ව රැලක් මෙන් අපි දුව ගොස් රැස්වීම් ශාලාව තුළට ගාල්වුනෙමු.
දාඩිය පෙරෙන සිරුරින්ද ගමන් මලු වල බරින් වේදනා දෙන දෑතින්ද යුතුව ඉහළ නිළදාරීන්ගේ දේශන වලට පැයක් පමණ සවන් දුනිමි. නැත. විය නොහැක. නැවතත් දිවයාමක්. මෙය නම් කරුමයකි.
නැවතත් නවාතැන් ගන්නා ස්ථානය කරා පෙල සැදී දුවන්නට සිදු විය. ප්‍රිය මිරිවැඩි සඟල. ඒ මොහොතේ නම් මා නුඹට සාප කලෙමි. දෙකකුල් කැපී නැගෙන වේදනාව දැරිය නොහැකි තරම් විය. සිහිනයකට උව මෙතරම් රුදු විය හැකිද? කුස නොව මුව දක්වාම පිරුණු ප්‍රනීත අහර වේලකින් පසුව රැයේ ලැබුණේ සුව නින්දකි.
මල් යහනාවක් සුව විඳීමට නොපැමිණියෙන් දෙකකුල් වේදනා අමතක කර දමා ලද සුවපහසු මෙට්ටයෙන් උපරිම පල නෙලා ගතිමි. සිහින රහිත සාමකාමී නින්දක්.
කවුදෝ මා අවදි කරවන්නට සොලවයි. තවම හිරු නැගීවත් නැති බැව් නිසැකය. සීතල ඇටකටු පවා හිරිවට්ටවයි. බදා කිරීම් නොතකාම මං දෑස් පියා සිටියෙමි. නැත නැවතත් මා අවදි කිරීමට උත්සාහයකි. “අනේ අම්ම තව චුට්ටක් නිදාගන්න දෙන්න.
හරිම සීතලයි” මම මවගෙන් අයැද සිටියෙමි. එකවරම අයිස් තරමේ සීතල වතුර ප්‍රහාරයක් මුහුණට පතිත විය. මම තිගැස්සී දෑස් හැර බැලුවෙමි. නිවසට සමුදී දවසකි.
තවත් මා රකින්නට මව මෙහි නැත. ඒ වෙනුවට පාඨමාල බාර නිලදාරිනිය ඔරවාගත් දෑසින් මා දෙස බලා සිටියාය. මා වහා සයනයෙන් බිමට පැන සිට ගතිමි. මා මෙන්ම මගේ කුටියේ විසූ අනෙකුත් සිව් දෙනාම මගේ ඉරනමටම මුහුණ දී ඇති සෙයකි.
සැවොම බිම බලාගෙන මුහුණු පිසිමින් සිටිනු දක්නට ලැබුණි. පාඨමාල බාර නිලදාරිනිය සියලු දෙනාටම හැකි තරම් විනීත නමුදු හැකි තරම් දරුණු වචන වලින් විය යුත්ත සහ අපට අදාල ක්‍රියා පටිපාටියද අපහට කියාදී පිටව ගියාය. අහෝ කරුමයක මහත. උදෑසන 6ට වත් නැති තරම්ය.
ලහි ලහියේ ඇඳ පැලඳ ක්‍රීඩා පිටිය වෙත යද්දී නියමිත වෙලාව ඉක්ම ගොස් තිබුණි. එතැන් පටන් අප සැම කැඩෙට් නිලධාරිනියකගේ පුහුණු දිවියේ සුන්දරත්වය අපූරුවට වටහා ගතිමි. විසල් පිට්ටනිය වටා දිව ගිය අති සුන්දර වාර ගනන්ද, නින්ද පැමිණෙන මුත් නිදා ගත් නොහැකි දේශනද, කර එල්ලා ගත් වැලි කොට්ටා සමග දිව ගිය අපමණ වාරා ගණනද, දවසේ අපමණ වාර ගණනාවක් ලද දඬුවම්ද, සියල්ලන්ටම වඩා ඉසිලිය නොහැකි කෑම වේල් අහිමි කිරීම්ද මාත් මගේ සහෝදර නිලදාරිනියනුත් අපමණ වෙනස්කම් වලට ලක්කලේය.
දන්නා කාලයේ සිටම දැකි සොඳුරු ස්වප්නය දුස් ස්වප්නයක් වෙමින් තිබියදී කාටත් හොරා බොහෝ දිනයන්හි රැයේ මා හඬා වැටුනෙමි. මවගේ ස්නේහයේ අවශ්‍යතා මාහට දැඩිව දැනෙමින් තිබුණි. නමුදු ඇය වෙත යාමට කිසිඳු හැකියාවක් නොතිබුණි. සියලු දුක් ගැහැට වේදනා ඉවසමින් ලද මිත්‍රත්වයෙන් සැනසුනෙමි. එලෙස ගෙවුණු අන්ධකාර පරිච්චේදයක එක් දිනක කුමක්දෝ සහන් එළියක් මා දිවියට වැටුණි. එය අහම්බයක් සදිසිය.
අප ජේෂ්ඨයන්ගේ භෝජනාගාරය වෙත පිවිසීමට අවසරය ලද පළමු දින උදාවිය. හැකි ඉහළ පිලිවෙලින් නිල ඇඳුමින් සැරසුණු අප පෙල සැදී විනීතව භෝජනාගාරය වෙත ඇතුල් වුනෙමු.
එසැනින්ම සිතට දැනුනේ භීතියකි. ජේෂ්ඨ කැඩෙට් නිලධාරීන් නිලදාරිනියන් උකුසු ඇසින් අප දෙස බලා සිටී. එදින අප එක් අයෙකුටවත් උගුරෙන් පහලට අහර බිඳක් යවා ගැනීමට හැකියාවක් තිබුණාදැයි සැකසහිතය. නමුදු ලබාදෙන ආහාර ප්‍රමානය බිඳකුදු ඉවත නොදමා අනුභව කල යුතු බැවින් අප කිරි මැටි ගිලින කිඹුලන් මෙන් සියල්ල කුසට දමා ගතිමු. මදකට හිස ඔසවා බැලූ මා දුටුවේ අපට වසරකට ජේෂ්ඨ කැඩෙට් නිලදාරියෙකි. ඔහු අප දෙස තියුණු දෑසින් බලා සිටී. නැත මා දෙස තියුනු දෑසින් බලා සිටී.
මම හොඳින් වට පිට බැලුවෙමි. මා මෙන්ම මෙහි මගේ සහෝදර නිලදාරිනියන්ද සිටී. නමුත් ඔහු ස්ථිරවම බලා සිටිනුයේ මා දෙසයි. මා මගේ නිල ඇඳුම නැවත පිරික්සීමි. එහි අඩුවක් නැත. කොන්ඩයද නියමිත පරිදි පිලිවෙලට පීරා ඇත. මා අතින් දැනුවත්ව නම් වරදක් සිදු නොවූ බව සහතිකය.
නමුත් ඔහු තවත් මා දෙසම බලා සිටී. මා බිම බලමින් නලල දෙපස නැගි ඩා බිඳු පිස ගතිමි. නිමේශයකින් ඔහු හිඳ සිටි අසුනින් නැගී සිටියේය. මම බියට පත්ව මගේ ළබැඳිය මිතුරිය වූ අසල සිටි කැඩෙට් නිලධාරිනියගේ සුරත තදකොට අල්ල ගතිමි.
ඇයද බියපත්ව ඇති හැඩකි. ඔහු නැගිට අප දෙසට පැම්ණෙද්දී මා ඇතුලාන්තයෙන් ගැහෙමින් බලා සිටියෙමි. ඔහු ජේෂ්ඨයෙකි. මගේ කුමක් හෝ වරදක් හසූ වී නම් මා පමණක් නොව අනිකුත් කනිෂ්ඨ කැඩෙට් නිලදාරිනියන්ට මා සමගම දඬුවම් විඳීමට සිදුවනු ඇත.
පුදුමයකි අප අසලට පැමිණෙද්දි ඔහුගේ දෑසේ වූ තියුණු බැල්ම වෙනස්වුනු අතර දෙතොල අග රැඳි ලා මදහසක්ද සමග ඔහු අප දෙස්වත් නොබලා යන්න ගියේය. මම ඉහළට ගත් හුස්ම පහලට හෙලා මොහොතකට පසුව හැරී බැලුවෙමි. ඔහු ජල කරාමය අසල දෑත සෝදමින් සිටියේය.
ඔහු එතනින් නික්මෙන තුරු සිටි මම සහෝදර නිලධාරියන්ද සමගින් දෑත් සේදීම සඳහා ගියෙමි. දෑත් සෝදා පසෙකට වත්ම පණිවිඩ කරුවෙකු මාර්ගයෙන් ලද පණිවුඩයකින් ලබා ගත පිච්චී ගිය බවක් හැඟුනි.
“අද ඩියුටි ඉන්න කෙනාට සීනියර් ඩියුටි කැඩෙට් ඔෆිසර් සමරදිවාකර එන්න කිව්ව” සහෝදර කැඩෙට් නිලධාරියෙකු පැමිණ පවස්ද්දී මගේ සියොළඟම සීතල විය. කරුමයක මහත. දිනෙන් දින මාරු වෙන කනිෂ්ඨ කැඩෙට් නිලධාරිනී කාණ්ඩයේ කාර්‍ය භාර නිලධාරි තනතුර අද දරනුයේ මමයි.
කුමන ගිනි ගෙඩියක් හිස මත පතිත වේදැයි සිතමින් මම ගැහෙමින් ජේෂ්ඨ කාර්‍ය භාර නිලදාරියා සිටින කාර්‍යාලය කරා පියනැගීමි. මා එහි දොරට තට්ටු කර පසෙකට වෙද්දී මා හට එහි ඇතුල් වීමට අවසරය ලැබුණි.
මා එහි ඇතුල් වෙද්දී ඔහු හිස නමාගෙන කුමක්දෝ ලිපි ගොනුවක් බලමින් සිටියේය. මම ඔහුට අචාරය දැක්වීමි. ඔහු හිස ඔසවා බලද්දී මොහොතකට මාගේ දෑස් විසල් විය. ඒ අන කවරෙකුවත් නොව ජේෂ්ඨයන්ගේ භෝජනාගාරය තුල්දී මා දෙස බලා සිටි ජේෂ්ඨ කැඩෙට් නිලධාරියාය. මුව මත ඇඳි ලා සිනහවක් සමගම ඔහු මා ඇමතුවේය.
“ තමාද අද ඩ්යුටි ඉන්නෙ?”
“ඔව් ඔෆිසර්” මම වෙව්ලන හඬින් ඔහුට පිළිතුරු දුනිමි.
“මොකද වෙව්ලන්නෙ සීතලද?” ඔහු තරමක දැඩි ස්වරයකින් විමසා සිටියේය. “නෑ ඔෆිසර්
“ මං ඔහුට පිලිතුරු දුන්නෙමි.
“ඕක හරියනව මේ වෙලාවෙ වතුර පාරක පොඩ්ඩක් ඔබල ගත්ත නම්” ඔහු එලෙස පවසද්දී මම තිගැස්සී ඔහු දෙස බැලුවෙමි.
මේ සීතල හෝරාවේ ජල පහරක එබීම. එය නම් ස්වප්නයන්ගෙනුත් නරකම ස්වපනයකි. මොහොතක් නිහඬවම බලා සිටි ඔහු යලිත් මා ඇමතුවේය.
“කොහොමද දැන් තමුන්ලගෙ ට්‍රේනින්ග් එකේ සිටුවේශන් එක?”
“හොඳින් කෙරෙනව ඔෆිසර්” මම ඔහුට පිළිතුරු සැපයීමි.
“ඒ උනාට මුළු ඇකඩමි එකම කියන්නෙ මෙච්චර කාලෙකට ආපු වර්ස්ට්ම ලේඩි කැඩෙට්ස්ල ටික තමුංල කියල” ඔහු එක එල්ලේ මා දෑස දෙස බලාගෙන කියූවද ඔහුගේ මුවග සිනහවක් මිස තරහක් නොවීය.
මා එයට දිය යුතු පිළිතුරක් පිළිබඳ සිතාගත නොහැකිව මම කල්පනා කලෙමි. එයට ඔව් හෝ නෑ යනුවෙන් පිළිතුරු දිය නොහැක. ඔහු ජේෂ්ඨ නිලධාරියෙකි. මට ඔහු සමග තර්ක කල නොහැක. එසේ තර්ක කිරීම මට පමණක් නොව අනෙකුත් කනිෂ්ඨ නිලදාරිනියන්ටද දඬුවමකට මග පාදන්නක් බව මා දැන සිටියෙමි.
“ඔයිට වඩා කැපවීමෙන් වැඩ කරනවල. රෝස මල්, බබාල, ඉටි පන්දම් වගේ මේකෙ ඉන්න බෑ. කලු ගල් වගේ හයිය වෙනව. නැත්තම් මේක දමල ගහල ගෙදර යනව” ඔහු තරමක් තදින් පවසද්දී මං සිත තුළින් සැලුනෙමි.
යා යුතු උවද දැන් මෙය හැර යාමට නොහැකිය. මෙය කොටි වල්ගයක් බව ඔහුද හොඳ හැටි දනි.
“තමුංට තේරුනාද?” ඔව් විමසද්දී මං ඔහුට පිළිතුරු දුනිමි. “ඔව් ඔෆිසර්”
“එහෙනම් එච්චරයි. තමුන්ගෙ බබා යාලුවො ටිකටත් තේරුම් කරල දෙනව. නැත්තම් මේකෙ ඔෆිසර්ල දන්නව තමුන්ලව හදල ගන්න”
ඔහු දැඩි නොවන නමුදු අවදාරනාත්මක හඬකින් මට නියෝග කලේය.
“ඕකේ ඔෆිසර්” මගේ හඬ බලු කුක්කෙකුගේ කෙඳිරියකට සම වූවාදැයි නොදනිමි. “හිත හයිය කරගන්නව දරුවො. මේ රස්සාවට ඕනි ඒක. හිත තියනව නම් ඕනි දෙයක් කරන්න පුලුවන්. දැන් බිලට් එකට යන්න” අහෝ පුදුමයකි.
ඔහු මට දරුවෝ යනුවෙන් ඇමතීය. එය සෙනෙහෙබර ඇමතුමකි. පියෙකු වැනිය. නමුදු ඔහු මට වඩා වසර දෙකක් වත් වැඩිමහලු නොමැති තරම්ය.
ඔහුට ආචාරය පුදකොට මා නැවත මාගේ නවාතැන් ස්ථානය කරා ඇදුනෙමි. කරන්නට බොහෝ දේ ඇත. පසු දිනට අවැසි නිල ඇඳුම් පිලියෙල කර තැබූ මම බූට් පාවහන් ඔප දමන්නට පටන්ගතිමි. ඔහු අපට රෝසමල් ,බබ්බු , ඉටි පන්දම් යැයි පැවසීය. එනමුදු අප තුල එවැනි සියුම් සුකොමල රුවක් මා නොදුටුවෙමි.
නව දැලි හේන්හි දැවුණූ වැඳිරියන් මෙන් කලුව කැතව වැහැරි කැහැටුව ගොස් ඇති අයුරු සිතාගත නොහැක. එදින පටන් මා දිවියේ අලුත් පරිච්ඡේදය තුල ස්වර්ණමය සටහන් ලියවෙන්නට පටන්ගත්තේය. ඔහු මාගේ භාරකරුවෙකු ලෙසින් හැකි සැම විටකම මා හට උපකාර කලේය. ඇතැම් ජේෂ්ඨයන්ගේ දැඩි රුදුරු චරිත හමුවේ ඔහු සැබැවින්ම ශාන්ත ගති ඇත්තෙකු බව මට අවබෝධ විය.
සොඳුරුම ස්වපනයක්ව තිබී දුස් ස්වනයක් වූ මගේ පැතුම ඔහුගේ උපදෙස් ආධාර හමුවේ යලිදු ආලෝකමත් විය. වචනයෙන් නොපැවසූ දෑසින් හුවමාරු වූ පෙම් හැඟුම් සමගම මම යලිත් පුහුණු පාසල තුල කටුක දිවිය විඳින්නට ගතිමි. දරුණු දඬුවම් ,පහර කෑම්, අවි පුහුණු දුශ්කර සටන් විදි, න්‍යායාත්මක දැනුම මේ සියල්ල සමගින් හෙමබත් උවද ඔහුව දැක්මෙන් පවා ප්‍රමුදිත වූ කාලය හදිසියේම නිමාවත්ම මා දුකට පත් වූයෙමි.
ඔහුට යන්නට කාලය පැමිණ ඇත. හෙට ඔහුගේ විසිරයාමේ දිනයයි. සිතට දුකකි. ඔහු මා හැර යනු ඇත. නමුදු සුවිසල් සතුටකි. හෙට ඔහු අධිකාරියට පත් නිලධාරියෙකු වෙනු ඇත. දිනය එළඹිනි. කාර්‍යබහුලත්වය නිසාම ඔහු හෝ වචනයක් හෝ කතා කරන්නට ඉඩ නොලදිමි. නමුදු ඔහු තේජාන්විත නිල ඇඳුමෙන් සැරසි එන අයුරු බලා සතුටු වීමට මා හිත හදාගතිමි.
අලංකාර බවෙත් තේජාන්විත බවෙත් උපරිමයට පැමිණ සිටි ඔහුත් ඔහුගේ පිරිසත් විශිෂ්ඨය. නමුදු මගේ දෑස් ඒ අතරිනුත් ඔහුව වඩාත් විශිෂ්ඨ ලෙස දිටීය. සැබැවින්ම ඔහු විශිෂ්ඨ බව ඔහු පසක් කලේය.
“වසරේ හොඳම කැඩෙට් නිලධාරියාට හිමි අසිපත හිමිකර ගන්නේ සාරද තේනුක සමරදිවාකර” එය ඇසෙද්දී මහද ප්‍රීතියෙන් පිම්බී යනු දැනිනි. ලද පළමු අවසරයෙන්ම මා ඔහු වෙත් සුභ පැතුම් එක්කිරීමට දිව ගියෙමි. නමුත් මා යන විට ඉහළ හමුදා නිලධාරියෙකු වූ ඔහුගේ පියා මව පවුලේ සියල්ලන්ම ඔහුව වැළඳ සතුටු සාමිචියේ යෙදී සිටිය.
මා තරමක් දුරින් රැඳී සිටියෙමි. ඒ මොහොතේ මගේ සිරුරේද හැපෙමින් මා පසෙකට තල්ලු කර දිව ගිය තරුණියක් පැන ඔහුව වැළඳගත්තාය. නැත ඔහුව වැලඳගෙන හාදු වැස්සකින් නැහැවීය. “කන්ගැජුලේශන්ස් ඩාර්ලින්ග්” ඇය ඔහු ගෙල වටා දෑත වෙලාගෙනම පවස්ද්දී ඔහු මහත් අසරණ බැල්මකින් මා දෙස බැලුවේය.
නෙත කොනට කඳුළු බිඳුවක් උනන බව දැනුනද මා එය සඟවා ඔහුට සිනහ පුද කලෙමි. තොල් සොලවා සුභ පැතුම් යැයි ඔහුට දැන්වූ මම සිනහ මුවින්ම හැරී එතනින් සමුගතිමි. නැත. මා හට හැඬිය නොහැක. ඔහු කිසිඳු දිනක මා හට ප්‍රේම කරන බව මුවින් පවසා නැත. වරද මා අතය. එයටත් වඩා මා කැඩෙට් නිලදාරිනියකි.
කඳුළු යනු අප හට උරුම දෙයක් නොව. මා සිත ඔහු කිව්වාක් මෙන් කළු ගලක් කරගතිමි. ඔහු යන්නට ගියේය.
කාලයද ඉගිල ගියේය. මාද හෙට අද මේ පියස හැර යමි. මගේ විසිර යාමද අදය. මගේ අසරණ මව් පැමිණ ඈත සිටම මා හට අත වනයි. ඈ ගැන මා හට දැනුනේ අපමණ සෙනෙහසකි.
මා නොසිටි වසර ගණනට ඇය තවත් වියපත්ව ඇතිවා මෙනි. මා කුඩා කලම පියා මෙලොව හැර ගිය දින සිටි මා උස් මහත් කරන්නට ඇය නොවිඳි දුකක් නැත. ඒ දුක් කඳම ඇයව වයසටත් වඩා මහලු කර ඇත. ඒ දෑස් අද සතුටු කඳුළු වගුරවයි. මා උර මත ලාංජනයක පැලඳවද්දී උවද ඇය උතුරා යන කඳුලින්ද ප්‍රේමෙන්ද යුතුව මා සිපගත්තාය. මගේ එකම ජීවන අපේක්ෂාව ඇය පමණක්ම වී අවසන්ය.
සුළු මොහොතකට පිරිස අතර නෙත් යැවූ මා දුටු එක් රුවකින් සසලව ගියෙමි. මා ජේෂ්ඨයන්ගේ භෝජනාගාරයට පය තැබූ පළමු දිනයෙදී මා බියපත් කල බැල්ම ඉහි විය. ඔහු පැමිණ සිටියේය. සැබැවින්ම ඔහු එහි විය. මා හුන් තැනම මුල් අදිද්දි ඔහු මා වෙත සෙමින් පැමිණියේය.
මා ඔහුගේ ගමනේ වෙනසක් දුටිමි. අහෝ යුධ බිම සිට ලද තුවාල වේලෙන්නටත් පෙරම ඔහු මාගේ විසිර යාම බැලීමට පැමිණ තිබුණි. ඔහුව වැළඳ ගැනීමට අවැසි උවද නිල ඇඳුම ගෞරවය වෙනුවෙන් මා නිසලව බලා සිටියෙමි. සියලු කටයුතු අවසන ලද විරාමයේ මා ඔහු සමග දොඩමලු වූයෙමි.
විසිර යාමත් සමගම දෙමාපියන්ගේ අභිමතය පරිදි තරුණියක හා විවාහ වීමට අකමැත්ත පල කල බැවින් උරණවූ ඔහුගේ දැඩි හිතැති පියා ඔහුව යුධ කලාපය වෙත යැවූ බව ඇසූ මා විස්මිත ඌවෙමි. තමන්ගේම දරුවෙකුට එලෙස කල හැක්කේ කුමන අන්දමේ පියෙකුටද?
මා ඔහුගෙන් විවාහ වීමට අකමැති වූයේ ඇයිදැයි විමසූවෙමි. ඔහු එයට සිනාසුනා පමනකි. ආ ගිය තොරතුරු පවසමින් සිට මා හැර ගිය මිස ඔහු එදිනද කිසිවක් මුවින් මා හට නොපැවසුවේය.ඔහුව නවතා නොගැනීම ගැනද හද රැඳි ආලය නොපැවසීම ගැන පසුව මා මටම දොස් පවරා ගතිමි.
ඉන් පසුව ගෙවි ගිය දිනක මා නමට ලද ලිපියක් මම විවර කර බැලුවෙමි. මොහොතකට මට දැනුණු හැඟුම් කොපමණ දැයි විස්තර කල නොහැකි තරමකි. ලිපිය ඔහුගෙනි.
මුවින් නොකී දේ ඔහු ලිපිය තුළ අකුරු කර එවා තිබුණි. සිය දහස් වාරයකටත් වඩා ලිපිය කියවූවාට පසු මා ඔහුට පිලිතුරු ලිපියක් ලිව්වෙමි.
ඔහු මා වෙට ප්‍රථම ලිපිය එවා වසරකි. ඔහුටත් මටත් අද සුවිශේෂී දිනකි. අපි දෙදෙනා මගේ මවද සාක්ෂි කරුවන් දෙදෙනෙකුද පමණක් සහිතව රෙජිස්ට්‍රාර් වරියක ඉදිරියෙහි විවාහ වුනෙමු.
යුධ හමුදා කපිතාන් වරයෙකු වූ ඔහුට සියලුම ගෞරව,ආචාර සියල්ල ඔහුගේ පියා විසින් අහිමි කර තිබුණි. ඔහුගේ පියාගේම වදනින් සිඟන්නියක විවාහ කරගැනීම නිසාම වීවාහ උත්සවයක් පවා ඔහුට අහිමි විය. ඔහු සියල්ල නිහඬවම දරාගත් අපූරුව අරුමයකි.
ඔහු මටද හැමදාමත් මෙන් සිත හදා ගැනීමට කියා දුන්නේය. ඔහුගේ පියාගේ කෝපය නිසාම ඔහු නැවත ක්‍රියාන්විත රාජකාරි සඳහාම යාමට කටයුතු සිදු කරවූ අතර මටද සේවා ස්ථානය අපායක් බවට පත් කලේය. ඔහුගේ නමින් මා සියල්ල දරාගතිමි.
සියලු බාධක හමුවේ මා අසලින්ම රැඳී සිටි මවද හදිසියේම මා හැර යාම මා ලද දරුණුතම කම්පනය විය.
දෑස් හී කඳුළු වියලී යන තුරුම මා හැඬුවෙමි. මරණයෙන් සත් දිනක් නික්මුණු දින මා අසල තනියට රැඳී සිටි අයද නිකමී ගියෙන් මා තවත් තනි උනෙමි. ඔහුද දරුණු සටන් මැද උතුරේ සිටින මොහොතකි.
මවගේ මරණයට පවා ඔහු නොපැමිණියේය.මා සුසුම් හෙලමින් අරමුණකින් තොරව ඔහේ බලා සිටියෙමි. ඔහු ඇත හෝ සිටිනවායින් මා හිත සනසාගතිමි. මගේ පිටුපසින් ලද වැළඳ ගැනීමක් නිසා තිගැස්මට පත් මම හැරී බැලුවෙමි. පුදුමයකි. රාතී අඳුර මැදින්ම මගේ දිවියේ හිරු කිරණ මා සොයා පැමිණ තිබුණි.
කොන්ඩයද රැවුලද වැඩී ඔහු හඳුනාගත නොහැකි තරම් විය. ඔහුගේ දෑස් ගිලී මුහුණේ අපමණ වෙහෙසක් ඇඳී තිබුණි. මා විමසන්නටත් පෙරම ඔහු මා දෑසෙහි රැඳි ප්‍රශ්නාර්ථය ඔහු හැඳින්නේය.
“ හදිසි නිවාඩුවක් දාල ආවෙ. අම්මගෙ මරණෙට එන්න බැරි උනාට සමාවෙන්න” එලෙස පැවසූ ඔහු මා වැළඳගෙන හිස සිපගත්තේය. දුකට පත්ව වේදනා විඳි හදවත ඔහු ප්‍රේමයෙන් සුවපත් කලේය. ඔහු සමීපයේ සැනසෙන්නට ලැබුණේ බොහෝම කෙටි කාලයකි. පසු දින හිරුටත් පෙරම ඔහු නැවත රට වෙනුවෙන් යුතුකම් කිරීමට මා හැර ගියේය.
ඔහු පැමිණ ගිය පසු හුදෙකලා දිවිය මා රාජකාරි වෙනුවෙන්ම කැප කලෙමි. ඔහු තරම් නොහැකි වුවද හැකි උපරිම සේවය මා රට වෙනුවෙන් කලෙමි. හදිසියේම ඔහු මගේ ඇස් ඉදිරියේ පෙනී සිටියදී මම පුදුමයට පත් උනෙමි. මා ඔහු හට සුභ පුවතක් දැන්වීමට ලිපියක් ලියන්නට සැරසුනා පමණි.
දැන් එය ඔහුට වදනින්ම පැවසිය හැක. නමුදු පැමිණ ගොස් දෙමසක් යන්නට මත්තෙන්ම ඔහු නැවත් පැමිණීම පුදුමයකි. ඔහු කිසිවක් නොකියාම මා දෙස බලා සිනහ සලයි. ඒ කවදත් ඔහුගේ ස්වභාවය නිසාම මා ඔහු අමතන්නට මුව විවර කලෙමි. නමුත් ඔහු කාර්‍යාලයේ දොරින් එලියට බැස යන්න ගිය නිසා මා විමතියට පත් වීමි. කාර්‍යාලයෙන් එලියට බැස බැලූ මට ඔහු ගිය දිසාවක් සොයාගත නොහැකි විය. මා කඳවුර පුරා ඔහු සොයා ගියෙමි. නමුදු ඔහු පැමිණි බවක් හෝ කිසිවකු නොදනී. මෙසේ ඔහු මා ඉදිරියට පැමිණ වදනක් හෝ නොපවසා පිටව යාමට හේතුව මා හට සිතාගත නොහැකි විය. මා එය සිතමින් සිටින අතරතුර කඳවුරුභාර නිලධාරී තුමාගෙන් කැඳවීමක් ලදිමි.
ඇතැම් විට ඔහු ම එනතුරු කඳවුරුභාර නිලධාරී තුමාගේ කාර්‍යාලයේ රැඳී සිටිනවා විය හැක. එම නිසා මා කාර්‍යාලය වෙත පියනැගුවෙමි. මා කාර්‍යාලය වෙත යනවිට එහි කඳවුරුභාර නිලධාරී තුමා පමණක් රැඳී සිටියේය. කාර්‍යාලය සිසාරා බැලූ මුත් ඔහු පැමිණි වගක් දක්නට නොලැබුනි.
මා නිලධාරීතුමාට අචාර කල පසු ඔහු හිඳගන්නට මට අසුනක් පෙන්වීය. මා අසුන්ගත් පසු ඔහු මා ඇමතුවේය.
“මට බොහොම කණගාටුයි ලෙෆ්ටිනට් බන්ඩාර. මේක දරාගන්න පහසු නෑ කියල මං දන්නව” ඔහු කතාව අරඹනු නොහැකිව තැවෙද්දී මට සියල්ල අවබෝධ විය. තවත් කිසිවක් අසන්නට මට උවමනා නොවීය. මම දෑතින් දෙසවන් වසා ගතිමි. මුලු ලොවම භ්‍රමණය වනවාක් මෙන් දැණුනි. හිරුද ගිලී ගොස්ය.
නිමේශයකින් මා දෙනෙත් අඳුරු වී ගියේය. ලොව අභාග්‍ය සම්පන්නම ගැහැණිය මා දැයි නොදනිමි. මව හැරගොස් දෙමසක් ගෙවෙන්නටද පෙර මට සිටි එකම පිළිසරණද මා හැර ගොස් තිබුණි. ඔවුන්ගේ ආයුධද සගයන්ද සියල්ල බේරා සතුරන් මැදටම පැන ඔහු දිවි කැප කර තිබුණි. අවසන කරුමක්කාර ගැහැණියක බවට පත්වීමි. ඔහුගේ පියා මට ඔහුගේ දෙනවත් දක්නට ඉඩ නොතබාම මාව පිටමන් කරන ලදී.
මගේ ප්‍රිය සැමියාගේ මුද්‍රා තැබූ දෙනටවත් ගෞරව දැක්විය නොහැකි වූ මම ඔහු මිහිදන් කල රාත්‍රියෙහි ඔහුගේ සොහොන වෙත පිය නැගුවෙමි. ඔහු නොමැතිව මට මා හට හිඳිනු නොහැකි බව දැන දැනත් ඔහු අපූරුවට සැතපී සිටියි. ඔහුගේ සොහොන මත වැටී මා හැඬුවෙමි. මටද ඔහු හා යන්නට අවැසි විය. නමුත් ඔහු ඔහුගේම කොටසක් මා තුළ ශේෂ කොට ඔහු හා යාමේ අයිතියද නැතිකර තිබුණි. මා ඔහුගේ සොහොන මත අත තබා ඔහුට දිවුරුවෙමි. ඔහුට කල ආදරයේ නාමයෙන්ම කුස තුළ වැඩෙන ඔහුගේ ලෙය සුරැකීමටත් ඔහු වෙනුවෙන් ජීවත් වීමටත් පොරොන්දු වුනෙමි.
හිරු හැර ගියද මා තුළ ඇති හිරු කිරණ වෙනුවෙන් මා ජීවත් උනෙමි. ඔහුගේ රුදු පියා මා හට කඳවුර අපායක් බවට පත් කරද්දීද මා ඉවසුවෙමි. අවසන ඔහු අනෙකුන් ලවා මා හට නරක ගැහැණියකැයි අපහාස කරද්දීද ඉවසුවෙමි. නමුත් කුස තුළ වැඩෙන ඔහුගේ ලෙයට ඔහුට අපහාස කරද්දී මගේ ඉවසීම තොර විය. පාරිශුද්ධත්වයෙන්ම ඔහුට පිදූ ප්‍රේමයෙන් ලද ත්‍යාගය වෙනකෙකුගේයි චෝදනා ලබද්දී නිහඬවම දිවි හිමියෙන් ආලය කල රැකියාවද අතහැර දැමුවෙමි.
මා හට රට වටී. එමෙන්ම රට වෙනුවෙන් දිවි කැප කල ඔහුගෙන් ලද දායාදයද වටී.
වසර 25ට පසුව ------------------------- “වසරේ හොඳම කැඩෙට් නිලධාරියාට හිමි අසිපත හිමිකර ගන්නේ සාරද තේනුක සමරදිවාකර”
ඒ වදන් ඇසෙද්දී අයෙකු තිගැස්සෙනු දුටුවෙමි. මම එයින් කුරිරු සතුටක් වින්දෙමි. වසර ගණනාවකට පසුව පෙර සිය දහස් වාරයක් ඇවිද ඇති මේ බිම මම පය තැබීමි. වසර ගනනාවකට පෙර ඇසූ දුටු එම දසුන මා නැවත දකිමි. නමුදු එදා ඒ රුව වැළඳගත් නන්නාඳුනන තරුණිය වෙනුවට මා එම රුව වැළඳ ගතිමි.
ඒ රුවද පෙරලා මා සිප නලලත සිපගත්තේය. පෙර තිගැස්සුණු පුද්ගලයා ගැහෙමින් මෙන් අප අසලට පැමිණියේය. ඔහුගේ දෑස විසල්ව ඇත. නෙත් වල භීතිය, පුදුමය ,සතුට දුක මිශ්‍රව ඇති සෙයකි.
“ස .. සාරද තේනුක සමරදිවාකර. මගෙ පුතා” ඔහු වෙව්ලන ස්වරයෙන් විමසයි. ඔහු විශ්‍රාමික මේජර් ජෙනරාල් ජයම්පති සමරදිවාකරයි. මගේ ලෙය ගිනියම් විය. මම මුව විවර කලෙමි.
“සාරද තේනුක සමරදිවාකර. ඔව් නම ඒක. වාසගම සමරදිවාකර. ඒ ඇස්, ඒ ගාම්භීර පෙනුම. දශමයක වත් වෙනසක් නෑ. තමුන්ගෙ පුතා වගේමයි මහත්තයො. ඒත් සමරදිවාකර වාසගම තිබ්බට මේ තමුන්ගෙ කවුරුවත් නෙමෙයි.
මේ මගේ පුතා. මගෙයි සාරදගෙයි පුතා. තමුන්ල වෙන එකෙක්ගෙ කියල අපහාස කරපු ලේ මේ. තමුන්ලගෙ බැල්මක්වත් මේ හිඟන්නිගෙ දරුවට වැටෙන්න දෙන්න එපා”
මා මගේ හිත සියලු බරින් නිදහස් කරගතිමි. මගේ ලොවට පෑයූ හිරුගේ හිරු කිරනද අතින් අල්ලාගෙන මා ඉවතට පියනැගුවෙමි.
Written by Wasula Rathnayake & Pawani Abeyweera
සංවේදී අය, අවුරුදු 16ට අඩු අය, හෘදයාබාධ ඇති අය, කරුවලේ තනියම නිදාගන්නට බියක් දක්වන අය කියවන්න එපා!!!
ඒක මහා මූසල රාත්‍රියක්. බකමූණෝ එකා දෙන්නා ගස් අතු අස්සෙන් එබෙනව. ඉඳලා හිටලා උලමෙක්ගේ මූසල හඬත් එක්ක රැයේ තිබුන රැහැයි සද්දෙ නැවතුනා. අහස පීරලා හෙව්වට හඳක් තිබුනේ නෑ. එදා අමාවක දවසක් තමයි. ටානියාගේ ගෙදර වටේටම ලයිට් දාලා තිබ්බ. වැහි බිංදු එක දෙක බිමට වැටෙද්දි පුංචි ගෙරවිල්ලකට කලින් අකුණු එලියක් ආවා. වැස්ස නිසා යන්න තැනක් නැති මම ටානියාගේ ගෙදර ගේට්ටුව ඇරගෙන ගිහිල්ලා දොරකඩ හිටගෙන හිටියා. මම ටානියාට කෝල් එකක් ගත්තා.
ටානියා කියන්නේ මම යාලුවෙලා හිටිය ගෑණු ළමයා. මම එයාව හැබැහින් දැකලා තිබුනේ නෑ. අපි හම්බවුනේ ෆේස්බුක් එකෙන්. අපි චැට් කරලා ටික කාලෙකින් ආදරවන්තයෝ බවට පත්වුනා. ටානියා හරිම ලස්සන කෙල්ලෙක්. එයා මට එයාගේ ෆොටෝස් ගොඩක් එව්වා. ඒත් කවදාවත් වීඩියෝ කෝල් එකක් ගත්තේ නෑ. මම කීපවතාවක්ම ඇහුවත් ඒකට එයා කෙලින්ම බෑ කියල කිව්ව. කොහොමහර අපේ affair එක ටානියාගේ ගෙදරට මාට්ටු වෙලා කෙල්ලව නුවර ගෙනිච්ච. මම අතෑරියේ නැහැ. කොහොමහරි හොරෙන් හොරෙන් ආයේ සම්බන්දය දිගටම ගෙනිච්ච. සතියකට පස්සෙ එයා කිව්ව එයාව අම්මල බලෙන්ම කැනඩා යැව්ව කියල.
එයා වීඩියෝ කෝල් ගත්තේ නැති උනාට මට නිතරම කෝල් කලා. මට ඕන උනේ මේක ඉවරයක් කරල ටානිව මගේ ලඟට ගන්න. කවදාවත් හැබහින් නොදැකපු ටානියාට මම ගොඩක් ආදරේ කලා. ඒ වගේම ඇයත් එක්ක හැබැහින් යහන්ගත වෙන්න තියන ආසාව එන්න එන්නම වැඩිවුනා. තාම ටානියා ඉන්නෙ කැනඩාවෙ.
මම මේ වැස්සට තෙමීගෙන ටානියාගේ ගෙදර ලඟ. ටානියා කෝල් එක ආන්සර් කලා. 'වාසුල ඔයා කොහේද ඉන්නෙ. ඔන්න කියන්න එපා අපේ ගෙදර ලඟ කියල. ප්ලිස්..' 'ටානි මම ඔයාගේ ගෙදර ලඟ තමයි පැටියෝ' 'අනේ වාසු. එච්චරම ආදරයක්. ඇයි මේ මැට්ටි වෙනුවෙන් එච්චරම ආදරයක්' 'අද මේකේ දෙකෙන් එකක් විසඳගන්නව පැටියෝ. මම දොරට තට්ටු කරන්නේ නැහැ. ඔයා තාත්තාට කෝල් කරල කියන්න මම ඇවිල්ලා ඉන්නේ කියල.' 'පිස්සු කරන්නෙ නැතුව ඔය ආපු එකේ දොරට තට්ටු කරන්න බබා. ඔයාගේ ලස්සන දකුණු අත මිට මොලෝලා අපේ ගෙදර කලුවර දොරට හයියෙන් ගහන්න බබා.'
මම දොරට හෙමින් තට්ටු කලා. 'අනේ බබා මට එකඑක සද්ද වගයක් ඇහෙනවා. අනේ......' 'ටානි...ටානි....' මම කෑගැහුවා. ටානියාගේ ෆෝන් එකෙන් ඇහුනේ යටිගිරියෙන් කෑගහන සද්දෙ. මම පුළුවන් තරම් හයියෙන් දොරට ගැහුවා. 119 කෝල් කරාට වැඩක් නෑ. ටානියා ඉන්නේ කැනඩාවෙ. මට කරන්න දෙයක් හිතට එන්නේ නැහැ. මම නොනවත්වා කෑගහමින් ටානියාගේ දොරට ගැහැවා. මම ගහපු පාරේ සැරට ගෙදර අංකය ගහපු තහඩුව ගැලවිලා වැටුනා. ඒකේ තිබ්බේ අංක 303 කියල.
දොර ඇරල එලියට ආපු ටානියාගේ තාත්තා මාව දැකලා බයවෙලා බලන් හිටියා. 'අන්කල් ටානියාට කරදරයක්. මම කෝල් එකේ හිටියේ එයා එකපාරටම කෑගහලා ෆෝන් එක බිම වැටුනා වගේ. ඉක්මනටම කැනඩාවට කෝ කරල බලන්න. එයාට ලොකු කරදරයක් වගේ' 'හොඳයි මම බලන්නම් පුතා. ඉස්සල්ලම කඩේට ගිහිල්ලා මට ඩන්හිල් පැකට් එකක් අරන් එනවාකො'
මම වැස්සෙම දුවගෙන ගියා. ආයේ ටානියාට කෝල් එකක් ගත්තට ෆෝන් එක වැඩකලේ නෑ. පාරේ යන ත්‍රීවීලර් එකකට අතදාලා නවත්තලා මම හන්දියේ කඩේට ගිහිල්ලා ඩන්හිල් පැකට් එකක් අරගෙන ආයේ ටානියාගේ ගෙදර ගියා. 'කෝ ගෙනාවද. තෙමුනේ නෑනේ' 'නෑ අංකල්. ටානියාට කෝල් කරල බැලුවද.
කැනඩාවෙ පොලීසියට කෝල් කරල කියන්න අංකල්. අපිට නාස්ති කරන්න කාලයක් නෑ.' 'ශීලා....මෙන්න මේ යකාට කෝපි එකක් හදන් එනව. මූත් ඇවිල්ලා අපිටම වදදෙනවා. ඉලන්දාරියා මේ අහනවා. ටානියා එහේ මැරි කරලා ඉන්නේ. එයාගේ හස්බන්ඩ් ගෙදර ඉන්නවා. ඒක නිසා බයවෙන්න දෙයක් නැහැ.' 'මොනවා. මොනවද අංකල් මේ කියන්නේ. මගේ කෙල්ල මට එහෙම කරන්නෙ නෑ. ඔය බොරු වකට මම අහුවෙන්නෙ නෑ අංකල්. ඉක්මනටම කැනඩාවෙ පොලීසියට කෝල් කරන්න. නැත්නම් ඉන්න මම numbers හොයාගෙන කත කරන්නම්' 'ටානියා මැරි කරල ඉන්නෙ පොලීසියේ කෙනෙක් තමයි. බයවෙන්න දෙයක් නැහැ.'
ටානියාගේ තාත්තා කියන දේවල් මට තේරුනේ නෑ. මම ටානියාගේ අම්මට කතා කලා. 'ආන්ටි මේ අන්කල්ට මම කියනදේ තේරෙන්නේ නෑ. ටානියා ලොකු කරදරේක. ප්ලීස් එහාට කෝල් කරල කියන්න.' 'ටානියාගේ කරදර ඉවරවුනේ එයා කැන්ඩි ගියාට පස්සෙ' 'මොකක්. කැන්ඩි' ටානියාගේ අම්මයි තාත්තායි දෙන්නම හිනාවෙනවා. නිකම් නෙමෙයි මහ හයියෙන්. දෙන්න අත් අල්ලගෙන ඩාන්ස් කරන්න පටන් ගත්තා. මුන්ට පිස්සුද.
මට කරගන්න දෙයක් නැතුව මම බලාගෙන හිටියා. මොනව වෙන්න යනවද. 'ඔය කෝපි එක බීලා ඉන්නව ඉලන්දාරිය' මම කෝපි කෝප්පෙන් උගුරු දෙක තුනක් බිව්වා. එකපාරටම කරන්ට් එක ගියා. මොකක් හරි පෙරලෙන සද්දයක් ඇහුනා. ඒ අස්සෙන් ශීලා ඇන්ටි කෑගහනවා. එයා වැටිලා. මම කරුවලේ අතපත ගාගෙන ගිහිල්ලා කොහොමහරි එයාව අල්ලගත්තා. අංකල්ගේ කිසිම සද්දයක් නෑ. මම ශීලා ඇන්ටිව නැගිට්ටවාගෙන හෙමින් සාලේ සෙටිය තියන පැත්තට එක්කගෙන ගියා.
කොහොම හරි එයාව සෙටියෙන් තියල අංකල්ට කතා කලා. අංකල්ගේ සද්දයක් නැහැ. 'කාවද පුතා හොයන්නේ. කාටද කතා කරන්නේ.' ඒ ශීලා ඇන්ටිගේ කටහඬ. 'කෝ ඇන්ටි අංකල්. නෑනේ. කරුවල නිසා පේන්නෙත් නෑ' 'ඇයි පුතාට ආරංචි උනේ නැද්ද.' ශීලා ඇන්ටි හඬන්න ගත්තා. 'මොකද ආන්ටි. ඇයි මේ අඩන්නේ' 'අංකල් නැතිවෙලා අදට මාස හතරයි පුතා.' මොනවා. මේ මොනව කියවනවද. වැටුනට පස්සෙ ඔලුව විකාර වෙලා වගේ. මම එයා ලඟට ගියා. එයා මාව අල්ලගෙන සෙටියේ වාඩිකරගත්තා. මගේ උරහිසට ඔලුව තියාගෙන අඬන්න පටන් ගත්තා. එයාගේ අත මගේ කලවා මත උඩට පහලට ගියා. ඒ අතගෑමේ තිබ්බේ සරාගික බවක්. ඇන්ටිට මොනව වෙලාද. විකාර කියවනවා මදිවට වෙන දේකට එයා එන්න හදන්නේ. ලයිට් ආවා. මම ශීලා ඇන්ටිව සෙටියට හේත්තු කරල අංකල් කොහේද කියල බලන්න ගියා. කැබිනට් එක උඩ තිබ්බ ෆොටෝ එක දැකලා මාව තිගැස්සුනා. ඒකේ හිටියේ අන්කල්. ඒ ෆොටෝ එකට මල් මාලයක් දාලා. ඒකත් එක්කම එහාපැත්තේ තිබුන ෆොටෝ එක දැකලා මට සිහි නැතිවෙන තරම්. ඒකේ හිටියේ ටානියා. මොකද්ද මේ වෙන්නේ. මට හිතාගන්න බෑ. කකුල් දෙක පන නැති වෙනවා වගේ.
ශීලා ඇන්ටි මගේ ලඟට ඇවිල්ලා මාව නැගිට්ටුවා. 'එන්න පුතා. එයාලා ඔයා එනකම් බලන් ඉන්නවා.' මට කතා කරන්න ඕනේ උනත් කතා කරගන්න බැරිවුනා. මම එයාගේ පස්සෙන් ගියා. අපි තරප්පු පෙල නැගල උඩට ගියා. මම මීට කලින් ටානියාගේ ගෙදරට ඇවිල්ලා තිබුනේ නැති උනත් මේකේ යම්කිසි හුරුපුරුදු බවක් දැනෙන්න ගත්තා. උඩට නැගලා වමට හැරුනම වහපු කාමරයක්. මට ඒක හොඳටම මතකයි. හොඳටම හුරුයි. ඒකෙන් ඇහුනේ ටානියාගේ කෑගැහිල්ල.
එක්කො මගේ ඔලුව විකාරවෙලා. අනික ඔලුවට ලොකු බර ගතියක් දැනෙනවා. ''ආන්ටී...ටා..' මට කියාගන්න පුළුවන් උනේ එච්චරයි.
ශීලා ඇන්ටි අතින් මගේ කට වැහුවා. එයා මාව ඒ කාමරයට එහාපැත්තේ තියන කාමරය ඇතුලට එක්කගෙන ගියා. ඒ දැකපු දේ ඇත්තක්ද නැත්නම් මායාවක්ද කියල හිතාගන්න බැහැ. අංකලුයි ටානියයි පුටු දෙකක වාඩිවෙලා ඉන්නවා. ඒ දෙන්නා මගේ දිහා බලාගෙන. ඒ දෙන්නගේ මූණුවල තිබ්බෙ භීතියක්.
'පුතා. එයාල එක්ක කතා කර ඉන්න. මම පොඩ්ඩක් ගිහිල්ලා එන්නම්' ශීලා ඇන්ටි මගේ උරහිස මිරිකගෙන කාමරයෙන් එලියට ගියා. 'ටානියා ඔයාට මොකද උනේ. කතා කරන්න. කතා කරන්න.' මම ඒ දෙන්නවම අතින් අල්ලලා හොලවල කතා කලත් ඒ දෙන්නා කතා කලේ නෑ. ටානියා මේසය ලඟට ගිහිල්ලා පැන්සලක් අරගෙන කොලේක මොනවද ලියන්න පටන් ගත්තා. එයා ඉක්මනටම ඒක ලියල මගේ අතට දුන්නා.
####%අපේ අම්මගෙන් බේරිලා පුළුවන් ඉක්මනට මෙහෙන් පැනගන්න%#### මට මොකුත් හිතාගන්න බැරුව ටානියා දිහා බැලුවා. පිටිපස්සෙන් ඇහෙනව ශීලා ඇන්ටි එන සද්දේ. මම ඉක්මනට ඇඳ යටට රිංගුවා.
'වාසුල පුතා කෝ ඔයා. එන්න මම ඔයාට පොඩි බඩුවක් ගෙනාවා.ඔයා මේකට ආසවෙයි. ඇඳ යටින් එලියට එන්න' ඇඳ ලඟ බිමට වැටුනේ පිහියක්. ශීලා ඇන්ටි ඒක කකුලෙන් පාගගත්තා. මට හීනෙන් වගේ සිද්දි කීපයක් මතකෙට ආවා. ඒත්...ඒකට කලින් ඇඳ ඉස්සුනා. ශීලා ඇන්ටි දත් විලිස්සාගෙන ඇඳ උස්සගෙන ඉන්නවා. 'උන් දෙන්නා ගියපු ලෝකෙටම යන්න ලෑස්ති වෙයන්.' 'ඇයි ආන්ටි මෙහෙම කරන්නේ.' මම කිව්වෙ බයටමත් එක්ක. 'ආන්ටි. මොන ආන්ටිද. මම උඹේ මාරයා.
උඹට ඕනවුනේ ටානියා එක්ක නිදාගන්න. මෙහෙවරෙන් පරයා.' මගේ ඇඟට පණ තිබ්බේ නෑ. ශීල ඇන්ටි මාව ඇදලා අරගෙන මගේ කමිසය ඉරලා දැම්මා. මගේ ඔක්කොම ඇඳුම් ගලවල දැම්මේ මහා දරුණු භයානක හිනාවක් එක්ක. ටානියයි අංකලුයි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ යන්තම පෙනුනා.
-----__________________________________------
අත්භූත නිවස තුල දෙවන ඝාතනය සිදුවේ මැදමුලගම සරණංකර පාරේ අංක 303 නිවස තුල තිබී නාඳුනන පිරිමි මලසිරුරක් හමුවී ඇත. පෙර සිද්දීයේදී සිදුවූ පරිදිම මෙය සිදුවී ඇත්තේ ශරීරය පුරා වූ දරුණු පිහි ඇණුම් වලිනි. පෙර තරුණයා මෙන්ම මොහුගේ නිරුවත් ශරීරය සමග පසෙකින් කපා දැමුනු ලිංගේන්ද්‍රය පොලීසිය විසින් සොයාගෙන තිබේ. පෙර සිද්දියේදි මෙන්ම ෆේස්බුක් සමාජ ජාලයේ හමුවූ තරුණියක මෙයට සම්බන්ද බව සැකකෙරෙන අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් වාර්ථාවේ.
මාගේ ශරීරයට දැනුනේ කියාගත නොහැකි සැහැල්ලු බවක්. අතපය චලනය කිරීම මට ලේසියෙන්ම කලහැකි උනා. ඒත්...ඒත්...මම නැගිට්ටට මගේ ශරීරය නැගිට්ටේ නෑ. මට මේ මොකද වෙලා තියෙන්නේ. මම මාවම අල්ලලා බැලුවා. දෙයියනේ!!!! මගේ ඇඟ කියල කිසිම දෙයක් නැහැ. මූණ ..අනේ ...මාව බේරගනියෝ!!!!!!!
මම පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා. මට ලොකු බයක් දැනුනා. මම දිව්වා. පුළුවන් තරම් හයියෙන් දිව්වා. ඒත් මාව දුවනවා වෙනුවට උනේ පොළොවෙන් අඟල් කිහිපයක් උඩින් පාවෙනවා වගේ දෙයක්.
මම මැරිල.....ඔව් මම මැරිලා. මට මතකයට ආවා...ශීලා ඇන්ටි වියරු වැටිලා මගේ ඇඳුම් සේරම ඉරලා දැම්ම හැටි. එයා වියරුවෙන් හිනාවෙනකොට ඩිම්පල් එක දැක්කම තවත් බය හිතෙනවා. මම බය වැඩිකමට ඇස් වහගත්තා මතකයි. ඊට පස්සෙ තමයි මට ඇඬෙන තරමේ වේදනාවක් දැනුනේ. මම ආයෙත් දිව්වා. හති වැටීමක් නෑ. දිවීමේ අවසානයකුත් නෑ. මම නැවතුනා. මම ඔය යක්ෂ ගෑණිගෙන් පලිගන්නවා. ඔව් මම පලිගන්නවා. මම ඒ ගෑනිට කරපු මගුලක් නෑනේ. අනික මම ටානියාට ඇත්තටම ආදරේ කලා. මම ටානියාව රවට්ටන්න ගියේ නෑනේ. ඒත් මම කොහොමද ශීලාගෙන් පලිගන්නේ. මම නිකම්ම නිකන් ආත්මයක් විතරයිනේ. ගෑණිව බයකරන්න පුළුවන් මට. බයකරල ගෑණිට ජීවිතේ එපා කරවල දානවා.
ඉස්සල්ලාම හොයල බලන්න ඕනේ ටානියා ගැන. ටානියා හිටියේ බයවෙලා. ඇයි මාත් එක්ක කතා නොකර කොල කෑල්ලක ලියල මට ශීලා ගැන කිව්වෙ. මම ටානියාගේ ගෙදරට ආපහු ගියා. ගෙදර සීල් තියලා. මර්ඩර් කේස් එකක් නිසා වෙන්න ඇති. මගේම මර්ඩර් එක නිසා සීල් උන ගෙදර ඇතුලට යනවද නැද්ද මම කල්පනා කලා. දොර වහල තිබ්බෙ. කොහොමද දොර ඇරගන්නෙ. හොරෙන් දොර ඇරගන්න විදියක් කල්පනා කරනවද. මොනාද මම මේ හිතන්නේ. මම මැරිච්ච කෙනෙක්. මට කියල ශරීරයක් නෑනෙ. එහෙනම් මට මේ දොර හරහා යන්න පුළුවන් වෙන්න එපැයි. මම අතක් දාලා බැලුව. දොර හරහා යන්න පුළුවන්. මේකත් අමුතුම අත්දැකීමක්.
ශීලා...මම උඹව නොමර මරනවා..... මම සාලෙන් ඉස්සරහට ගියා. මට හොඳටම විශ්වාසයි ගේ සීල් කලාට මුන් ගේ ඇතුලේ ඉන්නවා කියල. ගේ ඇතුල එදා දැක්කට වඩා මූසල ගතියක් තිබුනා. නිකම් පුස් ගඳක් වගේ එකකුත් එනවා. ඒ කියන්නේ මට ගඳ සුවද දැනෙනවා. ඒත් මට දේවල් ස්පර්ශ කරන්න බෑ. දැනෙන්නේ නෑ. මම කියන ඒවා මිනිස්සුන්ට ඇහෙනවද දන්නෙ නෑ. බලමුකෝ මම කාමර හැම එකකටම ගියා. කවුරුත් නෑ. ටානියාගේ කාමරේ කියල හිතන්න පුළුවන් කාමරේට මම ආයේ ගිහිල්ලා කාමරේ හොඳට බැලුවා. සමහර තැන්වල ෆොටෝස් ටානියා ඒ හැම එකකම හිටියේ කියාගන්න බැරි විදියේ හැඟීමක් මූනේ තවරගෙන.
මේසේ වීදුරුව යට තිබුන ෆොටෝ එකක ටානියා එක්ක තව කෙල්ලො දෙන්නෙක් හිටියා. ලස්ස්සන කෙල්ලො දෙන්නෙක්. ෆොටෝ එකේ යට Best Friends Forever කියල ගහල නම් තුන ලියල තිබ්බා. අනික් නම් දෙක මම ආයෙත් සැරයක් කියෙව්වා.
පවනි අබේවීර
තරූෂි ජනීශා
හරි. මම මේ කෙල්ලො දෙන්නව හොයාගත්තනම් මට පුළුවන් ටානියා ගැන විස්තර දැනගන්න. ටානියාගේ පවුල ගැන විස්තර දැනගන්න. මම ලාච්චුව අරින්න හැදුවට ඒක අතට අහුවෙන්නේ නෑ. දැන් මොකද කරන්නේ. මේක ඇතුලේ වැදගත් දෙයක් ඇති. එහෙනම් අර හොල්මන් ෆිල්ම්ස් වල හොල්මන් කොහොමද ලාච්චු අරින්නේ. දොරවල් අරින්න්නේ. මට තේරෙන්නේ නෑ. එකපාරටම පිටිපස්සෙන් සද්දයක් ඇහිලා මම පිටිපස්ස බලද්දි......
ලේ පෙරාගත්ත කොල්ලෙක් මගේ පිටිපස්සෙ. මට කෑ ගැහුනේ ඉබේටම. වාසුල මොකද මිනිහෝ බයවෙලා
ඌ මගේ නම කියල කතා කලාට මම ඌව දන්නෙ නෑ කියල මට හොඳටම විශ්වාසයි. කෝකටත් මම පස්සෙන් පස්සට ගියා. හොල්මනක් තව හොල්මනකට බයවෙනවා දැක්කේ මම පළවෙනි පාරට
ඌ හිනාවීගෙන කිව්වා. ඒ එක්කම උගේ ස්වරූපය වෙනස් වුනා. මම වගේම විනිවිද පේන විදියට ඌව පේන්න පටන් ගත්තා. වාසුල, උඹ ඊයේ මැරුන නිසා උඹට මේවා අලුත්. මම කියල දෙන්නම් උඹට එකින් එක. වරෙන්කෝ. උඹ කවුද කියපන් ඉස්ස්ලාම. මම ඇහුවා. උඹට කලින් මේ ගෙදරදි මරල දැම්මේ මාව. මගේ නම කවීශ. කවීශ ප්‍රභාත්. උඹ වගේම මාත් ටානියාට ආදරේ කලා.
පොඩ්ඩක් හිටපන්. උඹ කොහොමද මම ගැන විස්තර දන්නේ. ඒ වෙනකොට උඹ මැරිලනේ. මම මැරිලා තමා බූරුවෝ. මම ආවේ උඹව කොහොමහරි බේරගන්න. අර මූසල ගෑණිගෙන්. එහෙනම් ඇයි උඹ මාව බේරගත්තේ නැත්තේ. මම ඇහුවේ තරහින්. බූරුවෝ මම කොච්චර දේවල් කලාද උඹව බේරගන්න. උඹ ඒ එකකින්වත් ප්‍රයෝජන ගත්තේ නෑ.
මොනව ...ඒ කොහොමද. මොනවද උඹ කලේ. උඹ ටානියාගේ ගෙදරෙනකොට ටානියගේ තාත්තා උඹව ඩන්හිල් ගේන්න යැව්වා නේද. ඒක ඒ මිනිහා ලවා කලේ මම. මම උගේ ඇඟට වැහුනා. ඒත් උඹ ඒකෙන් ප්‍රයෝජනය ගත්තේ නෑ. මෝඩයෙක් වගේ ආපහු ආවා. මොන තාත්තද ගොනෝ තමන්ගේ දුවට කරදරයක් කියල කොල්ලෙක් කියාගෙන ආවම ඒ කොල්ලව සිගරට් ගේන්න කඩේට යවන්නෙ. තොට ඒක තේරුම් ගන්න මොලයක් තිබ්බෙ නෑ. ගොන් නාම්බා.
ඔව්මනේ..මට මං ගැනම ලැජ්ජාවක් ඇතිවුනා.
ඊටපස්සෙ උඹ ආයෙ ආවම මම එකපාරටම ලයිට් ඕෆ් කලේ උඹ බයවෙලා යයි කියල. තෝ මොකද කලේ අර ගෑණිත් එක්ක සෙටියේ මගුලක් නැටුවා. මම මගුල් නැටුවේ නෑ යකෝ. මම ශීලා ඇන්ටිව නැගිට්ටුවා. උඹව මරල මදි. ශීලා ඇන්ටි....නල්ලමලේ ඇන්ටි. මෝඩ බූරුවා. ඔහොම බනින්න එපා මචන්. උඹත් මැරිලා. මාත් මැරිලා. දැන් මොනව කරන්නද කියහන්කො. ඔව් ඇත්තටම උඹට දැන් බැනලා වැඩක් නෑ. අපි ඊලඟ කොල්ලවවත් බේරගන්න ඕනේ වාසුලයා.
හරි කවීශ. මොකද්ද අපි කරන්නේ. අපි කොහොමද දැනගන්නෙ ඊලඟ බිල්ල කවුද කියල. ඒත් මට ලොකු ප්‍රශ්නයක් තියනව
....කෝ මේ ගෑණි.... මම පෙන්නන්නම්කෝ. ඊට කලින් මම උඹට කියල දෙන්නම් හොල්මන් ලයිෆ් ස්ටයිල් එකයි අපේ අපිටම කියල තියන රහස් ටිකක්. කවීශ මට සෑහෙන දේවල් කියල දුන්නා. ඒවා ඔක්කොම කියවන ඔබට කියන්න බෑ. මොකද ඒ සමහර රහස් මිනිසුන් අතරට ගියොත් ලොකු විනාසයක් වෙන්නේ.
කවීශ කිව්ව විදියට අපි මැරුණහම අපිට වෙනමම කෙනෙක්ව යොමුකෙරෙනවා. ඒ කෙනාට කියන්නේ 'ලෝගන්' කියල.
ඒ කෙනාගේ වගකීම වෙන්නෙ අපිව ඒ ලෝකෙ ගැන කියල දෙන්න. අනාගතය ගැන කියල දෙන්න. ඒ කෙනා තීරණය වෙන්නේ මැරුණ කෙනා මැරුණ තැනයි මැරුණ කෙනාට තියන සම්බන්දයයි එක්ක. එතකොට කවීශ තමයි මගේ 'ලෝගන්'.
කවීශ මට කියල දුන්න දේවල් අතරේ කෙනෙකුගේ ශරීරයට ඇතුල්වෙලා ඒ කෙනාව පාලනය කිරීම, දෘඩ දේවල් චලනය කිරීමත් ඇතුලත් උනා.
හැබැයි වාසුලයා...ශීලා ගෑණිගේ ඇඟට වැහෙන්න බෑ. මම ගොඩක් සැරයක් උත්සහ කලා. ඒ ගෑණිගේ හිත හයියයි. හොල්මන් වලට බය නෑ. එහෙම අයගේ ශරීරයට ඇතුලු වෙන්න අපිට බෑ. ඉතින් කොහොමද අපි මේ ගෑණිගේ වැඩ නවත්වන්නේ... උඹ හිතපු විදියට... මොකක්. මම හිතුව ...මොකද්ද අර කෙල්ලො දෙන්න ගැන හොයන එක. මම ඒ ගැන දැනටමත් හොයාගෙන ඉවරයි.
උඹට මාත් එක්ක එන්න වෙනවා. කොහේද ඒ කෙල්ලො දෙන්නා ඉන්න තැනටද. ඔව්. උන් දෙන්නා අපිට උදව් කරයි මේ ගෑණිට පාඩමක් උගන්නන්න. කවීශ සමග මම නිවසෙන් පිටත්වී පවනි සහ තරුෂි යන ටානියාගේ යෙහෙලියන් හමුවීමට යාමට පිටත් වුනෙමු. එක තැනක සිට තවත් තැනකට යාම අපට ක්ෂණයෙන් සිදුකල හැකිවිය. එය ආලෝකයේ වේගයෙන් සිදුවීදැයි නොදනිමි.
පවනි....පවනි හිටියේ මහරගම.
තරුෂිත් හිටියේ ඒ ලඟමයි. පවනිගේ ගෙදරට මමයි කවීශයි ගිහිල්ලා පවනි ගැන අවධානයෙන් හිටියා.
වාසුලය...උඹ පවනි ගැන බලාගනින්. මම තරුෂි ගැන බලාගන්නම්. මතකනේ මම කිව්ව විදියට වැඩ කරපන්. ගොනෙක් වගේ වැඩ කරල ඔක්කොම අනාගන්න එපා. හරි කවිශ උඹ පලයන්. මම දන්නවා කරන්න ඕනේ විදිය.
පවනි උඩ තට්ටුවට නැගලා එයාගේ කාමරේට ගියා. මාත් එයාගේ පස්සෙන්ම ගියා. පවනි කියන්නෙ ලස්සන කෙල්ලෙක්. ටානියාට වඩා ලස්සනක් පවනිගෙ තිබුනා. හැබැයි පොඩි මොන්ගල් ගතියකුත් තියනවා වගේ තේරුනා ...
මොකද ගෙදර අය එක්ක කතා කරපු විදියෙන්. පවනි එයාගේ කම්පියුටර් එක ලඟට ගිහිල්ලා වාඩි වෙලා සින්දුවක් දාගත්තා. ඒක මම කැමතිම සින්දුවක්. මමත් හිමීට පවනිට ලංවෙලා සින්දුව මුමුනන්න ගත්තා. කවීශ කිව්ව විදියටම මම කීබෝඩ් එකෙන් ශෝට්කට් කී වලින් Word ඩොකියුමන්ට් එකක් ඕපන් කලා.
මොකද්ද මේ මැශින් එකට වෙලා තියෙන්නේ. පිස්සු හැදිලද මන්දා...පවනි කෑගහනවා මම word එකේ ටයිප් කලා.. Pavani කියල. ඒකට පවනි බයවෙලා වගේ පුටුවත් එක්කම පස්සට ගියා. මම තව ටයිප් කලා. දැන් ස්ක්‍රීන් එකේ පේන්නේ මෙහෙමයි. Pavani I need help පුටුවත් පෙරලගෙන බිමට වැටුනු පවනි කෑගහගෙන පල්ලෙහාට දුවගෙන ගියා.
මම ඉක්මනට ඒ ටික ඩිලීට් කරල Word එක ක්ලෝස් කලා. පවනි ආවේ එයාගේ මල්ලිත් එක්ක. මල්ලි හිනාවෙවී ආවත් පවනිගේ මූණේ බයවෙච්ච ගතිය හොඳටම පේන්න තිබුනා. කෝ ඕයි තමුසෙට පිස්සුද අක්කේ...මේකේ Word එකක් ඕපන් වෙලාවත් නෑ..තමුසේ මාව බයිට් එකට ගන්නද හදන්නේ.. අනේ නෑ මල්ලී..ප්‍රොමිස් මම කියනදේ අහන්නකෝ..
අනේ මේ මට පාඩුවේ ඉන්න දෙනවා..මම යනවා යන්න.. අනේ එපා..පොඩ්ඩක් ඉඳලා බලනවා. ආයේ Word එක ඕපන් කරල බලනවකෝ...
ඉන්නවකෝ...හැබැයි තමුසේ බොරු කියල තිබ්නොත් ආයේ තමුසෙගේ කිසි වැඩකට මම එන්නේ නෑ... පවනිගේ මල්ලි Word ඕපන් කලත් මම ඒක සේව් කරල තිබ්බෙ නැති නිසා ප්‍රශ්නයක් උනේ නෑ.
මල්ලි පවනිට බැනලා කාමරෙන් යන්න ගියා. එයා හෙමින් කම්පියුටරේ ලඟට ඇවිල්ලා බයෙන් බයෙන් ඉඳගත්තා. ආයෙත් ඇයව එකලඟ වෙලාවකදි බයකරන්න බැරි නිසා මම මුකුත් නොකර හිටියා. පවනිට මනස සැහැල්ලු කරගන්න වෙලාවක් දෙන්න මම තීරණය කලා.
කොහොම උනත් විනාඩි පහක් විතර යද්දී ඇයම Word එකක් ඕපන් කරල බයෙන් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. මම තව ටිකක් ඉවසුවා. ටිකකින් මම හිතුව දේම සිද්ද උනා. පවනි ටයිප් කරන්න ගත්තා. Who are you?
මම font එක සිංහලට මාරු කරල ටයිප් කරන්න පටන් ගත්තා. 'පවනි බයවෙන්න එපා. කාටවත් මේ ගැන කියන්න එපා' ඒක දැකපු පවනි බයවුන බවක් පෙනුනට කලින් වගේ දුවන්න ගත්තේ නෑ. ඒත් පුටුවෙන් පොඩ්ඩක් ඉස්සුනා.
එයා ඒකට යටින් ටයිප් කලා. ..........___________________________………
'ඔය කවුද? මොකද්ද මේ වෙන්නෙ?' 'මගේ නම වාසුල. මම මේ කියනදේ හොඳට අහගන්න.
මාව විශ්වාස කරන්න. මේ ගැන කාටවත් කියන්න එපා.'
'ඔයා කොහොමද මෙහෙම ටයිප් කරන්නේ. ඔයා ඇත්ත මනුස්සයෙක් නෙමේ නේද. භූතාත්මයක් ද ඔයා' 'පවනි ඔයාට ප්‍රශ්න ගොඩක් තියනව කියල මම දන්නවා. ඒත් ඔයාට මාව විශ්වාස කරන්නම වෙනවා.'
'හරි කියන්නකො බලන්න ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනේ'
ඒ අතරේ කවිශ මගේ ලඟට ඇවිල්ලා. මචන් වාසුලයා මාර සීන් එක. තරුෂි හොඳටම බයවෙලා බන්. මට වැඩේ කරගන්න බැරිවුනා.
උඹ මේ අමුතුම වැඩකට සෙට් වෙලා. ඕක හොඳයි වගේ. ඔව් පවනි මුලදි බයවුනා. දැන් ටිකක් ශේප් වගේ. එහෙනම් මෙහෙම කරමු. මම පවනිට කියන්නම් තරුෂිව මෙහෙට ගෙන්න ගන්න කියල.
අන්න ඒක හොඳයි. උඹටත් මොලේ ටිකක් තියනව. වැඩේ කියන්නේ ඒක ඇවිල්ලා තියෙන්නේ මැරුණට පස්සේ.
.......___________________………
'පවනි..මේක ඔයාට තනියෙන් කරන්න බැහැ. ඔයාගේ යාලුවා තරුෂිව මෙහෙට ගෙන්න ගන්න. දැන්මම කෝල් එකක් දීලා එන්න කියන්න'
'තරුෂිව කොහොමද ඔයා දන්නේ' 'පවනි ඒවට පස්සෙ උත්තර දෙන්නම්. ඉක්මනට එයාට එන්න කියන්න.'
පවනි, ඇයගේ යෙහෙලිය සමගින් ටික වේලාවක් කල කතාබහකින් අනතුරුව නැවත කම්පියුටර් එක ලඟට විත් වාඩි වූවාය. 'තරුෂි දැන් එනව කියල කිව්වා. මොකද්ද දැන් ඔයා කරන්න හදන්නේ' 'අපිට ඔය දෙන්නගෙන් ලොකු උදව්වක් ඕනේ.'
'කවුද අපි කියන්නේ.' 'මමයි කවීශයි. කවීශ කියන්නේ මගේ ලෝගන්' 'මොකක්..
ලෝගන් කියන්නේ' 'ඉන්න තරුෂි එනකම්. එයා ආවට පස්සෙ මම මගේ කතාව ඔක්කොම කියන්නම්'
තරුෂි පැමිනි පසු පවනි විසින් තම යෙහෙලියට කරුණු පැහැදිලි කර දුන්නාය. තරුෂි ඒවා පිළිගන්නට මැලිකමක් දැක්වූ අතර ඒ නිසා මම කම්පියුටර් ස්ක්‍රීන් එක මත ටයිප් කරන්නට වූයෙමි. එයින් තරුෂිද තිගැස්මට පත්ව තම මිතුරියගේ අත අල්ලා ගත්තාය.
මම මුල සිට මා මියයන තෙක් සිද්දිය දෙදෙනාට පැවසුවෙමි. එමෙන්ම කවිශ ගැනද පැවසුවෙමි. ඔවුන් විටෙක මුහුණට මුහුණ බලාගත්තෝය. විටෙක බයෙන් අත් අල්ලාගන්නට වූවෝය. .....______________……
'දැන් වාසුල ඔයා කියන්නේ ඔයා හොල්මනක් කියලද. මේ මැරිච්ච කෙනා තමයි අපිට කතාව කියන්නේ කියලද' 'ඔව් පවනි' 'එතකොට ඔයාද ටානියට මැරීගෙන ආදරය කරපු ෆේස්බුක් පෙම්වතා..' 'ඔව් පවනි. මට කලින් කවීශ' මේ අතර පවනී රහසින් තරුෂීට යමක් කියා සිනාසෙන්නට වූවාය. මට ඇය පැවසූ දෙය හරිහැටි ඇසුනේ නැත. 'ඔයා මෝඩයෙක් වාසුල..ඔයාට තිබ්බේ කරන්ට් ආපු වෙලාවෙ හරි ෆොටෝ එක දැකපු වෙලාවෙ හරි පණ බේරගෙන දුවන්න.'
'පිස්සු කතා කරනවද පවනි. මම දන්නවයැ මට එහෙම දෙයක් වෙන්න යනවා කියල. මම මෝඩයෙක් නෙමෙයි' 'ඔයා මැරුණෙ මෝඩකම නිසා. නැතුව බයකට නෙමෙයි. ඔයාට බේරෙන්න චාන්ස් කොච්චර තිබ්බද'
'ඔයා මගුලක් කියවනවා. ඔයාගේ පස්සෙන් ශීලා ඇන්ටි ආවනම් තේරෙයු ඔයාට' 'ශීලා ඇන්ටි ගෑණු අයගේ පස්සෙ එන්නේ නෑ. ඔයා නම් මෝඩම මෝඩ රාගික පෙම්වතෙක්..'
එය ටයිප් කල පවනි සහ තරුෂි දෙදෙනාම මහ හඬින් සිනාසෙන්නට වූවෝය. ඔවුන්ගේ කතා බහට අනුව තේරුම් ගියේ ඔවුන් මාව සෙල්ලමකට (බයිට් එකට) ගෙන තිබෙන අයුරකි. මෝඩයා උන් දෙන්නා උඹව බයිට් එකට අරගෙන. කවිශ පැවසීය. ඔව් බන්. මොකද කරන්නේ. ඔහොම උඹේ ස්ටයිල් එකෙන් තව ටිකක් කරල බලහන්කෝ. බැරිම උනොත් මම එන්නම්. ......______________……
'ඔය දෙන්නා මාව බයිට් එකට ගන්නවද..මැරුණු මනුස්සයෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්න' 'මේ වාසුල..ඔය මලගිය ප්‍රාණකාරයො ඇක්ටිව් වෙන්නේ රෑටනේ. මේ දවල් මොනවද කරන්නේ..'
'පවනී..මාව පිස්සු වට්ටන්න එපා. ඔයිට වඩා හොඳයි මාව ආයෙත් මරල දැම්මනම්....' මිතුරියන් දෙදෙනා නැවත කොක් හඬලා සිනාසෙන්නට වූවෝය.
'මැරුණ කෙනෙක්ව ආයි මරන්න පුළුවන් ද..හොල්මනක්ව...මට ඒ තරම් හැකියාවක් තියනව කියල හිතනවද..වාසුල..ඔයා මලගිය ආත්මෙයි මනුස්ස ආත්මෙයි අතර හිරවුන ජීවියෙක්ද කොහේද ..' පවනි අත ඔසවා මිතුරියගේ අත්ලට අත්ල තබමින් සතුට ප්‍රකාශ කලාය.
මාගේ කේන්තිය වැඩිවෙමින් පැවතුනි. හොල්මන් වලට බියවනවා වෙනුවට මොවුන් මා සමච්චලයට පත්කරන ආකාරය ගැන තරහවක් ඇතිවුනි.
අනික මෙය සිදුවන්නේ කවිශ ඉදිරියේය. ඔහු මාගේ ලෝගන් වන නිසා මෙය ඔහුටද බරපතල අපහාසයකි. පවනිට හොඳ පාඩමක් උගන්වන්නට මම තීරණය කලෙමි. මම නැවත ටයිප් කිරීමට පටන් ගත්තෙමි. 'පවනි..ඔයාලට මේක විහිලු නේද ..විහිලුවල සීමාවක් තියනවා. මම මෙච්චර වෙලා ඉවසුවා. ඔයා හිතන්නේ ඔයාලා කරන ඒවා මට පේන්නේ නෑ කියලද.
ඕන දෙයක් කරල පෙන්නනව බලන්න. මම කියන්නම් ඔයාලා කරන දේ..'
මේ දුටු දෙදෙනා නොනවත්වා සිනාසෙන්නට වූවෝය. අඩෝ තරූ...මොකා උනත් ඌ හොඳට බයිට් වෙලා...මල පැනලා ඉන්නේ..
තව බයිට් කරමු බන්. ඔහොම චාන්ස් එකක් ආයේ එන්නේ නෑ. මූ මොකෙක් හරි පිස්සෙක් නැත්නම් අසහන කාරයෙක්.. මට එය අසා තවත තරහව වැඩිවූවා මිස අඩු නොවීය. මම ටයිප් කෙරුවෙමි.
'උඹලා දෙන්න කියන ඒවා මට ඇහෙනවා. මම අසහන කරයෙක් කිව්වා නේද පිස්සෙක් කිව්ව නේද ..තරුෂී උඹ දැනගනින් මේක මම ලේසියෙන් අතහරින්නේ නෑ.' එය දුටු දෙදෙනාම බීරාන්තව දෑත් පටලවා ගත්තෝය. මම නැවත ටයිප් කලෙමි. 'මොකෝ බයවෙලා අත් අල්ලගෙන' පවනි බලපන් වෙබ් කැම් එක ඔන් කරලද කියල. ඌට අපි කියන ඒවා ඇහෙනවා.
මයික් මියුට් කරපන්.. නෑ බන් නෑ වෙබ් කැම් තියා නෙට් ඔන් කරලවත් නෑ. මොකක්..ඒක වෙන්නෙ කොහොමද. හිටපන් මම ටයිප් කරනකම්. 'ඇත්ත කියනවා තමුසේ මගේ මැශින් එකට රිමෝට් ලොග් වෙලා මාව හැක් කරනවා නේද..
තමුසේ කවුද? පොලීසියට කියන්න කලින් කියනවා. නැත්නම් දැන්මම කෝල් කරනවා පොලීසියට' ඔවුන් බියවී ඇත. එය මට සතුටකි.
මම නැවත ටයිප් කලෙමි. 'පුලුවන් නම් කෝල් කරල බලපන් කෙල්ල. බලපන් දැන් මම උඹලගේ කාමරේ දොර වහන හැටි.' මා එසේ ටයිප් කර කවීශ දෙස බැලුවෙමි. ඔහු හිස සලා මා සමග සිනාසුනේය.
එසැනින්ම කාමරයේ දොර වැසී ගියේ අගුල් වැටීමත් සමගය. මිතුරියන් දෙදෙනා කෑගසමින් මරහඬ තලමින් දොරට ගසන්නට වූවොය.
යෙහෙලියන් දෙදෙනාගේ කෑගැසීම සහ දොරට ගැසීම ඇසිම නිසා පවනිගේ මල්ලී දුවගෙන ඉහල මහල වෙත පැමිනියේය. අක්කේ මොකෝ ..මොකද්ද උනේ
ඔහුගේ කෑගැසීම ඇසුනු මම දොර විවෘත කෙරුවෙමි. දහඩියෙන් තෙත්වී සිටි පවනි සහ තරුෂි ලද ඇසිල්ලෙන් කාමරයෙන් පැනගත්තෝය. මල්ලී මේ කාමරේ හොල්මන්..මට නම් ඉන්න බෑ.
මොකද්ද උනේ කියනවකෝ. තරු අක්කේ තමුසේ හරි කියනව මොකද්ද උනේ දන්නෙ නෑ මල්ලි. හොල්මනක්... එක පාරටම දොර වැහුනා ඉබේ ලොක් උනා. ඕකද..අයියෝ ලොක් එකේ අවුලක් ඇති. දොර වැහෙන්න ඇත්තේ හුලඟට. නිකන් බොරුවට බයවෙන්න එපා හලෝ. තාත්තාට කියල ඔය දොරට අලුත් අගුලක් දාගන්නවා. පිස්සු ඩබලක්.
මම යනව අපරාදේ ගේම් එකත් මග දාලා ආවේ. තම සහෝදරයා පඩිපෙල බැස පහලට යනු බලාසිටි පවනි නැවත තරූෂි ගේ අත අල්ලාගත්තාය.
මොකද්ද තරූ ඒ උනේ.. මම දන්නෙ නෑ බන්. අද උදේ මෙහේ එන්න කලින් අපේ ගෙදරත් හොල්මන් සීන් දෙක තුනක් උනා.
මොකක්... ඔව් .කොහෙද ඒව කියන්න වෙලාවක් තිබුනේ නෑනේ. උඹේ මේ මගුලට සෙට් උනානේ.
කියපන්. මොකද උනේ කියල. මම කාමරේ ඉන්නකොට එක එක සද්ද ඇහෙන්න ගත්තා. මම හිතුවෙ අපේ කිටියා කියල. ඒත් බලනකොට ඌ එලියේ. නිකම්ම සමහර බඩු පෙරලෙන්න බිම වැටෙන්න ගත්තා. මම බයටම සාලෙට වෙලා හිටියා.
මාර වැඩේනේ. ඇත්තටම හොල්මනක්ද දන්නෙ නෑ බන්. අපේ ටානියා නැතිවෙලා දැන් මාස ගානක්නේ. මොකද්ද මේ වෙන්නේ. ඉතින් බන් ටානියා එක්කම ආන්ටියි අංකලුයි දෙන්නම මැරුණ නේද. ඔව් තුන්දෙනාම එකටනේ මැරුනේ.
එතකොට මේ වාසුල කියල කියන කෙනා ඇත්තටම මැරිලද කියල අපි හොයල බලමු. උඹ කියන්නේ මේක ඇත්තටම හොල්මන් සීන් එකක් කියලද. කම්පියුටර් එක කවුරුහරි හැක් කරල නෙමේද...
මල්ලි කිව්ව වගේ දොර හුලඟට වැහුනා වෙන්න බැරිද. එහෙමයිම කියමුකෝ. ඒත් ඌ කියනකොටම කොහොමද දොර වැහුනේ අහඹු සිද්දියක් වෙන්න බැරිද ආයේ කාමරේට ගිහිල්ලා ටයිප් කරල බලමුද. හා හැබැයි දොරට පුටුවක් තියල තියමු වැහෙන්නේ නැති වෙන්න. යෙහෙලියන් දෙදෙනා කාමරයට ගොස් නැවත word එකේ ටයිප් කරන්නට වූවෝය.
.......___________________……
'අපිට ඇත්තම කියන්න. ප්ලීස් '
'පවනී. ඔයාලව බයකරන්න උන එකට සමාවෙන්න. මම කිව්ව ඔක්කොම ඇත්ත. අපෙන් කරදරයක් නෑ. අපිට ඕනේ ඊලඟ බිල්ල බේරගන්න'
'ඔයා මැරුණ කෙනෙක් කියල පිලිගන්න අමාරුයි. තාම ශුවර් නෑ. ඒක ඔප්පු කරල පෙන්නන්න පුළුවන්ද' 'කොහොමද පවනි ඒක ඔප්පු කරල පෙන්නන්න ඕනෙ'
'අර මේසෙ උඩ තියන කතා පොත බිමට වට්ටලා පෙන්නන්න' එසැනින්ම මේසය මත තිබුන කතා පොත බිමට වැටුනි. 'දැන්වත් විශ්වාස කරනවද පවනි' 'ආයේ ඒ පොත මේසෙ උඩ තියන්න පුළුවන්ද' පොත් නැවත මේසය මත දිස්වුනි.
යෙහෙලියන් දෙදෙනාගේ අත් තදින් බැඳීගිය අතර දෙදෙනාම දොර දෙස බැලුවෝය. නැවත තිරයේ ටයිප් වන්නට පටන් ගති. 'පවනි දැන් විශ්වාසයිනේ. මම ආයෙත් කියනවා අපෙන් කරදරයක් නෑ. අපිට උදව් කරන්න.'
'ඒත් වාසුල ඔයා ඔය කියන ටානියායි එයාගේ අම්මයි තාත්තයි තුන්දෙනාම මාස ගානකට කලින් මැරුණනේ' එය තිරයේ දුටු විගස මටත් වඩා නොසන්සුන් වූයේ කවීශයි. වාසුලයා ඒක වෙන්නෙ කොහොමද ..අහපන් අහපන් මොකක් වෙලාද කොහේද ඔක්කොම විස්තර අහපන් හරි හරි බන්. හිටපන්කෝ කලබල නොවී. මම කීවෙමි.
මම ඒ ගැන පවනිගෙන් විමසුවෙමි. 'එයාලා නුවරඑළියේ ට්‍රිප් එකක් ගිහිල්ලා එන අතරමග වාහනේ හෙලකට පෙරලිලා තුන්දෙනාම මැරුණා. ඔයාට මේ ස්ක්‍රීන් එක පේනවනේ. ඉන්න මම ඕක නෙට් එකෙන් නිවුස් එක අරන් පෙන්නන්න' පවනී අන්තර්ජාලයේ තිබූ ප්‍රවෘත්තියක් සොයා එය පෙන්වූවාය. එහි සඳහන් වූ ආකාරයට තිදෙනාම මියගොස් ඇත.
මල සිරුරු හමුවී ඇති අතර ඒවා ගොඩිගමුව සුසාන භූමියේදී සිදුකර ඇත. මොකද්ද කවීශ ඒකේ තේරුම. මම උඹට නොකිව්ව දෙයක් තියනව වාසුලයා. ඒත් මම ඒක විශ්වාස කලේ නෑ. මගේ ලෝගන් මට ඒක ගැන කියල තිබ්බා. මම කොහොමටවත් ඒක විශ්වාස කලේ නෑ. හැබැයි දැන් ඒක ඇත්ත වෙලා.
මොනාද උඹ මේ කියවන්නේ.
ඔව් ..අහපන් වාසුලයා. මේක අපි හිතනවට වඩා ගොඩක් භයානකයි ගොඩක්ම භයානකයි. අපි මහා මෝඩ වැඩක් මේ කරගත්තේ. මේ අහිංසක කෙල්ලො දෙන්නව මේකට පටලගත්තේ අපරාදේ. පැහැදිලිව කියපන් කවීශ. මොකද්ද මේ. මොකද්ද උඹ මට කිව්වෙ නැත්තේ..
මේ අතර පවනි තිරය මත ටයිප් කල ඒවාට පිළිතුරක් නොමැතිව බලා සිටියේ නොඉවසිල්ලෙනි. 'පවනි. මම කවීශ. ඔයාලව අපි ලොකු අමාරුවක දැම්මේ. ඒක අපි හිතල කරපු දෙයක් නෙමෙයි. අපි දැනගෙන හිටියෙ නෑ ටානියාලා මැරිලා කියල. ඔයාලා මේ දවස් ටිකට ගෙවල් වලින් එලියට යන්න එපා. විශේෂයෙන්ම රෑට.
මමයි වාසුලයි පුළුවන් විදියට ඔයාලට කරදරයක් වෙන්න දෙන්නෙ නැතුව බලාගන්නවා. අපිට දැන් යන්න වෙනවා. හදිස්සියක් උනොත් ෆෝන් එකේ 906 ට මැසේජ් කරන්න'
මෙය දුටු කල යෙහෙලියන් දෙදෙනා බීරාන්තව මුහුණට මුහුණ බලාගත්තෝය.
'ප්ලීස් යන්න එපා. මේ මොකද්ද වෙන්නෙ කියල අපිට කියන්න. ඔයාලට කතා කරන්න බැරිද' 'අපි කතා කරන ඒවා ඔයාලට ඇහෙන්නේ නෑ. බයවෙන්න එපා. අපි ඔයාලට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ. අපි යනවා. කිව්ව දේවල් හොඳට මතක තියා ගන්න'
වාසුලයා යමන් අපිට ගොඩක් වැඩ තියනව කරන්න. ඒත් මේ කෙල්ලො දෙන්න. දැනට උන්ට අවුලක් නෑ. හැබැයි හවස හයෙන් පස්සෙ තමයි අපිට උන්ව බලාගන්න වෙන්නේ.
මට කියපන් කවීශ මම දැනගන්න ඒවා ඔක්කොම. නැතුව මේක කරන්න බෑ. කිසිම දෙයක් හංගන්නෙ නැතුව ඔක්කොම කියපන්.
හරි. හොඳට අහගනින්. මේ විස්තර එක්ක පේන දෙයක් තමයි උඹව මාව දෙන්නවම මරල තියෙන්නේ අපේම කෙනෙක්. ඒ කියන්නේ හොල්මනක්. ඔව් මිනිස්සු අපිට කියන්නේ හොල්මන් කියලනේ. ඒත් වාසුලයා අපිට කියල වැදගත් නමක් තියනවා. ඒ මොකද්ද ඒ අපි තමයි 'ස්පෙක්ට්‍රවරු' නැත්නම් ස්පෙක්ට්‍රස්ලා. අපෙත් එක එක කොට්ටාශ තියනව මිනිස්සුන්ගේ වගේ. ඔය ශීලා වගේ අය විශේෂිත කොට්ටාශයක්.
එයාලගේ බලය අනිත් අයට වඩා වැඩියි. එයාලට කොහොමද වැඩි බලයක් ලැබෙන්නේ. මගේ ලෝගන් කිව්ව විදියට මැරෙන මොහොතේ දරුණු වෛරයකින් නැත්නම් පලිගැනීමකින් මැරුනොත් ඒ වගේ ස්ප්‍රෙක්ටර්ස්ලාට බලය වැඩියි. එයාලට කියන්නේ 'පැන්ටම්වරු' කියලා. එයාලට පුළුවන් ජීවත් වෙලා ඉන්න අයට දැනෙන විදියට ශරීරය හදාගන්න.
ඒ වගේම එයාලට පුළුවන් සාමාන්‍ය මිනිස්සු වගේම දේවල් කරන්න. හැබැයි ඒක පුළුවන් වෙන්නේ හවස හයෙන් පස්සෙ. නැත්නම් කලුවර කාමරයකදි විතරයි. එතකොට ශීලාද අපිත් එක්ක චැට් කලේ නැත්නම් ටානියාද? ඒක කියන්න අමාරුයි. උඹත් ඒකි එක්ක සෙක්ස් ෆොටෝස් යවාගත්තාද. ඔව්. ඒ කියන්නේ උඹත්.... ඔව් යකො. ඇයි මම උපාසකයෙක් කියල හිතුවද? හ්ම්ම් එහෙනම් කියහන් බලන්න ශීලා අපෙන් පලිගත්තේ ටානිය නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද? ඒකත් හොයාගන්න වෙනවා. ඒ කොහොම උනත් අපි ඒ ගෙදර ගියපු එකෙන් ලොකු පාඩුවක් උනේ.
ශීලා දැන් දන්නවා අපි ඒකිගේ පස්සෙන් පන්නනවා කියල. ඒක නිසා ඒකි පරිස්සම් වෙයි. ඊලඟ බිල්ල අපෙන් හංගගනී. වාසුලයා අපි පරිස්සම්වෙන්න ඕනේ. මොකක්. අපි මොකටද බන් පරිස්සම් වෙන්නේ. අපි මැරිච්ච මිනිස්සුනේ... උඹට ආයේ මිනිස් ලෝකේ උපදින්නද කැමති නැත්නම් අපායේ යන්නද..කොහොමත් දිව්‍ය ලෝකයක් අපට නෑනේ...නැත්නම් මෙහෙම සදාකාලිකවම හිරවෙලා ඉන්නද ආස.. මන් දන්නෙ නෑ බන්..මේ ජීවිතයත් එහෙම ලොකු අවුලක් නෑ වගේ.
තොට මේ ජීවිතේ බරපතලකම තාම තේරෙන්නේ නෑ. හැමෝම වගේ බලන්නේ මිනිස් කලලයකට රිංග ගන්න. ඒවට සම්පූර්ණ කරන්න ඕනේ දේවල් තියනව. ඒවා පස්සෙ කියල දෙන්නම්.
දැන් වරෙන් ශීලා ගැන හොයන්න වෙනවා. මේකට අපිට උඹේ ලෝගන්ගෙන් උදව් ගන්න බැරිද? බෑ. අපි ලෝගන් කෙනෙක් උනාට පස්සෙ අපිට කිසිම ස්ප්‍රෙක්ටර් කෙනෙක් ගෙන් උදව් ගන්න බෑ. ඒක නීතියක්ද?
ඔව්. නීති කඩන්න බැරිද? මේක මනුස්ස ලෝකේ වගේ නෙමේ හරකෝ. උඹට කියල දෙන්න තව ගොඩක් තියනවා. ............
_____________________………
මේ අතර පවනිගේ නිවසේ එදින හවස් වරුවේදී.....
තරූ උඹ ගෙදර යන්න එපා. අද රෑට මෙහේ හිටපන්කෝ. මට බයයි. අනේ බන් මටත් එහෙමයි.
ගෙදරනම් තනියම කාමරේ ඉන්න බෑ. මම අම්මට කෝල් කරල කියන්නම්. ඔව් මොකක් හරි බොරුවක් කියපන්. ඕනෙනම් මමත් කතා කරන්නම්. තරුෂී, පවනීගේ නිවසේ රාත්‍රිය ගත කිරීමට තම මව කැමති කරවා ගත්තාය. වේලාව සවස හය පසුවන්නට විය.
අවට පරිසරයේ සිදුවන වෙනස්වීම් කිසිවක් පවනි හා තරුෂිට නොපෙනුනේ ඔවුන් සියලු ජනෙල් වසා ජනෙල් ආවරණද දමා තිබුන නිසාය. වෙනදාට වඩා අඳුර වෙනස් ස්වරූපයක් ගත්තේය.
සියුම් සුළඟක් මගින් අසල තිබූ පේර ගසේ අත්තක් සෙලවී ගියේය. තවත් සුළඟ වැඩිවූ කල පේර අත්ත ජනේලයේ වැදීම නිසා හඬක් නැගුනි. කිසිම කතාබහක් නොමැතිව සිටි යෙහෙළියෝ ඒ හඬට පවා බියවූවෝය.
'දුව....පවනී...පොඩ්ඩක් එන්න' ඒ පවනිගේ අම්මාගේ හඬය. උඹ හිටපන් තරු. මම බලල එන්නම්. අනේ බන් මට බයයි තනියෙන් ඉන්න. මාත් එන්නද. පිස්සු නොකර හිටපන්. මම ටක් ගාලා එන්නම්. පවනී පිටවී ගිය පසු සුළඟ තවත් වේගයෙන් හමන්නට විය.
පේර අත්ත දෙතුන් පාරක් ජනේලයේ වැදීම තරුෂිගේ හද ගැස්සීමට සමත්විය. සුලඟ තවත් වැඩි වීමත් සමග ජනෙල් තිර මෑත්වී එලිය පෙනෙන්නට පටන් ගති. අඳුරේ සුළඟට වැනෙන පේර ගසේ අතු අමුතු ආකාරයකට දිස්වේ.
වරෙක එක් පැත්තකට ඇදී යන අතු වලින් මැවෙන්නේ විලිස්සාගත් සිනහවක් සහිත මැහැල්ලකි.
වහා ඇඳට පැනගත් තරුෂි බෙඩ් ශීට් එකෙන් මුලු ඇඟම වසා ගත්තාය. වටපිට කිසිවක් නොපෙනීම ඇගේ සතුටට හේතු වුවද ඒ අතරින් යටි හිතෙන් බයක් මතුවූයේද එලිය නොපෙනෙන නිසාමය. ඇය පොඩි විවරයක් සාදාගෙන බැලුවාය. දුටු දෙයින් තිගැස්සුනු ඇයට කෑගැසීමට පවා නොහැකිවිය. වහා නැවත විවරය වසා දැමු ඈ තදින් දෑස් පියාගත්තාය.
කරාස්...යන හඬින් දොර වැසි ගියේය. තවත් ගුලිවූ තරූෂි ඇඳේ මුල්ලටම ගියාය. නැවත දොර විවෘත වන හඬ ඇසුනි. තරූ කෙල්ල...මොකෝ බයවුනාද. නැගිටින්න සුදු. පවනිගේ හඬ නිසා සුසුමක් පිටකල ඇය බෙඩ්ශීට් එක අයින්කර ඇඳෙන් බිමට පැන පවනිව බදාගත්තාය.
බයවෙන්න එපා. එලියේ හුලඟ. ඒකට ඔය පේර ගහේ අතු වැදෙනවා මගේ ජනේලේ...මේ ඒක නෙමේ ගිහිල්ලා වොශ් එකක් දාගනින්...අම්මල ගමනක් යනවා. අපිවත් එක්ක යනවා කිව්ව. කොහේද .. අම්මගේ හොඳම යාලුවෙක්ගේ ගෙදර පාටි එකක්. ඒ ආන්ටිලගේ ඇනිවසරි එක.
ඉතින් අපිටත් එන්න කියලා. අම්ම කිව්ව අපි දෙන්නටත් ලෑස්ති වෙන්න කියල...
එත් ..පවනි ..වාසුලල කිව්ව නේද එලියට යන්න එපා කියල.. මෝඩියේ අම්ම එක්කනේ යන්නේ බයවෙන්න දෙයක් නෑ. මල්ලි යන්නෙත් නෑ ..ඌට බෑ කිව්ව. අපිට පාඩුවේ ගිහිල්ලා ටිකක් ඩාන්ස් කරල එන්ජෝයි කරල එන්න පුළුවන් ...
හා පලයන් ඉක්මනට...වොශ් එකක් දාගෙන වරෙන්..
පවනි ලබාදුන් තුවාය සමග තරුෂි නාන කාමරය වෙත ගියේ එතරම් කැමැත්තකින් නොවේ. නානකාමරයට ඇතුලුවී දොර වසාගත් ඇය මුලින්ම දුටුවේ බාත් ටබ් එක තිබෙන තැන තිරය සෙලවෙන අයුරකි. වහා බිත්තිය අල්ලාගත් ඇය නැවත දොර දෙසට හැරුනාය. 'තරූ ඉක්මන් කරපන් හොඳේ...' ඒ දොරට ගැසූ හඬ පවනිගේය. තරුෂි සෙමෙන් බාත් ටබ් එක දෙසට පියවර තැබුවාය.
නැවතත් තිරය සෙලවෙන්නට විය. දෑස තදින් පියාගත් ඇය අත් ඉදිරියට දිගුකර තිරය මෑත් කලාය. කිසිම ශබ්දයක් නොවූ කල සෙමෙන් දෑස් විවර කලාය. බාත් ටබ් එක ජලයෙන් පිරී ඇත. එහි කිසියම් කුඩු වර්ගයක් වැටී එය පැතිරෙමින් පවතී. ඇය ඒ දෙස බලා සිටියාය. එය යම්කිසි රටාවකට පැතිරෙන අයුරු ඈ බලාසිටියාය. එකෙනෙහිම ශවර් එක ක්‍රියාත්මක වී බිම තෙමීගියෙන් ඇය බියවූවාය. 'තරූ ඉක්මන් කරපන්..මමත් වොශ් දාගන්න ඕනේ..'
පවනිගේ කෑගැසිල්ලට වහා ශවර් එක යටට ගොස් වතුර පහරට පිටදීගෙන සිටියත් ඇයගේ දෑස් යොමුවී තිබුනේ බාත් ටබ් එක දෙසය. එහි යමක් ලියැවෙමින් පැවතුනි. Dont go මෙය අනිවාර්යයෙන් වාසුලගේ අනතුරු ඇඟවීමක් බව ඈ දැනගත්තාය. ඉක්මනින් ඇඟ සෝදාගත් ඇය වහා නාන කාමරයෙන් පිටතට පැමින පවනිට එය පෙන්වන්නට පවනී ඇදගෙන නානකාමරයට ගියාය. නමුත් බාත් ටබ් එකෙ ඒ වනවිට කිසිම කුඩක් නොමැතිව පැහැදිලි ජලය දැකගත හැකිවිය.
උඹට පිස්සු තරූ. නිකන් බයවෙලා. අන්න මම උඹට ලස්සන ඇඳුමක් තෝරල තිබ්බා. ඒක ඇඳගනින්. මම වොශ් එකක් දාගෙන එන්නම්... කවීශ කියූ ෆෝන් නම්බර් එක මතක්වූ තරුෂි එයට මැසේජ් එකක් දැමීමට තම දුරකතනය අතට ගත්තාය.
එය තරමක් රත්වී තිබෙන බව එය අතටගත් සැනින් ඇයට ප්‍රත්‍යක්ෂ විය. එහි වෝල් පේපර් එකේ තිබුනේ ටානියාගේ පින්තූරයකි. වහා තම දුරකතනය ඇඳට විසිකල ඇය කාමරය සිසාරා බැලුවාය. ඒ හැම තැනකම ඇයට පෙනෙන්නේ හැම දෙයක්ම Dont go ලෙස වෙනස්ව එය දිස්වන බවක් ය. නමුත් එසේ දිස්වන දෙය සැනෙකින් නැවත යතා තත්වයට පත්වී මැකීයයි. ඇඳෙහි කොනකින් වාඩිවූ ඇය ඇඳුමද අතැතිව වටපිට බලන්නට වූවාය. තවමත් පේට අත්ත ජනේලයට වැදෙන හඬ ඇසේ.
තරූ තරූ...උඹ දැක්කද බාත් ටබ් එකේ.. ඒක තමයි මම කිව්වෙ උඹට. අපි මේ ගමන නොයා ඉමු. අම්මටත් යන්න එපා කියමු. මොනවද පිස්සි උඹ කියවන්නේ. මම කිව්වෙ බාත් ටබ් එකේ ලස්සන කොණ්ඩ කට්ටක් තිබ්බා. ඒක අපේ අම්මගේ. අම්ම ඊයේ මේකෙන්නේ වොශ් දැම්මේ. එයාගේ අතින් වැටිලා. පවනි මේ අහපන් ..අනේ අපි යන්නෙ නැතුව ඉමු. උඹට පිස්සුද..අනික අපි අම්මට මොනවද කියන්නෙ. හොල්මනක් භූතාත්මයක් අපිට අද රෑට ගෙදරින් එලියට යන්න එපා කිව්ව කියල කියන්නද...
මේ ඔන්න ඕක ඇඳගනින් ඉක්මනට..අම්ම පහල බලන් ඉන්නවත් ඇති...
සිතේ චකිතය අමතක කරන්නට මෙන් තරුෂි කැඩපතෙන් තම මුහුණ බැලුවාය. එක්වරම බියවූ ස්වරූපයක් ඇගෙන් දිස්වූ අතර ඇය ඉබේම පිටුපසට අඩි කිහිපයක් ගොස් ඇඳේ කකුල වැදී ඇඳ මතට ඇද වැටුනාය. එවරම ඇසුනු කරාස්ස්....යන හඬ කොහෙන් ආවාදැයි ඇය සොයන්නට වෙහෙසුනේ නැත. ඒ සඳහා ඇයට වෙලාවක් නොතිබුනෙන් එක්වරම මුනින් අතට හැරුනු ඇය මෙට්ටය තුලට ඔලුව ඔබාගත්තාය.
පිටුපසින් කවුරුන් හෝ ඉන්නා බව ඇයට දැනෙන්නට විය. තම යටි පතුල්මත යමක් ඇතිල්ලෙමින් යන අයුරු ඇයට දැනුනි.
කෑගසන්නට උවමනා වුවත් බිය වැඩිකමටත් තමා සිටින්නේ අනුන්ගේ නිවසක නිසාත් ඇය අපහසුවෙන් ඉවසාගෙන සිටියාය.
'තරු මොකද බන් වෙලා තියෙන්නේ..තාම ඇඳගත්තේ නැද්ද. මෙහෙවරෙන් ලඟට.' සෙමෙන් හිස පිටුපසට හැරවූ තරුෂි, තම යෙහෙළිය ලඟ සිටිනා බැවින් දිගු සුසුමක් හෙලුවාය. මම ඉන්නවනේ බන්...බයවෙන්න එපා. ඉක්මනට ඇඳගනින්.
අම්මා කතා කලත් එක්ක.
පවනී...දුව දෙන්නම පහලට එන්න. මම වෙහිකල් එකට යනවා.. අන්න බන් අම්මා ලෑස්තියි. ඉක්මන් කරපන්. ඉක්මනින් ඇඳුම ලාගත් තරුෂි අකමැත්තෙන් වුවත් ගමන සඳහා එක්වූවාය.
කොල පැහැති ගවුමක් ඇඳ සිටි තරුෂි සහ නිල් පැහැති ගවුමකින් සැරසී සිටි පවනී දෙදෙනාම දුටුවන් වසඟකරවන සුලු විය. ෂා..දෙන්නගෙ ලස්සන බලන්නකො. හරියට අක්කයි නන්ගියි වගේ.. එතකොට මම අක්කා තරු නන්ගී..
ඔව් කෙල්ල. අනේ මේ කෙල්ල මගේම දුව උනානම්..හරිම කියුට්. අපි යමු දරුවනේ. දැන්නම් පාටිය පටන් අරගෙනත් ඇති. අම්මා කොහේද අම්මගේ යාලුවගේ ගෙවල් තියෙන්නේ.. ගොඩිගමුවෙ...
මෙය ඇසූ තරුෂී කලබල වූවාය. ඇය පවනිට රහසින් මුමුනන්නට වූවාය.
පවනි...ගොඩිගමුවෙ කනත්තේ තමයි ටානියාලගෙ බොඩීස් වලදැම්මේ..උඹට මතකයිද .. ඒ වදන් පවසන විට තරුෂිගේ ස්වරය වෙව්ලීමක් සහිත විය.
විකාර මතක් කරන්නෙ නැතුව යමන් තරු. පවනි කීවේ ඇයට ඇසෙන ගානටය. වීදුරුවෙන් පිටත බැලූ තරුෂිට අවට තිබූ සෑම දෙයක්ම පෙනුනේ අමුතු අයුරකිනි. දුව අර ඔයාලගෙ යාලුවා ටානියාලගේ ෆියුනරල් එක කලේ ඔය ඉස්සර හම්බවෙන සෙමෙට්‍රි එකේ.
මතකද ඔයාලට. ඔව් අම්මා..පව් කෙල්ල. ටික දුරක් යනවිට වාහනය නැවතුනි. පවනිගේ මව වාහනය පනගන්වන්නට උත්සහ කලද එය සාර්ථක වන අයුරක් පෙනුනේ නැත.
වාහනය නතරවී තිබුනේ හරියටම ගොඩිගමුව කන්ත්ත ආසන්නයේය. මොකද අම්මා ස්ටාට් වෙන්නේ නැද්ද.. නෑනේ දුව. එන්ජින් ට්‍රබල් එකක්ද දන්නෙත් නෑ. මොකෝ කරන්නේ තාත්තිත් අවුට්ස්ටේශන්... ඉන්න මම බැහැලා බලන්න...
එපා ආන්ටී වෙහිකල් එකෙන් බහින්න එපා..තරුෂි කෑගැසුවාය. ඒ කෑගැසීමෙන් පවනී මෙන්ම මවද බියවූවෝය. මොකද දරුවො නෑ ආන්ටි. වෙහිකල් එකෙන් බහින්නෙ නැතුව අපි කෝල් කරමු දන්න කාටහරි.
මේ ලඟපාත අපි දන්න කවුරුත් නෑනේ. ඉන්නකෝ මම පොඩ්ඩක් බැහැලා බලන්න. තරුෂි වහාම පවනිගේ අත අල්ලගෙන ඇයගේ මව නවත්වන ලෙසට රහසින් කීවාය. තරූ මෙතන දඟලන්න එපා බන්. අම්මත් බලයි මොකද කියල.
බය නැතුව හිටපන් මම ඉන්නවනේ. උඹ ඔහොම හිටපන් ඇතුලට වෙලා. මමත් බැහැලා බලන්නම්. තරුෂි නැවත පවනිගේ අත තදින් අල්ලාගත්තාය. එහෙනම් වරෙන් උඹත් බැහැපන්. කනත්ත අසල ගෙවල් කිසිවක් නොතිබූ අතර පාරේ අනික් පැත්තේ වැටමාර ගස් දිගට පැවතීම නිසාද කනත්ත පැත්තේ පොළොව නොපෙනෙන අයුරින් වල් පැල සහ තණකොල වැවී තිබෙන නිසාද පාලු ස්වරූපයක් ඉසිලීය.
තිදෙනාම වාහනයෙන් බැසගත් අතර පවනිගේ මව වාහන දෝෂ ගැන දැනුමක් නොතිබුන හෙයින් දුරකතන ඇමතුමක් ලබාගත්තේ වාහන කාර්මිකයෙකුට හෝ ආයතනයකට යැයි සිතිය හැකිය. ඒ අතරම පාරේ තරමක් ඈතින් පාපැදියක නැගී එන මිනිසෙකි.
මිනිසෙක් යැයි කීවද ලඟට එනවිට ඔහු කඩවසම් තරුණයෙකු යැයි කිවහැකි තරමට වාහන ලාම්පු එලිය ප්‍රමාණවත් ලෙස තිබුනි. අමුත්තන්ගේ අවසරයකින් තොරවම ඔවුන්හා කතා කරන්නට තරුණයා පසුබට නොවූයේ ඇහැට කණට පේන යුවතියන් දෙදෙනා නිසාදැයි කිව නොහැක. ආන්ටි මොකද වෙලා තියෙන්නේ..ස්ටාර්ට් වෙන්නෙ නැද්ද දුරකතන ඇමතුම් සම්බන්ද කරගත නොහැකිව සිටි පවනිගේ මව ඔහු දෙස බලා මද සිනහවක් නගාගෙන පිළිතුරු දුන්නාය.
ඔව් පුතා එකපාරටම නැවතුනා..මේ ලඟ ගරාජ් එකක් නැද්ද.. ගරාජ් කොහේද ආන්ටී මෙහේ..ලඟම තියන එකට තව කිලෝමීටර් පහ හයක් යන්න ඕනේ.
ඉන්න බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා.. ඔහුගේ දෙනෙතෙ යොමුවී තිබුනේ තරුෂි වෙතය. ඔහුගේ ඇස්වල අමුතු දීප්තියක් ඇතිබව තරුෂි දුටුවාය.
එය බියජනක නොවූවත් කිසියම් අමුත්තක් එයින් ඇයට දැනුනි. වාහනයේ බොනට් එක ඇර එහි දේවල් පිරික්සූ තරුණයා වරින් වර තරුෂි දෙස බලන්නට වූවේය. එම බැල්මේ සිනහවකටත් වඩා යමක් පැවතුනි. එය විඳගැනීමට අපහසු වූ තරුෂි ඉවත බලා ඔහුගේ දෑස් මගහැරියාය.
මේක මෙහෙම බලල කියන්න අමාරුයි ආන්ටි..ආන්ටිලා කොහේ යන ගමන්ද. වෙහිකල් එක දාල තමයි යන්න වෙන්නෙ.. අයියෝ...එහෙමද අපි මේ ලඟ පාර්ටියකට යන ගමන්.. ෂෙරිල් ආන්ටිලගේ ගෙදර පාටි එකද ඔව් ඔව් පුතා එහේ දන්නවද.
මොකද ආන්ටි මම දන්නෙ නැත්තේ. මම දැක්කා හවස ඒ පැත්තෙන් එනකොට ඩෙකොරේට් කරනවා. මාත් එක්ක යමු මම ආන්ටිලව ගිහින් ඇරලවන්නම්. එහේ කාටහරි කියල වෙහිකල් එක ගරාජ් එකකට දාගන්න පුළුවන් වෙයි. අම්මෝ එහෙට තව දුරයිනේ. අපි කොහොමද යන්නේ.
පුතාට පුළුවන්ද ඕකෙන් ගිහිල්ලා ත්‍රීවීලර් එකකට එන්න කියන්න. එය ඇසූ තරුණයාගේ මුහුණ වෙනස් විය. මේ වෙලාවෙ මෙහේ ත්‍රීවීලර් හොයාගන්න නෑ ආන්ටි. පයින් යමු. එච්චරම ලොකු දුරකුත් නෑ. ආන්ටිල කැමති නම් එක එක්කෙනා ගානේ මට බයිසිකලෙන් ගිහින් දාන්න පුළුවන්..
නෑ නෑ අපි පයින් යමු. තරුෂි කීවාය. ඔව් එහෙම කරමු. ඔය ළමයගේ නම මොකද්ද මම රවිනෙත්. රවිනෙත් මේ ලඟඳ ඉන්නේ. මම ඉන්නේ මේ කන්ත්ත පිටිපස්සෙ.
පයින් යාම පවනිට සෑහෙන අපහසු කටයුත්තක් විය. ඇයගේ උස අඩි සෙරෙප්පු නිසා බොරලු සහිත කඩතොලු වූ කාපට් පාර මත ඇවිදීම අපහසු විය. රවිනෙත්ගේ අතේ තිබූ රිදී පැහැති බ්‍රේස්ලට් එකක් වැනි යමක් දෙස තරුෂිගේ දෑස යොමුවිය. එය දිලිසෙන්නට වූයේ කොල පැහැයක් සහිතවයි. විටින් විට එහි කොල පැහැය නැතිවනු පෙනුනි. රවිනෙත් නැවත පසුපස හැරී තරුෂි දෙස බලන්නට පටන් ගත්තේය. මේ අතර අවාසනාවන්ත ලෙස පය පැටලීම නිසා පවනී පාර මත ඇද වැටුනාය. ඇගේ නලලෙන් ලේ වැගිරෙමින් තිබුනි.
අයියෝ දුව මොකද උනේ...ඔය නලලේ ලේ... මව සහ තරුෂි එක්ව පවනිව නැගිට්ටවන්නට උත්සහ කලද ඇය නැගිටින්නට අපහසු බව කීවාය. වහා තම සාක්කුවෙන් ලේන්සුවක් ගත් රවිනෙත් පවනිගේ තුවාලයේ ලේ සෙමෙන් පිසදමා එය තුවාලයට තබා තද කලේය. අයියෝ දැන් මොකද කරන්නේ... ආන්ටි මම මේ නංගිව බයිසිකලේ දාගෙන ගිහිල්ලා ෂෙරිල් ආන්ටී ලගේ ගෙදරට දාලා එන්නම්. ඔය තුවාලෙට අයිස් ටිකක්වත් තිබ්බෙ නැත්නම් ලේ ගලන එක වැඩිවෙයි..
අවස්තාවට අනුව කලහැකි දෙයක් නොමැතිව අසරණ වූ පවනිගේ මව එයට කැමැත්ත පල කලාය. ඇයි ආන්ටි එහෙම කලේ..අපි ඒ කොල්ලව දන්නෙත් නෑ...කාගේ කවුද කියල. අනේ මන්දා දුව.
මට මොකද්ද අමුත්තක් දැනෙනවා. අර දරුවා මගේ ඔලුවට අත තිබ්බ් ගමන් මොකද්ද උනා වගේ. මට තේරෙන්නෙ නෑ. මොනව ඒ කොල්ල ආන්ටිගේ ඔලුවට අත තිබ්බද. ඔව් දුව. ඒ වෙලාවෙන් පස්සෙ මට තේරෙන්නෙ නෑ. මම කරන්නේ මොනවද කියල.
අපි ඉක්මන් කරල යමු දුව මට දැන් බයක් දැනෙනවා පවනි ගැන. ඔවුන් දෙදෙනා අඩි කිහිපයක් යන්නට මත්තෙන් ඉදිරියට පැමිනියේ රවිනෙත්‍ය. ආන්ටී ඉක්මනට එන්න වෙයි.
පවනිට සිහිය නැති උනා. ෂෙරිල් ආන්ටීලගේ ගෙදරට යන්න කලින් බයිසිකලේදිම. මම ලඟ තියන ගෙදරක පවනිව දාලා ආවේ. ආන්ටි ඉක්මනට මාත් එක්ක එන්න. අනේ මගේ දුවට මොකද්ද උනේ..කොහේද දරුවෝ එයාව නතර කලේ. ඒ ගෙදර කවුද ඉන්නේ එහේ කවුරුත් නෑ. අපේ බාප්පලගෙ ගෙදර. වහලදාලා තියෙන්නේ.
මම පවනිව සෙටියේ හාන්සි කරල වතුර ගැහුවා..ඒත් සිහිය ආවේ නෑ. මම එයාව එතන දාලා ඉක්මනට ආන්ටිව එක්ක යන්න ආවේ..
අයියෝ..එතකොට තරූට මොකද කරන්නේ.. නැවත පවනිගේ මවගේ ඔලුවට අත තබා කතාකල රවිනෙත්, තරුෂිව මග දමා ඔහු සමග යාමට ඇයව කැමති කරගත්තේය.
තරුෂිට කියාගන්නට දෙයක් තිබුනේ නැත. යන්නට පෙර රවිනෙත් තරුෂි දෙස බලා සරදම් ලෙස සිනාසෙන්නට වුවේය. තරූෂි කනත්ත අසල පාලු පාරේ තනිවූ අතර බයිසිකලය ඉදිරියට ඇදී ගියේය.
දුවන්නට සිත් උවත් ඇයගේ දෙපා වෙව්ලීමට පටන් ගෙන ඇත. ඇය අත් දෙකෙන්ම තම දකුණු කකුලේ කලවා තදින් අල්ලා ගත්තාය. එක් පසකින් දිස්වෙන කනත්තේ ඇති සොහොන් කොත් ටිකෙන් ටික උඩට එසැවෙන අයුරු ඈ දුටුවාය.
දෙපා අප්‍රාණික තත්වයට පත්වනු දැනෙන්නට වූයෙන් ඇය කඳුලු පිසදමමින් දුවන්නට සැරසුනාය. කිසිවකුහෝ තමාගේ දකුණු කකුකේ වලලුකර දෙසින් අදින අයුරක් දැනුනෙන් ඈ කෑගැසුවාය.
කෑගැසීම නිසා කකුල මත යෙදුන ග්‍රහණය තරමක් ලිහිල්වූ අතර ඈ කෑගසමින් පාර දිගේ දිවගියාය.
ඉදිරියෙන් කාල වර්ණ බල්ලෙකු පැමිනීම නිසා ඇය ආපසු හැරුණාය. බල්ලා ඇය පසුපස පන්නන්නට විය. ඉදිරියෙන් තවත් කාලවර්ණ බල්ලෙකි. ඇයට කෑගැසීමට උවමනා උනත් කටින් කිසිම හඬක් පිටවූයේ නැත.
ඉදිරියත් පිටුපසත් මාරුවෙන් මාරුවට බැලූ ඇය දුටුවේ ටිකෙන් ටික ඇය දෙසට ලංවන බල්ලන් දෙදෙනායි. උන්ගේ ඇස් දීප්තිමත් කොල පැහැයක් ගත්තේය. හරියටම රවිනෙත් ගේ බ්‍රේස්ලට් එකේ තිබුන දිලියුමම වැනිය.
ඇයගේ වෙව්ලන දෙතොල් වියලී ගොස් ජලය යදින අතරම අප්‍රාණික පාදද තවත් වේදනා ගෙන දෙන්නට විය. කලහැකි දෙයක් නොවීය. ඇය මාරයාගේ කටට පනින්නාක්මෙන් කන්ත්ත දෙසට හැරී එහි වූ කුඩා තාප්පයෙන් කන්ත්ත තුලට පැන්නාය.
එය කෙසේ කලාදැයි කියා ඇයට නිනව්වක් නොතිබිනි. අමුතු ශබ්දයන්ගෙන් දෙසවන් වැසී යන මොහොතක ඇය සොහොන්කොත් අතර ඉබාගාතේ දිවයන්නට වූවාය. අතරින් පතර බිම වැටීම නිසා ඇගේ දණහිස් සීරී පුපුරු ගසන්නට විය.
මෙසේ අඩි දහයක් දොලහක් පමන දිවගිය ඈ සොහොන් කොතක් පිටුපස සැඟවුනාය. බිම වාඩිවී දණහිස් මතට හිස තබාගත් ඈ හඬන්නට වූවත් එමගින් සැලකියයුතු හඬක් පිටවූයේ නැත.
යමකුගේ අඩි ශබ්දයක් ඇයට ඇසෙන්නට වූයෙන් හැඬීම නවත්වා එයට සවන් දෙන්නට වූවාය. ඇගේ හදවත ගැහෙන ශබ්දය ඇයටම ඇසෙන තරමට වේගවත්ව තීව්‍රව ඇත. අඩි ශබ්දය දැන් දැන් පැහැදිලිව ඇසෙන්නට ගනී. ඩා බිඳුවක් නලලේ සිට රූටාගෙන නහය අසලින් ගොස් කම්මුලට එක්වූවේය.
මේ ආකාරයට ඩා බිඳු කිහිපයක් රිසිසේ ඇයගේ මුහුණ මත දඟ දැමුයේ සරදමට මෙනි. සඳ එලිය නිසා මද ආලෝකයක් තිබුනද කාලවර්ණ වළාවක් මගින් සඳ වැසී ගියේය. අඩි ශබ්දයේ වේගය තරමක් අඩුවී ඇති සැටියකි. එය නතර විය.
අඳුර සමග බිම වැටී තිබූ කොලරොඩු අතර සිටි සතෙක් හෝ කිසියම් ජීවියෙක් සර සර හඬ නගමින් දුරකට ඇදී ගියේය. තව දුරත් මුහුණ ඔබාගෙන සිටීමට ශක්තියක් නොමැති ඈ සෙමෙන් මුහුණ එසවූවාය.සොහොන් කොතේ ගල් කනුවට උඩින් කිසියම් දෙයක් කොල පැහැයෙන් දිලිසෙන අයුරු පෙනෙයි. එය අතකින් අල්ලාගෙන සිටින බව පෙනේ. ඇයට එය මතකය. එය රවිනෙත් පැලඳසිටි බ්‍රේස්ලට් එකයි. නමුත් එය අල්ලාගෙන සිටින අත රවිනෙත්ගේ විය නොහැකිය.
එය හැඩිදැඩි අතකි. අත සෙමෙන් සෙමෙන් ගල්කනුවෙන් උඩට ඉස්සෙන්නට වූවේය. තවත් ඒ දෙස බලාසිටීමට නොහැකිවූ තරුෂි නැවත ඔලුව දණහිස් අතර සඟවාගත්තාය. බල්ලකුගේ උඩුබිරීමක් එසැනින් ඇසුනෙනෙ හදවතේ ගැස්ම තවත් වේගවත් වූයේ පිපිරී යාමට ආසන්නව මෙනි. ඇය දිරිය ගෙන කකුලට බරදී සෙමෙන් පිටුපසට හැරුනාය. ඇය දුවන්නට සැරසෙනවාත් සමගම ඇයගේ කකුලක් අල්ලාගත් හැඩිදැඩි අත ඇයව කොල රොඩු මත ඒ දිගේ පිටුපසට ඇද්දේය.
මෙවර තරුෂිගේ කෑගැසීම බල්ලාගේ උඩුබිරීම පරයා යන්නට විය. ඇය හැරී බැලූ කල දුටුවේ කලු පැහැති හැඩිදැඩි මිනිසෙක් කොල දිලිසෙන ඇස් සහිතව දත් විලිස්සාගෙන ඇය දෙස බලාසිටින අයුරුයි. ඇය හැකි වෙර යොදා කෑගැසුවාය.
කොල රොඩු දිගේ ඇදී යන තරුෂී කෑගැසුවාය. සැනෙකින් ග්‍රහණය ලිහිල් වී වලකට වැනි යමකට ඇයව වැටෙන බවක් ඇයට දැනුනි. තරුෂි ඇස් ඇර බලද්දී ඇය සිටින්නේ බාගෙට කපා තිබූ මිනී වලක බව දැනගෙන වහා පස් හූරමින් උඩට නගින්නට වෙර දැරුවාය.
ඇයගේ සිතට දැනුන බියේ තරම ඇයවත් හරිහැටි නොදනී. ඇය පිස්සියක සේ මිනී වලේ හැම දෙසටම දිව යමින් පස් හාරාගෙන උඩට නගින්නට තැත් කලාය. නැවතත් කිසිවකුගේ අඩි ශබ්දය ඇසීම නිසා ඇය කෑගසා තමා බේරා ගන්නා ලෙස පැවසුවාය.
යකෙක් හොල්මනක් හෝ කවරකු හෝ මේ මොහොතේ තමාව බේරාගත්තාට කමක් නැත යන මතයේ ඈ සිටියාය. ඇය දුටුවේ වලට ඉහලින් තමා දෙස බලා සිටිනා රවිනෙත් ය. ඔහු දත් විලිස්සා ඇය දෙස බලා සිනාසුනේ ගොදුරක් ඩැහැගන්නට මාන බලන වෘර්කයෙක් පරිද්දෙනි.
'තරුෂී උඹ පන පිටින් පස් වලට යටවෙන්නයි යන්නේ...ලෑස්ති වෙයන්' රවිනෙත්ගේ ගුගුලේය. එය අසා කැලඹුන තරුෂි නැවත පිස්සියකසේ කෑගසා ජීවිතය යැද්දාය. රවිනෙත් ගේ කොල පැහැති නෙත් වල දිලිසුම ඇතිවන්නට පටන් ගති.
ඔහුගේ අත සවලක් සමග වල දෙසට දිගුවන්නට විය. එහි වූ පස් කැබලිති විසිරෙමින් තරුෂිගේ හිස මතටත් වල තුලටත් වැටුනි. තරූෂිගේ කෑගැසීම වැඩිවිය. ඈ උමතුවෙන් මෙන් පස් ගුලි රැගෙන රවිනාත් දෙසට එල්ල කලේ ඔහුට ශාප කරමිනි.
එයින් ඔහු සැලුනු බවක් නොපෙනුනි. පස් සහිත දෙවැනි තුන්වැනි සවල් පහරත් වල තුලට එල්ල විය. තරූෂි සිහි මුර්ජාවී මිනීවල තුල ඇදවැටුනාය. රවිනාත් ඉක්මන්ව වල පිරවීමේ කාර්‍යයේ නිරතව සිටියේය. තරුෂිගේ පාදයන් සමග ඉනෙන් පහල කොටස සම්පූර්ණයෙන්ම පස් වලින් වැසී ගොසිනි.
මදක් සිහිය ලද ඈ පාදයන් සොලවාගත නොහැකිව දෑත් ඒ මේ අත ගෙනගියාය. නොනැවතී තම සිරුර මතට වැටෙන පස් නිසා ඇතිවන වේදනාව ඇයට දැනෙන්නට විය. තමා බේරාගැනීමට දැන් කිසිවකුටවත් නොහැකිබව තේරුම් ගත් ඈ හඬාවැටුනත් සිරුරේ අප්‍රාණික බව නිසා හඬක් පිටවුනේ නැත.
ඉහලින් පෙනෙන අහස්කුස දෙස බලන්නට හැදුවත් දැන් දැන් බෙල්ල පවා හැරවීමට නොහැකිය. තව ස්වල්ප වේලාවකින් තමා පස් ගොඩට යටවී හුස්ම ගැනීමට නොහැකිවනු ඇත.
කවදාවත් නොවිඳි ඒ බියජනක අත්දැකීම් හමුවේ ඈ වෙව්ලා ගියාය. කඳුලු කැට කම්මුල් දිගේ රෑටන්නේත් නොමැතිව ටිකෙන් ටික බරවී පස් මතටම එක්වෙයි.
ඈ හැකි වෙර යොදා කෑගැසුවේ මරු විකලෙනි. ඈ එක දිගට කෑගැසුවාය. ගෙල අසලටම පිරුනු පස් නිසාවෙන් ඇගේ හඬ ස්වල්ප වේලාවකින් නැවතුනි. යාන්තමින් සෙලවීමක් පස් ගොඩෙන් දුටු රවිනාත් සිනාසෙන්නට වූවේය.
සෙමෙන් ඔබ මොබ ගිය පස් කැටැති වල චලනය නැවතී සන්සුන් වූ බවක් පෙනුනි. තවමත් එලියට නිරාවරණය වී තිබෙන්නේ තරුෂිගේ හිස පමනකි. ඇගේ ඇස් වැසී ගොසිනි. ජයග්‍රාහී ලීලාවෙන් ඇගේ හිසත් වැසෙන්නට පස් දැමූ රවිනාත් සවලද රැගෙන මිනී වලෙන් පිටතට ගියේය.
උඩු බිරීමක් නිසා පරිසරයේ තිබූ නිහඬතාවය බිඳී ගිය අතර ගස් වල අතු සෙලවූයේ ඉකිබිඳීමට නොහැකිව සොවින් තැවෙන පිරිමියෙකු පරිද්දෙනි. දෛවය මොන තරම් කුරිරුද.. පස් වන ශරීරයකට හිමිකම් කියන තරුණියකගේ අවසන් හුස්මත් පස් වලටම මුසු කරන්නට වීම කෙතරම් අභාග්‍යයක්ද... ...........
___________
…………… පැය කිහිපයකට පෙර...
වාසුලයා ඉක්මනට වරෙන්. වැඩේ ගැස්සුනොත් කෙල්ලො දෙන්නයි අම්මගෙයි ජීවිතේ අනතුරේ.. හරි. යමු. ඔක්කොම ලෑස්තියි නේද. ඔව්. මම කියල දුන්න දේවල් හොඳට මතක තියාගනින්. අපිට පැන්ටම්වරු එක්ක හැප්පෙන්න බෑ. අපි කරන්න ඕනේ පුළුවන් තරම් මගහරින එක.
හරි. මට මතකයි. මමත් කවීශත් ගොඩිගමුව කනත්ත වෙත ගියෙමු. ටානියා සහ පවුලේ අයගේ සොහොන්කොත් ඇත්තේ මෙහිය. කවීශ පවසන ආකාරයට පවනී ඇගේ මව සහ තරුෂි මේ කනත්ත පසුකරගෙන යා යුතුමය.
වෙන විලක්පයක් ඔවුනට නොමැත. කෙසේ වුවත් මොවුන්ගේ මේ ගමන අද අනිවාර්යයෙන්ම සිදුවේ. එහිදී ශීලා විසින් තිදෙනාගෙන් කෙනෙකු බිලිගන්නවා නිසැකය.
එය වැලැක්වීම මා සහ කවීශට තිබෙන බරපතලම රාජකාරියයි.
'වාසුලයා මට දැනෙනවා පැන්ටම්වරු මෙ ලඟම ඉන්නවා. අපි ඉක්මනටම උන් ඉන්න සොහොන් කොත හොයාගමු. තාම කලුවර වැටිල නැති නිසා උන්ට ලොකු බලයක් නෑ. හැබැයි හොඳට මතකතියාගනින්...
කලුවරේ උන්ගේ බලය තියනව ..' 'හරි අපි සොහොන හොයාගමු' අප දෙදෙනාට සොහොන සොයාගන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත.
එතැන සොහොන් කොත් තුනකි. එක්වරම එතැනින් මතුවූයේ ශීලා ඇන්ටිය. 'ආ මගෙ කොල්ලො දෙන්න මාව බලන්න ඇවිල්ලා වගේ..කොහොමද උඹලට..'
හොල්මනක් වූවත් මම ඇයට බියවීමි. කවීශද අඩියක් පිටුපසට තැබුවේය. 'කවීශ උඹ දැන් ලෝගන් කෙනෙක්.
ඒත් මට වඩා පහලින් ඉන්නෙ කියල අද දැනගත්තේ නේද ...මාව හොයාගෙන අපේ ගෙදර ආවෙ මගෙන් පලිගන්නද..' මාත් කවීශත් කිසිවත් නොකියා ඇය දෙස බලා සිටියෙමු 'මොකෝ උඹලගෙ කටවල් වැහිලද..'
එක්වරම ඇය දෙඅත් අප දෙසට දික්කලාය. කිසිම එලියක් හෝ නොදුටු නමුත් මාගේ ගෙල සිරවී ඇත. එය ඉවත්කරන්නට කොතෙක් උත්සහ කලත් ඒ බලය ශක්තිමත් ය. මාත් කවීශත් ඈ දෙසට ටිකෙන් ටික ඇදී යනු දැනුනි. දෙපසින් මතුවූ ටානියා සහ ඇගේ පියා අපදෙස බලා සිටියෝය. ටානියාගේ පියා අප දෙසට පැමින මගේත් කවීශගේත් හිස මත ඔහුගේ දෙඅත් තැබුවේය. මට මතක එපමනකි. නැවත පියවි සිහිය ලබනවිට කලුවර ගුහාවක් වැනි යමක් තුල මා සහ කවීශව රඳවා තබා තිබුනි.
අපේ අත් සහ දෙපා වලට කොල පැහැති වලල්ලක් වැනි යමක් දමා තිබුනු අතර එනිසා අපේ අත් පා සෙලවීමට හැකියාවක් තිබුනේ නැත. මද වේලාවකින් ශිලා අප ඉදිරියේ පෙනී සිටියාය.
ඇය තම ඇඟිලි අප දෙසට දිගුකල හැම මොහොතකම මට දැඩි රිදුමක් දැනෙන්නට වූවේය. 'උඹලා ලොකු චණ්ඩි නේද ...ජීවත්වෙලා ඉන්න කාලේ මගෙ බේරෙන්න බැරිවුන උඹලා කොහොමද දැන් මගෙන් බේරෙන්නේ...
අන්න අර කෙල්ලො දෙන්නව අපි අල්ලගත්තා. ඒක නිසා දැන් උඹලගෙන් ඇති වැඩක් නෑ...තව ටිකකින් උඹලට යන්න දෙන්නම්. කවීශ ...උඹට මම දෙන අන්තිම වෝනින් එක. මගේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා. දන්නවනේ මට කරන්න පුළුවන් දේවල් ...'
.................______________………………
ගොඩිගමුව කනත්තේ ගේට්ටුව අසල නැවැත්වූ මෝටර් බයිසිකලයකි. එයින් බැසගත් සිහින් සිරුරැති තරුණයෙකි. ඔහු බයිසිකලයෙන් බැසගත් වහාම සොහොන් දෙසට දිව යන්නට වූවේය. තරුෂි පණ පිටින් මිහිදන්වූ ඒ මිනීවල සොයාගනට ඔහුට වැඩිවේලාවක් ගත නොවීය. වල දෙස බැලූ ඔහු එක්වරම වලේ එක් කෙලවරකට පැන්නේය.
වහ වහා අතින් පස් ඉවත්කල ඔහුට තරුණියගේ හිස අසුවිය. මුහුණ මෑත්කර ඒ අවට පස් ඉවත්කල තරුණයා ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම පස් වලින් ඉවත් කලේය. ඇගේ ශරීරය සීතල වී තිබුනි.
ඇගේ නාසය අසල්ට තම අත්ල තැබූ ඔහු වායු ධාරාවක් අපේක්ෂාවෙන් නොඉවසිල්ලෙන් බලා සිටින්නට වූවේය. කලබල වූ ඔහු වේගයෙන් ඇයගේ සිරුර මත තිබූ පස් තට්ටු ඉවත් කරන්නට වූවේය. විනාඩියක් ගතවන්නට කලියෙන් ඉන දක්වාපාදා ගැනීමට ඔහුට හැකිවිය. අදහස අතහැර නොදැමූ ඔහු ඇගේ සිරුර සම්පූර්ණයෙන්ම ගොඩගෙන උඩුබැලි අතට හැරවූවේය.
ඇගේ අතක යම් සියුම් චලනයක් දුටු ඔහු තම සාක්කුවේ තිබූ කුඩා ලෝහ බෝතලය රැගෙන ජලබිංදු කීපයක් ඇගේ තොල් මතත් මුහුණටත් ඉස්සේය. තරුෂි මදක් මුහුන සොලවා තොල් මතට යොමුවූ ජල බිඳිති මුව තුලට රුවා ගැනීමට මෙන් තොල් සෙමෙන් මෑත් කලාය. තරුණයා තවත් ජල බිඳු කීපයක් මුවට යොමු කලේය.
මද වේලාවකින් තරුෂි කතා කලහැකි තත්වයට පත්වූවාය. නමුත් ඈට එක දිගට කතා කරන්නට අපහසු විය. ඇය බියෙන් මෙන් කියවූයේ කලු බල්ලෙක් සහ සවලක් රැගත් මිනිසෙක් ගැන නොගැලපෙන දේය.
ඇයට අතින් නිහඬවන ලෙස පැවසූ තරුණයා කතා කරන්නට විය.
'තරුෂි බයවෙන්න එපා. මම CID Officer මයුර ..මයුර නිලුපුල්...
ඔයාට දැන් කරදරයක් නැහැ. ඔයාට මේ වලෙන් ගොඩ එන්න මම ලණුවක් අරගෙන එන්නම්. මට වලෙන් උඩට නැගගන්න පුළුවන්. ඔයා බය නැතුව ඔහොමම ඉන්න.' තරුෂි හිස සෙලෙව්වේ කිසිවක් තේරුම් නොගෙන බව ඔහුට වැටහුනේ ඔහු අනික් පසට හැරුනු විට ඈ ඔහුගේ පාදයෙන් අල්ලාගත් නිසාය.
ඇයගෙන් මිදුනු ඔහු වලෙන් ගොඩ ඒමට උත්සහ දැරුවේය. ඇය කෙඳිරි ගාමින් ඔහුව අල්ලාගනට වෙහෙසුනාය. ඇයගෙන් දිස්වූයේ උමතු බවකි. තරුණයාට වුවද වලෙන් ගොඩ ඒම ලෙහෙසි නොවීය.
ඔහු උත්සාහය අතහැරියේ නැත. පස් කඩා වැටීම නිසා උඩට නැගීම පහසු නොවීය. එක්වරම වල උඩින් මතුවූ මිනිස් රුව නිසා තරුණයාද තිගැස්සී ගියේය. 'අයියෙ මොකද්ද වෙලා තියෙන්නේ.
මට වාහන සද්දෙ ඇහිච්ච නිසා බැලුවේ. මේ රෑ කවුද කනත්තේ කියලා...කවුද ඔය වැටිලා ඉන්නේ...මැරිච්ච කෙල්ලෙක්ද..
මොකද්ද මේ වෙන්නේ...මම පොලීසියට කතා කරනවා...' ඔහුගේ හඬ තරමක් රලු එකක් විය. ඒ අන් කිසිවකු නොව රවිනෙත් ය.
'මල්ලී මම පොලිසියේ තමයි. ඉක්මනට මගේ බයික් එක ලඟට ගිහිල්ලා ඒකේ කඹයක් ඇති අරන් වරෙන්...' 'මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ. ඔයා මේ කෙල්ලව මරල මෙතනට ගෙනල්ල දැම්ම නේද ..'
'කෙල්ල මැරිලා නෑ යකෝ...කිව්වහම ඉක්මනට ගිහිල්ලා කඹේ ගෙනෙන්..' එය ඇසුනු රවිනෙත්ගේ දෑස් කෝපයෙන් දිලිසෙන්නට විය. 'එහෙනම උඹත් ඒකිත් එක්කම වලපල්ලට පලයන්'
තාමට කියාගත් රවිනෙත් කනත්තේ දොරටුව දෙසට දුවන්නට විය. මයුරගේ මෝටර් බයිසිකලය වෙත ගිය ඔහු එය තල්ලු කරගෙන මිනීවල දෙසට ගියේය. වල අසලටම ගිය ඔහු මෝටර් බයිසිකලය වල තුලට තල්ලු කලේය. ඉතා අපහසුවෙන් අනපේක්ෂිත සිදුවීමෙන් තරුෂිව බේරාගැනීමට මයුර සමත්විය.
නමුත් ඔහුගේ අත් සහ පාදයන් සිරී ලේ වලින් තෙමුන අතර එක් අතක් සෙලවීමට පවා නොහැකිවිය.
රවිනෙත් නැවත දුව ගියේ පස් දමා ඔවුන් දෙදෙනා වසා දැමීමට සවල රැගෙන ඒම සඳහාය. තව මොහොතකින් සිදුවීමට යනදේ නොදත් මයුර වලෙන් ගොඩ ඒමට උත්සහ දැරීය. මෙවර මෝටර් බයිසිකලය මතට නැගුනු ඔහුට වලෙන් ගොඩ ඒම සඳහා එය උදව්වක් විය.
රවිනෙත් නැවත පැමිනීමට මත්තෙන් ගොඩට පැමිනි මයුර ඔහුගේ පැමිනිම බලාපොරොත්තුවෙන් ලඟ තිබුන ගසක් ලඟ සැගවී බලාසිටියේය. මොහොතකින් ඈත සිට සවලක් අතින් ගෙන දිව එන රවිනෙත්, මයුරගේ දෑසට හසුවිය.
මයුර සතුව ගිනි අවියක් පැවතියත් මේ මොහොතේ එය ක්‍රියාත්මක නොකර තත්වය සමනය කිරිමට ඔහු සිතා ගත්තේය.
මිනී වල අසලට ගිය රවිනෙත්ව පාපහරකින් බිම දැමීම්ට මයුර සමත්විය. සවල උදුරාගත් ඔහු එයින් රවිනෙත් ගේ හිසට පහරක් එල්ල කලේ සිහිනැතිවන අයුරිනි. තම සගයන්ට ඇමතුමක් ලබාගත් මයුර වහා කනත්තට පැමිනෙන ලෙසට ඔවුනට දැනුම් දුන්නේය.
ඔහුගේ එක් අතක් ඔසවා ගැනීමට පවා නොහැකි නිසා තරුෂිව ගොඩ ගැනීමට ඔහුට හැකියාවක් නැත. වල අසලට ගිය ඔහු තම සාක්කුවේ තිබූ කුඩා බෝතලය තරුෂි දෙසට ව්සි කලේය. බෝතලය ඇය අසලට වැටුනත් එය ගන්නට තරම් ශක්තියක් ඈතුල නොවීය.
නමුත් ඉතා අපහසුවෙන් එය කරා අත ගෙනගිය ඈ එය ඇගෙන එහි තිබූ ජලය පානය කලාය. මයුරගේ සගයන් පැමිනි අතර ඔවුන් තරුෂිව ගොඩගත් අතර උමතු ස්වරූපයක් පෙන්වූ තරුෂි පියවි සිහිය ලබමින් සිටියාය.
මයුර ඇය වෙත ගොස් ඇයට කතා කරන්නට වූවේය. ඔහු කියූ කිසිම දෙයක් ඇගේ මනසට ගියේ නැත. මයුරගේ උරහිස් වලට ඉහලින් එක එල්ලේ බලා සිටින බියපත් තරුෂිගේ මුහුණ නිරීක්ෂණය කල මයුර පිටුපස හැරී බැලුවේය. 'අද කවද්ද ' තරුෂි මයුර දෙස නොබලාම ඇසුවාය. 'ජූනි විසි තුන...' 'නෑ ඒක කොහොමත් වෙන්න බෑ...' තරුෂි කෑගැසුවාය. තරුෂි දුටුවේ සොහොන් කොතකි.
උපත : 1991.10.25 විපත : 2020.06.23 එහි සඳහන්ව තිබුනේ ඇයගේ වැඩිමහල් සොයුරාගේ නමයි.
නැහැ ඒක වෙන්න බැහැ...තරුෂි නැවතත් සොහොන් කොත දෙස බැලුවාය. නිතිල වනිගසේකර උපත 1991.10.25 විපත 2020.06.23
අයියා.... නෑ ඒක වෙන්න බෑ... කොහොමටවත් වෙන්න බෑ....
භීතිය ගිලගත් පරිසරයේ නිහඩ බව බිදිමින් තරුෂි වීලාප තැබුවාය.. 'තරුෂි මොකක්ද උනේ ඔයා දැන් ආරක්ෂිතයි ඇයි මේ කෑගහන්නේ..'
මයුර ඇයව සනසාලීමේ අටියෙන් පැවසීය. 'ප්ලීස් මාව ගෙදර එක්කන් යන්න.. අනේ...පවනී, ආන්ටි අනේ ඔයාලා කොහෙද ....අනේ ඉන්න තැනකින් ඉක්මනට එන්නකෝ..
' තරුශි අපහසුවෙන් නැගිටගෙන දුවන්න පටන් ගත්තාය.. 'තරුෂි නවතින්න දුවන්න එපා...'
මයුර තරුෂි පසු පස හබා ගොස් ඇයව ඔහුගේ ග්‍රහනයට නතු කරගත්තේය.
'අනේ මාව ගෙදර එක්කන් යන්න මගේ අයියා දෙයියනේ.. මගේ අයියා.....'
....පැය කිහිපයකට පෙර....
'රවිනෙත් ඔයා මේ කොහෙද මාව එක්කන් යන්නේ....' ' මිස් පවනි මම මේ ෂෙරිල් ආන්ටිලාගේ ගෙදර යන්නේ' ' නෑ නෑ ඔයා මේ යන පාර වෙනස් රවිනෙත්..'
' නැහැ මිස් මේ පාර ලගයි මම මිස්ව ඉක්මනට දාලා ආන්ටිවයි මිස්ගේ යාලුවයි එක්කන් එන්නම්කෝ...'
' මොකක්ද ඒ ජරා ගඳ.. ' රැහැයියන්ගේ ශබ්දයද, ඝන අන්ධකාරයද , පරිසරය පුරා විහිදෙන මැරුණු සතෙකුගේ දුර්ඝන්ධයද, පවනිගේ සිතට බයක් ඇති කල නමුත් ඇයගේ හිත ශක්තිමත්ව තබාගැනීමට ඇය උතසහ කලාය.. ' අර බලන්න අර බල්ලා..උගේ කටින් ලේ බේරෙනවා..ඌ මැරිලා ඒත් පාර පුරා මෙච්චර ලේ කොහෙන්ද....රවිනෙත් මොකද්ද මේ වෙන්නේ...'
' ඌ වාහනේකට හැප්පෙන්න ඇති... ඒක එච්චර දෙයක් නෙමේ. ගනන් ගන්න එපා...'
එක් වරටම මතුවූ සැර සුළඟක් නිසාවෙන් රූස්ස ගසක පහතින් තිබුනු අත්තක් පාර හරහා කඩවැටුනි ...
පවනි ආපසු හැරී බලද්දී රවිනෙත් අතුරුදන්ය... 'රවිනෙත් ඔයා කොහෙද.... මම මේ කොහෙද ඉන්නේ..... අම්මා... තරුෂී....
අනේ අම්මා ඔයාලා කොහෙද.... මොකක් කෝ කෝ මෙතන හිටපු බල්ලා.....'
එක් වරටම පවනිගේ ඔලුවට වතුර බිංදුවක් වැනි යමක් වැටෙනවා ඇයට දැනුනී....
ඇය ඔලුව අතගා අත්ල බලනවිට හද එලියට පැහැදිලිව දැකගත් දෙයින් ඇය භීතියෙන් වෙව්ලා ගියාය. ඈ දුටුවේඇගේ අත්ල මත රතුපාටට තැවරුනු දිලිසෙන රුධිරයයි. ' කවුද තමුසෙ මොනවද ඕනේ මගෙන්.....' පවනි ඇගේ බිය සගවමින් පරිසරය දෙවනත් වනලෙස කෑගැසුවාය...
කැඩුනු හීල්ස් දෙක අතටත් ඇය ආපස්ස්ට දිවයන්නට සැරසුනා පමනි ..... ......දඩාස්....... මැරුණු බල්ලාගේ මල සිරුර ඇය ඉදිරියේ පතිත විය.
එය වැටුනු වේගයට පවනිගේ ඇග පුරාම ලේ විසි විසිවූ අතර සිදුවූ අනපේක්ෂිත සිදුවීමෙන් තැතිගත් ඈ නැවත කෑගැසුවාය... '....අම්මා .....අනේ මාව බේරගන්න...'
සැනෙකින් ඇගේ මතකයට පැමිනුනේ වාසුලයි. '.. වාසුල ...තමුසේ කොහෙද තමුසේ නිසා තමයි මේ හැමදේම මාව බේරගන්නවා.....
වාසුල .... අම්මා...... අනේ අම්මා මට බයයි.....'
'...... හහ්හ හහ් හා.... තමුසේ බේරගන්න කාටවත් බෑ... මම හැමෝවම බිල්ලට ගන්නවා..... මගේ ශක්තිය තවත් වැඩිවෙනවා. තමුසෙව බිල්ලට ගත්තහම......'
ඒ ඇසුනු භයංකාර හඬ නිසා පිටුපස හැරී බැලූ පවනි දුටුවේ තමා මීට පෙර කිදිනකසි නොදුටු දසුනකි.
බිම ඉඳගෙන මැරුනු බල්ලාව කීතූ කීතූ වනලෙස ඉරාගෙන ලේ පෙරාගෙන අමුවෙන් කන හැඩිදැඩි කලු මිනිසෙකි. ඔහු පවනි දෙස බලා වියරු සිනහවක් පෑවේය.
තම හැඩිදැඩි අතකින් බල්ලාගේ ලේ බේරෙන ගාතයක් ඔසවාගෙන වියරු ලෙසින් සිනාසෙන්නට විය. මදකට ඇස් වසාගස් ඇය අප්පිරියාව සහභීතිය මුසූවූ බැල්මකින් නැවත ඒ දෙස බැලුවේ තමාට කුමක් සිදුවේදැයි යන ප්‍රශ්නාර්ථය සහිතවය.
හැඩිදැඩි මිනිසාට පසු පසින් සීටි පුද්ගලයා දැක පවනි විශ්මයට පත්වූවාය. කොලපාට ඇස් කොලපාට බෙල්ට් එක පැලදගත රවිනෙත් ය. 'පවනි අද තමුසෙගේ අන්තිම දවස... ලෑස්ති වෙනවා...' රවිනෙත් පවනි දෙසට පියවර එසැවීය.
කරකියාගත දෙයක් නොමැතිව ඈ බියෙන් කෑගැසුවාය. රවිනෙත් ඇයගේ ගෙල දැඩිව ග්‍රහණය කරගෙන සිරකර ගත්තේය. ඒ සමගම රවිනෙත් ඇයව එසැවූවාය.
පවනිගේ පාද පොලොවෙන් උඩ තියෙන බව ඇයට දැනුනේ ඇය රවිනෙත්ගේ ග්‍රහනයෙන් ගැලවෙන්නට දගලන විටය. ඇයගේ ඇස් එලියට එන්නාක්මෙන් ඇයට දැනුනි. හුස්ම නවතින්නාක් මෙන් දැනෙන්නට එද්දී ඇය අසිහියෙන් මෙන් ඉතිපිසෝ ගාථාව සිහි කලාය.
........ සුලු වේලාවකට පෙර.....
'කවුද ඔතන ඉන්නේ....කවුද ඔය ..මට හරියට පේන්නේ නෑ...'
කොලපාට එලියෙන් දැනුනු වේදනාවත් සමගම කවිශ පැවසීය..
' මම රංගනාත් උඹේ ලෝගන් උඹට මතකයිනේ.... මම උඹේ ලෝගන් උනාට මම පැන්ටම්වරයෙක්...ඒක මම උඹට කියල තිබ්බේ නෑ... මම දැක්කා උඹලව ශීලාගේ ගෝලයෝ මෙතන හිර කරනවා ...
හිටපන් මම උඹලව නිදහස් කරන්නම්..' එක්වරම කොලපාට එලියක් සමග දැනුනු වේදනාවත් සමගම කවීශගේ සහ වාසුලගේ අතේ තිබුනු බේස්ලට් අතුරුදහන් විය... ' ගොඩක් ස්තූතියි රංගනාත් ... අපිට ඉක්මනට යන්න ඕනේ මම හැමදේම පස්සේ පැහැදිලි කරන්නම් දැන් යන්න ඕනේ....'
කවීශ සහ වාසුල ගල්ගුහාවෙන් එලියට පැමින සොහොන් පිට්ටනිය දිගේ ඇවිද යන්නට වුවෝය. 'මචං අර බලපන්... අර වැටිලා ඉන්නේ ශිලාගේ ගොලයෙක් නේද....' 'හත්දෙයියනේ.....කවීශයා, තරුශි නේද බං අර කෑ ගහන්නේ....කවුද එතන ඉන්න කොල්ලෝ දෙන්නා...' 'හරි වාසුලයා මම ඒ ගැන බලන්නම් උබ පවනි ගැන බලපන්... වාසුල ඒ දෙසට දිව ගියේය.
'පවනී.....පවනී....ඇස් අරින්න......පවනී..' පවනී අසිහියෙන් මෙන් ඇය ඇස් ඇරියාය...
ඇය දුටුවේ කඩවසම් තරුණයෙක් ඇයව අල්ලගෙන ඇය ලඟින්ම සිටිනා අයුරුය. තරමක නොසන්සුන්තාවයක් පවනීගෙන් දිස්විය. ඇය ඔහුව තල්ලු කර දැමුවාය. 'කවුද තමුසේ.. මම මේ කොහෙද ඉන්නේ..'
'බය වෙන්න එපා පවනි මම වාසුල....'
' වාසුල ......එත් ඔයා කිව්වේ ඔයා මැරිලා කියලා ඒත් මේ ඔයාට පණ තියෙනවනේ.... තමුසේ බොරු නේද කියන්නේ .. ඇත්ත කියනවා.... ' 'අනේ මේ මම ආවේ තමුසෙව බේරගන්න මෝඩියේ.....
මම කියන එක අහනවා මුලින්ම.... මට ඔයාව හොයාගන්න බැරි උනා ඒත් මම ඔයලගේ කාර් එක පැත්තේ ඉදන් රවිනෙත්ගෙ අමුනුෂය ගදයි මිනිස් ගදයි ආපු පැත්තට ආවා එනකොට තමයි මම මේ පාලු ගේ දැක්කේ ...
දිගටම මම ඒ ගද එක්ක ඇතුලට ආවා එතකොටයි දැක්කේ ඔයා මේ ගේ ඇතුලේ වැටිලා ඉන්නවා...
මම ඔයාට කතා කලා ඒත පස්සේ මතක් උනා ඔයාට මාව ඇහෙන්නෑ කියලා.. මම එලියට ඇවිත් කල්පනා කරද්දි තමයි එහා පැත්තේ පාරේ බයික් එකක් යනවා දැක්කේ.... ඒ ආපු කොල්ලගෙ හිත ශක්තිමත් නෑ මම හරිම ලේසියෙන් උගේ ශරීරෙට ඇතුල් උනා...
මේ උගේ ඇග ඇතුලේ තමයි මම ඉන්නේ .....මට පැයකට වඩා මේ ශරීරේ ඉන්න බැහැ...
එහෙම උනොත් මේ මනුස්සයා මැරෙනවා.. මෙයාගේ මනෝකාය දැන් පරිසරයට නිදසස් වෙලා.... '
'අනේ වාසුල මට මේ දේවල් හීනයක් වගේ... '
'හීනයක් නෙමෙයි මම කිව්වා නේද ගෙදරින් එලියට යන්න එපා කියලා ගෑනු කවද්ද කියන දේ ඇහුවේ..' එය ඇසූ පවනිගේ බිය පහවගොස් ඒ වෙනුවට ගැහැණු ගති මතුවන්නට විය. 'හොල්මනක් එනවද මට උගන්වන්න.... මේ මගෙන් අහගන්නෙ නැතුව ඉන්නවා හොඳඳ. මාව බේරගන්න එන්න මෙච්චර වෙලා ගියේ මොකද...මෙච්චර වෙලා කොහේද හිටියේ...' ඈ නොනවත්වා කියවගෙන ගියාය.
නමුත් එක්වරම කතාව නැවැත්වූ ඇය යම දෙස බලාසිටියාය. 'වාසුල අර අතන.. මොකක්ද ඒ... වාසුල මේ මේ ...මේක ටානියගේ...' හඳ එලියෙන් හැඩවූ ආලෝක ලපයක් වැටී තිබෙන තැනක ඇය දුටුවේ බ්‍රේස්ලට් එකකි.
'මේක ටානියගේ රට හිටපු බෝයි එයගේ බර්ත්ඩේ එකට දුන්නේ ...' 'මොකක්ද පවනි.ඔය ඇත්තමද.... එක මෙතන්ට ආවේ කොහොමද ..ඔයාට කලින් නොකිව්වට මේ ගෙදර මටත් ලොකු හුරුවක් තියෙනවා කොහෙදි හරි මම මේ ගේ දැකලා තියෙනවා වීඩියෝ එකකින් හරි ෆොටෝ එකකින් හරී.. '
'අනේ වාසුල..... මට බයයි...මොකක්ද මේ වෙන්නේ මේක ආවේ කොහොමද මෙතන්ට....' 'පවනි මෙහෙ එනවා යන්න අපි මේ ගැන පස්සේ හොයමු පැන්ටම් කෙනෙක්ට අහු උනොත් අපි ඉවරයි ඒකත් මේ අහිංසක මිනිහගේ ශරීරේ....
මේ බලනව කෙල්ල...' වාසුල පවනි දෙස එක එල්ලේ බලා සිටියේය. 'පුලුවන්නම් කියන දෙයක් අහනවා මීට පස්සෙවත්....පණ්ඩිතකම් නොකර...'
'අනේ මේ ...වාසුල මාව හොයන් ඇවිත් මාව කරදරේ දාලා දැන් එනවද මෙතන කියවන්න.... හොල්මනක් එක්ක මම මෙහෙම ඉන්නවා කියලා දැනගත්තොත් මිනිස්සූ මට පිස්සු කියයි..'..
'පණ්ඩිත කෙල්ල...උඹේ කටනම් අඩු වෙන්නෑ එනවා යන්න...' වාසුල පවනිගේ අතින් අල්ලාගෙන එලියට පැමින කවීශ සිටි දෙසට යන්නට විය...
එසේ ඇවිද යද්දීද දෙදෙනා එකෙනෙකා දෙස බලමින් මුහුණු වෙනස් කරමින් කරන කතා බහට අනුව ඔවුන් වාද කරන බව සිතාගන්නට අපහසු නැත. වංගුවක් හැරුනු පසු ඔවුන් එක්වරම දුටුවේ පාර ඇයිනේ වෙව්ලමින් සිටින පවනිගේ ම වයි දෙදෙනා වහාම ඇය දෙසට දිව ගියෝය.
'අම්මේ අම්මේ... අනේ මොකද මේ ඔයාට උනේ....ඔයා හොඳින් නේද' 'අනේ දූ අපි මේ කොහෙද ඉන්නේ..' ' අම්මා බය වෙන්න එපා මම ඉන්නවනේ දැන් එන්න යමු....'
'
........ පැය කිහිපය අතරතුර....
'තරුෂි නවතිනවා ....' ඔවුන් දෙස බලාසිටින්නේ කෝපය ඉහවහා ගිය රවිනෙත් ය. 'මොකක් මිනිහට සිහිය ඇවිත් ...ඔෆිසර්ස් මේ මිනිහා භයානකයි ඉක්මනටම අපි මෙතනින් පැනගන්න ඕනෙ... ' තරුශි මොනම හේතුවකටවත් මගේ අත අත අරින්න එපා....' මයුර කෑගැසීය.
මොවුන් මග දුරක් යනවිට ඇසුනේ මරු විකලෙන් කෑගසනා මිනිසෙකුගේ හඬයි. මුලින් එය හරිහැටි පැහැදිලි නොවූවත් පසුව පැහැදිලිව ඇසෙන්නට විය. 'මාව බේරගන්න...මූ අමුතු සතෙක්..'
මයුර සහ තරුශි පිටුපස හැරී බලන විට දුටුවෙ මයුරගේ සහයක නිලාධාරියෙක් රවිනෙත්ගේ ග්‍රහණයට අසූ වී ඇති ආකරයයි... 'ඒයි අතෑරපන් ...' මයුරගේ කෑගැසීම හමුවේ රවිනෙත් දත් විලිස්සාගෙන නිලධාරියාගේ ගෙල මිරිකන්නට වූවේය.
' එපා...........හ්...... ' රවිනෙත් වියරු සිනාවත් සමග ඔහු නිලාදාරියගේ ගෙල පසාරු කර එයින් එලියට පනිනා ලේ තම මුහ්නට අලාගෙන සතුටින් කෑගැසුවේය. පසුව නැවත උගුරේ තව තැනක් පසාරුකල ඔහු ලේ උරා බීවේය.... 'ඔව් මම දැන් ශක්තිමත්....' රවිනෙත් කෑගැසුවේය. තරුශි සහ මයුර බලා සිටියදීම රවිනෙත් වියරුවෙන් මෙන්... සහයක නිලාධාරියව කෑදර කමින් සපා කෑවේය. මයුර තම ගිනි අවිය ක්‍රියාත්මක කලේය. උණ්ඩ කිහිපයක් රවිනෙත්ගේ සිරුර පසාරු කරගෙන ගියේය. එයින් ලේ ගලන්නට වූවත් එයින් වූයේ තත්වය තවත් බරපතල වීම පමනි. 'තව බිල්ලක් මම අරගෙන ඉවරයි..
හහ් හහ් හා ......අදට උබලා බේරෙන්නේ මයුර උබගේ ඔය කරේ තියෙන සුරේ නිසා... නැත්තම් උබලත් අද ඉවරයි.... ඊට පස්සෙ මම ගන්නේ පවනිව....
ඒකි වගේ හිත හයිය එකියක් බිලි වෙනවා කියන්නේ පැන්ටම් කෙනෙක්ගේ බලේ තව වැඩි වෙනවා.. උබලා දෙන්නවම මම ගන්නවා... හහ් හහ් හා........' රවිනෙත් වියරුවෙන් සිනාසෙමින් අමු අමුවේ නිලාධාරියාගේ ශරීරය රස විදිමින් සිටියේය.
'සර් මට කලන්තෙයි වගේ ගෙදර එක්කන් යන්න මාව තරුශී වියරුවෙන් මෙන් කිවාය.' තරුෂි ගේ ජීවිතය අනතුරේ දැමීමට නොහැකි කල තම අනෙක් නිලධාරීන් රවිනෙත් මෙල්ල කිරීමට යවා ඔහු තරුෂිව රැගෙන ඉක්මනින් ඉවතට ගියේය.
වාසුලය උබ මොනවද මේ මිනිහෙක්ගේ ඇගේ කරන්නේ ... වරෙන් ඉක්මනට කියන්න දෙයක් තියෙනවා... ශිලාගෙ ගෝලය බිල්ලක් ගත්ත කතාවක් කියනවා... එත් කාවද... කෙල්ලෝ දෙන්නා දැනට සේෆ්... අම්මත් ඉන්නවා... ' 'ඔහොම ඉදපන්..කවීශ. මම පවනිට කියලා එන්නම් පවනි ...නැන්දා.. මම යන්න ඕනේ මම මේ පවනි කරදරෙක ඉන්නවා දැකලා උදව් කරන්න ආවේ .....' පවනිගේ මව ඉදිරියේ සත්‍ය පවසන්නට නොහැකි නිසා එසේ බොරුවක් පැවසූ වාසුල, මිනිස් ශරීරයට ඇතුල් උන තැනටම දිව ගියේය. ...
...................... 'තරූ තරූ නැගිටින්න... ' 'අනේ ඔෆ්සර් ඔයාට ගොඩක් ස්තූතියි ..මාව බේරගත්තට....' තරුෂි, පවනි සහ ඇගේ මව එකට එකතුකරගන්නට මයුරගේ සගයන් සමත්වී තිබුනි. 'අන්න කැබ් එක ආවා ..ඔයාලා මේකෙ ආරක්ශිත යි අපි ගෙදර යමු...
හෙට උදේ පොලීසියට එන්න කට උත්තරයක් දෙන්න. අපිදවස පුරාම පොලිස්ආරක්ෂාව දෙනවා. බය වෙන්න එපා.' මයුර පැවසීය. පොලිස් නිලධාරීන් දස දෙනෙක් පමණ පැමිණ ඇත... 'සර්.. ඔෆිසර් ගයාන් ගේ බොඩි එකට කිසිම හානියක් වෙලා නෑනේ පොඩි සීරිමක් තියෙනවා බෙල්ල ලගට ...එච්චරයි ....අපි දැන් බොඩි එක පෝස්ට්මෝටම් කරන්න ගෙනියනවා.... '
'මොකක් ඒක එහෙම උනේ කොහොමද ....' මයුර තමාට කියාගත්තේය. ඒ අමුතු මිනිසා තම නිලධාරීයාගේ උගුරු දණ්ඩ පසාරු කරනවා තම ඇස් දෙකටම දුටු මයුරට එය සිතාගත නොහැකිවිය. සහයක නිලාධාරියාගේ ශරීරය රස විදිමින් හිටපු රවිනෙත්ව ඔහුගේ මනසෙහි හොල්මන් කරන්නට වූවේය..
මයුරගේ හිතට කවදාවත් නැති බියක් දැනෙමින් තිබුනි.. 'හිතනවට වඩා මේ කේස් එක විසදන එක අමාරුයි..' ඔහු සිතුවේය.. ........
'පවනි මට ගෙදර යන්න ඕනේ අපේ අයියා ......රවිනෙත් මිනි මස් කනවා...' තරුෂි පිස්සියෙක මෙන් දොඩවන්නේ ඒ වදන් පෙලය.. ස්වල්ප වේලාවකට පසු පොලිස් කැබ් රියෙන් මයුර සහ පිරිස් තරුෂිගේ නිවසට පැමිනියෝය....
තරුශිගේ ගෙදර අය නින්දට ගොස් සිටි අතර කැබ් රියෙන් බැසගත් තරුෂි දොර දෙසට දිවගියාය... 'අම්මා දොර අරින්න.... තරුශි පිස්සියෙක් මෙන් කෑ ගැසූවේය...' ඉතා ඉක්මනින් දොර විවෘත වූයේ තරුෂි ගේ කෑගැසීම නිසාමය. 'දූ මොකද මේ ... පොලීසියෙන්... පවනී දූ මොකද මේ ඔයලට තුවාල වෙලා... මූලු ඇඟේම මඩ මොකද උනේ.. ඇක්සිඩන්ට් එකක් උනාද....' තරුශිගේ මවත් පියත් බියෙන් තැතිගත්තේය.... කිසිවක් නොකිව් තරුශී දිව ගියේ සොහොයුරාගේ කාමරයටයි.....
ඇය පසු පස පවනිද දිව ගියේය.... ... 'අයියා... අයියා... අනේ මගේ අයියා.... ' තරුශිගේ මර ලතෝනියට ඒ දෙසට පොලියෙන්ද තරුශිගේ මවද පියාද පවනිගේ මවද දිව ආවේය.... ඔවුන් දුටුවේ පිස්සෙක් මෙන් කිසිවක් කතා කර ගැනිමට නොහැකිව වැටී සීටි පවනිත්.. සිහිසුන්ව වැටී සිටි තරුශිවත් ය......
ඒ අසලම අන් අයට නොපෙනෙන දෙදෙනෙක් රැඳී සිටියෝය. 'මේ මොකක්ද කවීශ අපි කලේ.....
අපි මොකක්ද මේ කෙල්ලෝ දෙන්නට කලේ ...' තරුශිගේ සහ පවනිගේ පිටුපසින් පැමිණි වාසුල සහ කවීශ කම්පා උනේ කිසිවක් සිතා ගැනීමට නොහැකිවය. තරුශිගේ අයියාට කුමක් සිදුවුනේද....
Written by Amali Wasundara Athukorala
තේනුක සිය පළමු පත්වීම ලැබූයේ දුෂ්කර ප්‍රදේශයක පාසැලකටය. සංගීත ගුරුවරයෙකු ලෙස කුඩා පාසැලක වුවද සේවය කිරීමට ලැබීම ගැන තේනුක මහත් උද්දාමයට පත් වුවත් තේනුකගේ පෙම්වතිය ඒ පිළිබඳව සිටියේ කණස්සල්ලෙනි.
"ඕවගෙ ගිහින් ඔයාට මාව අමතක වෙයි තේනු" "ඔයාට පිස්සුද සුමී. අවුරුද්දක් දෙකක් කොහොමත් දුෂ්කර ඉන්න වෙනවනෙ. අනික මම හැම සන්ති අන්තෙම එනවනෙ කොළඹ"
සුමීරා කොහොමත් කුඩා දේටත් බිය වන්නියක් වන බව තේනුක දැන සිටියේය. වැඩ බාර ගන්නට පෙර දන්නා අඳුනන කට්ටඩියකු ලවා තේනුක ට යන්ත්‍රයක් දැමීමට ඇයට අවැසි වූයේ තේනුක ට ඉදිරි කාලයේ ඒරාශ්ඨකයක් ගෙවී යන බවට ඔහුගේ කේන්ද්‍රයේ සඳහන් ව තිබූ නිසාය.
තේනුක උදෙසා රන් ආලේපිත යන්ත්‍රයක් රුපියල් පහළොස් දාහකට පමණ මිලදී ගත්තේ ඇගේම මුදලිනි. තේනුක වැඩ බාර ගත් පසුව සුමීරා සති අන්තය වන තෙක් සිටියේ ඇඟිලි ගනිමින්ය.
හදිසියේ පාසලේ වැඩ කටයුත්තක් හේතුවෙන් එක් සති අන්තයක් මග හැරී ගියහොත් ඈ ඒ දින දෙක ගෙවූයේ හැඬූ කඳුලෙන් ය. සිසුන් එකසිය පනහක් පමණ ඉගෙනුම ලැබූ වරාපතන විද්‍යාලය ටික දිනකින්ම තේනුකගේ සිත ඇදගත්තේය.
පෙර සංගීත ගුරුවරයකු නොසිටි විද්‍යාලයේ සිසුහු නව ගුරුවරයා වටා ඉතා ඉක්මනින් බැඳුණෝය. තේනුක නැවතී සිටියේ එහි ග්‍රාම සේවක නිලධාරියාට අයත් නිවසේ පසෙක පිහිටි කාමරයකය. දිවා ආහාරයත් රාත්‍රී ආහාරයත් ග්‍රාම සේවක මහතාගේ නිවසෙන් ලබා ගන්නා තේනුක උදේ ආහාරය පාසැල කිට්ටුව ඇති මුදාගේ කඩෙන් ලබා ගනී.
ඔහු බොහෝ විට කඩය අසල නතර වී එහි ලී බංකුව මත ටික වේලාවක් රැඳෙමින් ගම්මුන් හා කතාබහේ යෙදී සිටියි. සියල්ලෝම ඉතා කුළුපගව ඔහු හා සල්ලාපයේ යෙදුණු අතර ඒ අතරින් ඉඳහිටක දකින් එක්තරා පුද්ගලයෙකු පමණක් තේනුක දෙස බැලීමක් වත් නොකර කඩෙන් පත්තර කොළයක එතූ පාන් බාගයක් රැගෙන ආපසු යයි.
"ඒ කවුද මුදලාලි?" තේනුක දිනක් කඩේ මුදලාලි විමසුවේ ඔහුගේ ස්වරූපයේ ඇති අද්භූත ස්වභාවය නිසාවෙන්මය. "ඔය සයිමා මහත්තයො. ටිකක් ඔලුවෙ අවුලක් තියෙන මිනිහෙක්. ඉන්නෙත් අර ගල්පොත්ත පැත්තට වෙන්න.
අපෙ අප්පලගෙ කාලෙ උන්දැගෙ මහඑවුන්ට යමක් කමක් තිබිල තියෙනව. දැන් පාළුවට ගිහින් ඒ ගෙවල්" "ඒ කිව්වෙ ග්‍රාම සේවක මහත්තයගෙ ගෙවල් පැත්තට යන පාරෙද?"
"ඔව්. මහත්තයා අර ටික දුරක් යද්දි තියෙන්නෙ ගරා වැටිච්ච වගේ ටිකක් ලොකු ගෙයක්. වත්ත පුරාම මහ ගස් උන්දැලගෙ." තමා එන මගදී දුටු ගරා වැටුණු පාළු නිවස තේනුකට සැණෙකින් සිහිපත් වූයේ දින කිහිපයකට පෙර එහි දී දුටු යුවතිය නිසාවෙනි.
ඇත් දළ පැහැති සමකින්ද කැරලි ගැසුණු දිගු කෙස් වැටියකින්ද යුක්ත වූ ඇය දෙස දෙවරක් හැරී බලන්නට තරම් අපූර්ව සුන්දරත්වයක් තිබිණි. සවස් වරුවේ දරුවන් උදෙසා පවත්වන ඉංග්‍රීසි පන්තිය අවසානයේ සිහින් පොද වැස්සක් කඩා හැලෙමින් තිබිණි. සංගීතයට අමතරව ඉංග්‍රීසි ටිකක් පොඩි උන්ට උගන්වන ලෙස විදුහල්පතිතුමා තේනුකගෙන් කළ ඉල්ලීම අහක දැමීමට ඔහුට හිත නොදුන්නේ මේ අහිංසක ගැමියන්ගේ ජීවන තත්වය දැකීම නිසාවෙන්මය.
දෙවැට දිගේ තමා සමඟම එන දරු දැරියන් දහ දොළොස් දෙනා සිය නිවෙස් කරා යන තැන් තේනුකට දැන් මතකය. ඔහු අඩියට දෙකට බෝඩිම කරා දිව ගියේ වැස්සෙන් බේරීමට කිසිවක් ළග නොමැති නිසාවෙනි. මාර්ගයේ මැද හරියට වන්නට සයිමාගේ නිවස පසු වෙන කොටස වෙද්දී වර්ෂාව එතරම් ඇඟට නොදැනෙන්නේ පාර දෙපස ඇති උස් ගස් පෙළ නිසාවෙනි.
තේනුක මදක් හැරී නිවස දෙස බැලූයේ මුදලාලිගේ කතාව සිහිවීමනෙි. එක්වරම ඇල්බීසියා කෝටු සිටවා ඇති වැට ළඟ සිට තමා දෙස බලා සිටින තරුණිය දුටු තේනුක තිගැස්සී නැවතුණේය.
"වහිනව නේද?" ඈ විමසුවේ තමාගෙන් බව පසක් කර ගන්නට ඔහුට තත්පර කිහිපයක් ගත විය. "ඒකනෙ" තේනුක අපහසුවෙන් හඬ පිට කර ගත්තේය. "ගෙට ඇවිත් යනවද?" තේනුක කෙළ පිඩක් ගිලගෙන සිනාසුණේය.
"කමක් නෑ. මම ඉක්මනට යන්නම්. දැන් ළඟයිනෙ" තරුණිය නැවතත් සිනාසුණේය. තේනුක පෙරට වඩා වේගයෙන් නිවස වෙත දිවගියේ සිතිවිලි දාමයක පැටළෙමිනි.
"අපරාදෙ, කතා කරපු වෙලාවෙ යන්නයි තිබුණෙ." ඔහුට සිතුණේ ඇඳුම් මාරු කර ඇඳෙහි ඇලවී කල්පනාවේ සිටියදීය. හදිසියේ සුමීරා සිහි වූ ඔහුගේ සිත ලැජ්ජා සහගත සිතිවිල්ලකින් වෙලී ගියේය.
"ඕව කරදර. අනික අර මිනිහ හිටිය නම් ගුටිත් කන්න වෙන්නෙ." තේනුක තමාට ම සිනාසුණේය. ඉන්පසුව එළැඹි දින දෙක තුනකම තේනුක සයිමාගේ නිවස ඉදිරිපසින් යද්දී හොරැහින් එදෙස විපරම් කළද තරුණිය දැක ගන්නට නොහැකි විය.
ඒ එක දිනකදී පමණක් සයිමා බුලත් මඩිස්සලයක් අවුස්සමින් තේනුක එනු දැක හිස ඔසවා ඔහු දෙස බලා රැවූයේය.
තේනුකට වඩා උස් මහත් වූ සිරුරකින් හෙබි සයිමා කලකට පෙර කට්ටඩියකුව සිටි බව එක් ගැමියෙකු පවසනු ඔහුට සිහිවූයේ නිතැතිනි. එකෙණෙහිම තේනුකගේ ජංගම දුරකථනය හැඬවෙන්නට වූයෙන් ඔහු එය කණ තබාගෙනම ඉක්මන් අඩි තබා එතැන පසුකරගෙන ගියේය.
සෙනසුරාදා දිනය එළඹුනත් එදින කොළඹ යාමට තේනුකට ඔතෑනි ගතියක් දැනෙන්නට වූයෙන් ඔහු දුරකථනයෙන් සුමීරා අමතා හදිසි වැඩ වගයක් හේතුවෙන් එදින පැමිණීමට නොහැකි බව දන්වා සිටියේය. දීර්ඝ කෙඳිරිගෑමකින් පසුව සුමීරා ඊට එකඟ වූවාය.
තේනුක උදය වරුවේ සුුපුරුදු පරිදි කඩය වෙත ගොස් ආප්ප කෑවේය. තරුණයන් කිහිප දෙනෙකු සමඟ දාම් අතක් සෙල්ලම් කළේය. ටික වේලාවකින් ඒ හැමෙකින්ම සෑහීමට පත්ව නාගැනීමට වත්ත පහළ පිං ළිඳට යන අටියෙන් නිවස කරා ගමන් කළේය.
සයිමන් අප්පු සිය නිවසේ කඩුල්ල අසළ රැඳී තමා දෙස බලා සිටිනු දුටු තේනුක සිය ගමන් වේගය තරමක් අඩාල කොට ඔහුගේ ගිලුණු රත්පැහැ දෑස් දෙස මුල් වරට සෘජුව බැලුවේය.
"අද නම් පායනව නේද ලොකු උන්නැහැ?" "මහත්තය. තමුසෙට මේ පළවෙනි වගේම අන්තිම අවවාදය දෙන්නෙ. මම නොකීවා කියල කියන්නෙපා" තේනුක කිසිවක්ම නොපවසා ඉක්මන් ගමනින් නිවසට පැමිණ අඳුරු කොට ගත් මුහුණින් යුතුව කාමරයට වැද ඇඳෙහි අසුන් ගත්තේය.
"චිහ්. අපරාදෙ මං මුකුත් අහන්නෙ නැතිව ආවෙ. මිනිහ මොනව ගැනද ඒ කිව්වෙ." තේනුක ඇඳට වැටී දෑස් පියා ගත්තේය.
සවස නැඟිට හදිසියේ ලක ලැහැස්ති වූ තේනුක රාත්‍රී බසය අල්ලාගෙන කොළඹ ගියේය. වැඩ කටයුතු හමාර වූ බැවින් ද ඇය බලන්නට උවමනා වූ බැවින්ද තමා පැමිණි බව ද ඔහු සුමීරාට පැවසුවේය.
සඳුදා පාන්දරින් කොළඹින් පැමිණියද මග දිගට පැවති අධික වර්ෂාව නිසා නියමිත වේලාවට පාසැලට පැමිණිමට තේනුකට නොහැකි වූයෙන් ඔහු මුදාගේ කඩයට ගොඩවී උණුවේ ප්ලේන්ටියක් බීවේය. ගමට වූ එකම බසය නවත්තන්නේ මුදාගේ කඩය පේන මානයේය. බසය පිරිස බැස්සවූ බසයේ රියැදුරාද නැවත කිහිප දෙනෙකු ගොඩවන තෙක් සිටින්නේද කඩයේමය.
"අර සයිමා නේද සරමක් ඇඳගෙන බස් එකට නගින්න යන්නෙ?" ළඟ සිටි කිසිවෙක් අසනු ඇසී තේනුක ද ඉස්සී ඒ දෙසට දෑස් යැවුවේය. "අම්මප. ඕකා අමුඩ ලේන්සුවට වඩා ඇඳුමකින් දැක්කමද කොහෙද" ඒ මුදා ය. "ඒ කාලෙ මිනිහ නිතර ඇන්දෙ ඔහොම තමයි. කාලෙකට කලින් කොහෙද මන්ද නිධානයක් හාරන්න ගිහින් වැරදිලා ඕකා කතා කරගන්න බැරුව හිටිය මාස ගාණක්. පස්සෙ තමයි ඔය කට්ටඩි වැඩ වලට යන එක නැවැත්තුවෙ"
"ඒ කොයි කාලෙද මාමෙ?" තේනුක විමසුවේ විස්තරය පැවසූ මහල්ලා දෙස බලාගෙනය. "දැන් අවුරුදු විස්සකට විතර කලින් වෙන්ටැ මහත්තයො. ඔහොම හිටියට ඕකා මටත් වඩා වැඩිමාළුයි." වැස්ස මදක් තුරල් වනවාත් සමඟම කඩපිලෙහි එක්ව උන් පිරිස එකා දෙන්නා බැගින් පිටව ගියෝය.
පෙරදා රාත්‍රිය පුරා කඩා වැටුණු වැස්සෙන් මඩගොහොරුවක් බවට පත්ව තිබුණු ගුරු පාර දිගේ තේනුක ගමන් කළේ එහාට මෙහාට පනිමිනි. සයිමාගේ නිවස සහිත මං තීරුව වෙනදාටත් වඩා අඳුරු ස්වභාවයක් ගත්තේ තෙත බරිතව තිබූ විශාල ගස් පෙළ මග දෙපස වසාගෙන සිටි බැවිනි. මද අස්වැසිල්ලක් ලබා දී තිබූ වැස්ස නැවතත් තරමක් රළු වන්නට පටන් ගැනුනේ මේ මොහොතේය.
තෙමි තෙමී ඉදිරියටම යනවා හැර විකල්පයක් නොවුනෙන් තේනුක අතවූ හතරැස් බෑගය හිසට තබාගෙනම වේගයෙන් ඇවිදින්නට වූවේය. එකවරම ඔහුගේ දෑස් නැවතුණේ සයිමාගේ නිවසෙහි කඩුල්ල අසලමය. සයිමාගේ දියණියක විය හැකි මේ තරුණිය මහ වැස්සේ තෙමෙමින් ඔහු දෙස බලා සිටියාය. "වැස්ස අඩුවෙන එකක් නෑ"
ඈ පැවසුවේ හෙමින් වුවද තේනුකට එය ඉතා පැහැදිළිව ඇසුණි. වැසි බිඳු ඇගේ නළල දිගේ රූරා කොපුල් මතින් පහළට වැටෙමින් තිබිණි. "එන්න ගෙට. මම විතරයි ඉන්නෙ අද." තේනුක දෙවරක් නොසිතා කඩුල්ලෙහි වූ උණ බම්බුව ඉවත් කොට වත්තට ඇතුළු වී ඈ පසුපස නිවසට ඇතුළු විය.
සිමෙන්ති කැඩී ගිය පඩි දෙකකින් ගොඩවී සාලයට ගොඩ වුණු පසුව පළු දෙකකින් යුතු ඉදිරිපස දොර විවෘත කළ ඇය ගෙතුළට යනු දුටු තේනුක නැවතී ආපසු හැරී බලා නැවත ගෙතුළට ගියෙ මද තිගැස්මක්ද සමඟිනි.
ගෙතුළ වූ අඳුරු පැහැති බව මැකී ගියේ තරුණිය විසින් දල්වන ලද පැරණි ලාම්පුවකිනි. ලාම්පුව අතින් ගත් ඈ තේනුක දෙස බලා සිනාසුණේය.
ඇගේ කොපුල් ලාම්පු එළියෙන් දිළිසෙන්නට විය. තේනුක අසල වූ වියන් ඇඳ මත අසුන් ගත්තේ ඇරයුමකින් තොරවමය. තරුණිය ලාම්පුව අතැතිවම ඔහු දෙසට සෙමෙන් ඇවිද ආවාය. අසල කුඩා කනප්පුවක් මත එය තබා ඔහුට ළංවුණාය.
තෙත බරිතව තිබූ ඔහුගේ කමිසයේ උඩු බොත්තම ඉවත් කරනවාත් සමඟම යටි ගිරියෙන් මහා හඬක් නගමින් ඈ කෑ ගසන හඬ තේනුකට ඇසුණේ සිහිනයෙන් මෙනි. දෑස් හරින විට ඔහු සිටියේ ගමට ආසන්නයේම රෝහලේ ඇඳක් මතය. ඔහුගේ හිස වෙලා තිබූ වෙලුම් පටි අතගාමින් ඔහු එහා මෙහා බලන්නට උත්සාහ කළේය.
"තේනුක.. අනේ තේනුක. මාව ඇහෙනවද?" "සුමි... සුමීරා. ඔයා.. මම කොහෙද?" තේනුක අපහසුවෙන් ඇසූයේ සිදුව ඇති දෙය ගැනි කිසිදු අවබෝධයක් නොමැති වීම නිසාවෙනි.
"ඔයා ලෙඩාව කතා කරවන්න එපා. මිස් ඔයාට ඩොක්ටර් පොඩ්ඩක් එන්න කිව්ව." හෙදිය කීවෙන් සුමීරා තේනුකගේ අත අතහැර වෛද්‍යවරයාගේ කුටිය වෙත ගියාය. ඈ පිටවෙත්ම විදුහල්පතිතුමාත් ග්‍රාමසේවක මහතාත් එතැනට පැමිණ තේනුක අසල සිට ගත්තෝය.
"එදා මහත්තය වැස්සෙම කඩේ ඉඳල අපෙ ගෙවල් පැත්තට ගිය බව මුදා කිව්ව. පස්සෙ හවස තමයි දැක්කෙ සයිමන් අප්පුලගෙ පිල උඩ වැටිල ඉන්නව" තේනුකට සිදු වූ දෙය යාන්තමය සිහිපත් වෙමින් පැවතිණි.
"ඒ හරියෙදි වැස්ස වැඩි වුණ නිසා මං ඒ ගෙදර වහළ යටට ගියෙ" ඔහුගේ හඬෙහි රළු ගතියක් විය. "තේනුක සර්ට ගමේ කවුරු හරි කියන්නැති කියල මං කිව්වෙ නැත්තෙ. ඒ ගෙදර අමනුස්ස බැල්මක් තියෙනව කියල හැමෝම කියනව. සමහරු නම් ගෑණු ළමයෙකුත් දැකල තියෙනව. සයිමන් ගොයිය නිධානයක් ගන්න බිලි දුන්න කෙනෙක්ගෙ අවතාරයක් කියලත් කතා වෙනව සමහරු.
මහත්තයගෙ කරේ සුරයක් තියෙනව නේද? " විදුහල්පතිතුමා පවසද්දී තේනුක සෙමෙන් දෑස පියා ගත්තේය.
හොල්මන් කියන්නේ හිතලුවක්ද? Are ghosts just echoes of our imagination.
Real Ghost Encounters: Watch real people share their terrifying ghostly experiences.
Written by Chathuri Nisansala
සුන්දර හපුතලේ කඳුකර මාර්ග ඔස්සේ මෝටර් රථය ඉදිරියට ඇදෙද්දී මාගේ දෑස් හපුතලයේ සිහිලස මුසු අලංකාරය වෙත ඇලී තිබුණි. උසස් අධ්‍යාපනය සදහා යුරෝපයේ සුන්දරම භූමි භාගයක් වූ ස්විස්ටර්ලන්තය වෙත ගිය මම වසර හතරක් ඉගෙනීම සඳහා වැයකොට තිබුණි.
තවත් වසරක් රැකියාවකට ගතකළ මම අනෙක් වසර තුන එහි පුරවැසියෙක් ලෙස ගෙවා දැමූයේ එහිදී විවාහ වූ බැවිනි. කෙසේ නමුත් එහි ගෙවූ වසර අටකට පසු උවද බොහෝ කලකට පසු දුටු උපන් බිම වඩාත් සුන්දර බවක් මට සිතුනි.
කඳුකරයේ ගුප්ත අඳුර මුසු අලංකාරය මත දැහැන්ගතව, එය දෑසින් උරාගනිමින් සිටියදි මගේ අවධානය බිඳුනේ උකුල මත ගුලිව තිබූ, දෑත මත දැණුනු උණුසුම් ස්පර්ශයකිනි. එයින් යලි පියවි ලොවට පැමිණි මම මුව මත උපන් සිනහවකින් යුතුව ඔහු දෙස බැලීමි.
දකුණත රථයේ සුක්කානමෙහි වූ අතර ඔහුගේ දෑස් නුහුරු මාර්ගය මතය. එනමුදු නිදහස් වමතින් රැගත් මගේ දකුණත ඔහුගේ දෙතොලට ගෙනයද්දී මුවෙහි දඟකාර සිනහවකි.
"හේයි" මගේ මුදු තරවටුව හමුවේ තවත් හාදුවක් හස්තය මත තැබූ ඔහු මගේ හස්තය යලිත් මා උකුල මතම තැබීය.
"ගුඩ් බෝ..." වෙනදා නැති තැන්පත් භාවය කෙරෙහි ප්‍රශංසා කරන්නට මුව හැරියා පමණි, හදිසි හාදුවක් දෙතොල් මත තබා ඔහු පසෙකට වූයේ ඇසිපිය ගසන සැනෙකිනි.
නමුත් ඒ කාලය තුළ රථය ගැස්සී යනුද, සැනෙන් ඔහු රථය පාලනය කරගනුද දුටු මම තිගැස්සුනෙමි. එහෙයින් නොසිතාම මම ඔහුගේ ළය මතට මුදු පහරක් එල්ල කලෙමි.
"අවුච් බේබී" තවමත් නොමැකි කෙලිලොල් සිනහව මුවේ රඳවාගෙනම ඔහු තම ළය මත අත තබාගෙන පෑ රංගනය නොතකාම මම ඔහුට තවත් පහරක් එල්ල කලෙමි. "යූ ඊඩියට්, මැරෙන්නද හදන්නෙ? පාර බලාගෙන ඩ්‍රයිව් කරනව" "ඕ සොරි සොරි බේබි.
බට් කාන්ට් හෙල්ප්, යු ආ සච් අ ඩිස්ට්‍රෑක්ෂන්. මගෙ අවධානය ඔයා දිහාට එන්නෙ ඉබේම " ආකර්ශනීය බටහිර උච්චාරණයකින් යුතුව ඔහු පවසද්දී මගේ මුවෙහිද සිනහවක් නැගිනි. ඔහුගේ කන් පෙත්තෙන් අල්ලා යන්තමින් ඇදි මම යලිත් රථයෙහි කවුලුවෙන් පිටත පෙනෙන සුන්දර කඳුපන්තීන් වෙත නෙත් යොමු කළෙමි.
රථයෙහි ඕඩියෝ ප්ලේයරය තුළින් ඇසුණු සෞම්‍ය රිද්මයක් ගත් ඉංග්‍රීසි ගීතයද, සුන්දර පරිසරයද එකට කැටිව නැංවූ සුසංයෝගය යලිත් මා දැහැනකට කැඳවන ලදී. තවත් අඩහෝරාවකට පමණ පසු, ගූගල් සිතියමෙහි ගමනාන්තය ආසන්න බවක් දක්වමින් තිබුණි. රථය ගමන් කරමින් තිබූ මාර්ගයට වම්පසින් එතරම්ම තියුණු නොවූ බෑවුමක් වූ අතර රථයට දකුණු පසින් වූයේ එතරම් ශීඝ්‍ර නොවූ කඳු නැග්මකි.
"තව දුරද බේබි?" ඔහුගේ හඬේ පෙර නොතිබුණු නොයිවසිල්ලකි. "මං හිතන්නෙ අපි කිට්ටුවටම ඇවිත්" ඔහුට එසේ කියනා දුරකථනයට නෙත් යොමුකළ මම, මගේ සොහොයුරිය විසින් දින කිහිපයකට පෙර එවන ලද ඡායාරූප යලිත් බැලීමි. එය කඳු නැග්මක පිහිටි සම බිමක වූ හූරුබුහුටි චාම් නිවසකි. එහි වූ භූමි ලක්ෂණ බෙහෙවින්ම අප ගමන් කරමින් සිටි පෙදෙසට සම වීය.
"මං හිතන්නෙ බේබි අපි කිට්ටුවටම ඇවිත්. බලන්නකො දකුණු පැත්තෙන් උඩට පාරක් ඇති" මා කියා අවසන් වන්නට පෙරම රථයේ තිරිංග තදවනු දැනුනෙන් මම හිස ඔසවා ඔහු දෙස බැලීමි. "ඕහ් අපි ඇවිත්... ද?" නමුත් ඔහුගේ දෑස් ඉහළට නැගුණු මාර්ගය දෙසට නොව ඊට ඉදිරියෙන් වූ පෙදෙසකට යොමුව තිබෙණු දුටු මමද ඒ දෙසට නෙත් යොමු කළෙමි. එම බිම් කඩෙහි පිවිසුම ඉහළ නැගි විසල් ශෛලමය ස්ථම්භ දෙකකින් හා මුදුණත සෙල් කැටයම් ඇති තවත් සෙල් පියස්සාවකින් යාවූ පැරණි ස්වරූපයක් ගත්තක් විය. ඒ හා බැඳී කලකට පෙර තිබෙන්නට ඇති විසල් පවුර කාලයාගේ ඇවෑමෙන් මුලුමනින්ම බිමට පෙරලී තිබුණේ එහි ආධාරක ගල් කණු පමණක් ඉතිරි කරමිනි. ඉහළට නැගී තිබූ ශෛලමය ආරුක්කු පිවිසුමෙහි සෙල් කණු යුග්මයෙහි බැඳී සුළඟේ ලෙල දෙමින් තිබූ දුර්වර්ණ සුදු පැහැයක් ගත් අවමංගල කොඩිය බොහෝ කාලයක් එහි තිබෙන්නට ඇති බවක් කියා පෑවේය.
තරමක් වල් බිහිව තිබූ එම සුවිසල් බිම්කඩ ඉහළට විහිද තිබුණේ එතරම් තියුණු නොවූ කඳු නැග්මක් ලෙසිනි. අක්කර ගණනාවක් වන්නට ඇතැයි සිතිය හැකි එහි පිවිසුමට අක්කර දෙකක් පමණ ඉහළින් පිහිටා තිබූයේ පිවිසුම මෙන්ම ගලින් තැනූ සුවිසල් දෙමහල් නිවසකි.නිවසකටත් වඩා එය වලව්වක ස්වරූපයක් ඉසිලූ බව කීම නිවැරදි විය. නඩත්තුව උදෙසා එතරම් උත්සාහයක් මෑත කාලීනව දරා නොතිබූ බවක් ඈතක සිට ම උව කිව හැකි අයුරින් එහි අරක්ගෙන තිබූයේ අඳුරුබවකි.
කෙසේ උව කෙවින්ගේ නෙත් ඇස්පිය සැලීමක් හෝ නොමැතිව එදෙසට ඇලී තිබියදී මගේ නෙත් යොමුව තිබූයේ එම ඉඩමෙහි මාවත ආසන්නයේම වූ මිනිසුන් කිහිපදෙනෙකු වෙතය. එහි වූ ලඳු කැලය තලා දමා පාදාගත් ඉඩක උදලු යොදාගනිමින් දෙදෙනෙකු පොළොව කොටමින් සිටි අතර අලවංගු රැගත් තවත් දෙදෙනෙකු ඒ දෙස බලමින්ද, කලබලයෙන් මෙන් වටපිටාව දෙස යලි යලිත් බලමින්ද සිටිනු දුටුයෙන් මා හද උපන්නේ සැකයකි. "කිසිවෙකු නොවූ පාළු බිම්කඩක මොවුන් නීතිවිරෝධී කටයුත්තක් කරනවාවත්ද?" එනමුත් මාර්ගයට ආසන්නයේම හොඳ හැටි පෙනෙන පෙදෙසක එවන්නක් සිදුකරනු ඇත්තැදැයි යන පැනය යලිත් සිතට නැගුණෙන් එම සිතුවිලි පලවාහැරි මම, තවදුරටත් ඈත පෙනෙන පැරණි නිවස දෙස යොමුකරගත් නෙතින් හුන්, කෙවින්ගේ උරහිස මත අත තැබීමි. එකෙනෙහිම තිගැස්සුණු ඔහු මොහොතකට මා දෙස බලා උන්නේ හිස් දෑසකිනි.
"හේයි කෙවින්. අපි යන්. උඩට" ඔහුගේ කොපුල මුදුව ස්පර්ශ කොට මා පැවසූ පසු ඔහු පියවි බවට පැමිණි ලෙසකි. "හහ්? ආ... ඕ ලෙට්ස් ගෝ. ෆොර මෝමන්ට් අයි ගොට් ඩිස්ට්‍රෑක්ටඩ්. මෙහෙ හරි ලස්සනයි, අමුතුයි" "මම කිව්වෙ, ඔයා මෙහෙට කැමතිවෙයි කියල. අපි යමු උඩට. අක්කල බලන් ඇති" මුව නැගි සිනහවක් සමගින්ම රථය ඉදිරියට ගත් කෙවින් දඟර මාර්ගය ඔස්සේ රථය ඉදිරියට ගෙන ගියේය. එම මාර්ගය කෙලවර වූයේ එතරම් විශාල නොවූ කුඩා, නමුත් අලංකාර ලෙස සුදු හුණු පිරියම් කොට තිබූ නිවසක් සහිත කුඩා සමතලා බිම්කඩකි.
ඉන් අනතුරුව යලිත් කඳු නැග්මකි. රථය කුඩා ඉඩකඩෙහි නවතද්දී නිවසේ සිට පිටතට පැනගත් අවුරුදු කුඩා දැරියන් දෙදෙනෙක් රථය දෙසට ආවේ උද්‍යෝගීමත්ව කෑගසමිනි. "ඕහ්, ඔන්න පුංචි වසවර්තියො දෙන්නා" එලෙස පවසද්දී කෙවින්ගේ මුව සිනහවකි. රථයේ දොර හැරගෙන පිටතට පිවිසි ඔහු පිටුපස දොර හැරගෙන එහි වූ පාර්සල් පිටතට ගනිද්දී, දැරියන් දෙදෙනා විත් මගේ අතේ එල්ලුනේ තරඟයට මෙනි. මා සැබැවින් දුටුවේ පළමු වරට උව ජංගම දුරකථනය හරහා මා දැක තිබූ ඔවුන් හට කිසිඳු සබකෝලයක් හෝ නුහුරු බවක් නොතිබූ ලෙසකි.
"පුංචි ඇවිල්ලා, පුංචි ඇවිල්ලා, පුංචි ඇවිල්ලා...." අවුරුදු ලැබුවා මෙන් සතුටකින් කුඩාවුන් දෙදෙනා කෑගසද්දී සිනහවකින් මුව පුරවාගෙන ගෙයි දොරින් පිටතට ආ මගේ සොහොයුරිය දැරියන් දෙදෙනාගේම කන්පෙතිවලින් යන්තමින් ඇද සිහින් තරවටුවක් කළාය. "දුවන්නයි කිව්වෙ වදකාරයො දෙන්නටම. පුංචිට හුස්මක් කටක්වත් ගන්න ඉඩ දෙනවල" ඒ අතරවාරයෙහි කෙවින් දෙසට බැල්මක් හෙලා යලිත් මදෙස බලද්දී ඇගේ නෙතෙහි ප්‍රශ්නාර්ථයකි. "මොකෝ?" මා ඇසූයේ එහෙයිනි. "මස්සිනාට සිංහල කතාකරන්න බෑ නේද?" ඇගේ පැනය නිසාවෙන් මටත් පෙර සිනහවක් ඇඳුනේ කෙවින්ගේ වතෙහිය. "චුට්ටක් විතර පුලුවන්" පිළිතුරුද ඔහුගෙනි. මවිත ස්වරූපයකින් දෑස් විසල් කරගත් මාගේ සොහොයුරිය ඊළඟ මොහොතෙහි කෙවින් හට විසල් සිනහවකින් සංග්‍රහ කළාය. "චුට්ටක් නෙමෙයි ඔය හොඳට කතා කරන්නෙ. යං යං දෙන්නම ඇතුලට"
******************************************** ආ ගිය තොරතුරු කතා කරමින්, තොරතෝංචියක් නොමැතිව දොඩවනා කුඩා උන් දෙදෙනෙකු හා ගැවසෙමින් හා මගේ සොහොයුරිය අප වෙනුවෙන්ම විශේෂයෙන් සකසා තිබූ නානාප්‍රකාර ආහාර භුක්ති විඳිමින් දවස ගෙවා දැමූ කෙවින් සහ මම ඉර බැසගෙන යන යාමයේ නිවසෙහි කුඩා මිදුලට පිවිසුනේ සිසිලස මුසු සැඳෑ පරිසරයෙහි සුන්දරත්වය දැකගනු රිසියෙනි. බැසයන හිරුගේ අවසන් රැස් දහරාවන්ගෙන් අලංකෘත වූ සැදෑ අහසෙ අලංකාරය දුටුවනම කෙවින්ගේ දෑස් පැහැරගත් ලෙසකි. "වාව් සුවී, මෙහෙ හරිම ලස්සනයි" මගේ හිස මත හාදුවක් තබමින් කී ඔහු සිහිල් සුළඟෙන් ළය පුරවා හුස්මක් ඇදගත්තේය.
"ලස්සනයි, මල් සුවඳයි, සීතලයි" "අපි හෙටත් මහන්සි ඇරල අනිද්ද ම ඇවිදින්න යමු. අක්කා කිව්වා මේ පැත්තෙ බලන්න තැන් ගොඩක් තියනව කියල. ලෝන්ග් වැකේශන් එකක් තියන නිසා කලබලයකුත් නෑනෙ"
"ම්ම්ම්... ඒක හොඳයි. එතකම්, මට පුලුවන් මේ ලස්සන එන්ජෝයි කරන්න" සවන අසලින් ම ඇසෙද්දී, හිස හරවා නොබලාම මට පිටුපසින් උන් කෙවින් හට නොරිදෙන්නට පහරක් ගැසූයේ ඔහුගේ හඬේ වූ කෙළිලොල්බව වැටහුණු නිසාවෙනි. "යූ නෝටි...." නමුත් කියන්නට ගිය දෙය අවසන් කරන්නටත් පෙර ඔහුගෙන් දෙතොල් මත ලද හාදුවකි. ඔහු සතු මෙම දඟකාර නමුත් ප්‍රේමාන්විත හැසිරීම් රටාවට හුරුව උන් මම කිසිත් නොකියාම ඔහුගේ ළයට තුරුල් උනෙමි.
"ලව් යූ සුවී" "හ්ම්ම්... ලව් යූ මෝ බේබි"
තවත් මොහොතක් එම ප්‍රේමාන්විත පරිසරයෙහි තුරුලුව හිරු දෙස බලා උන් අපි දෙදෙන අනතුරුව මගේ සොයුරියගේ නිවස වූ බිම්කඩ පුරා සිටුවා තිබු සුන්දර මෙන්ම සුවඳවත් මල් දෙස බලමින් නිවස වටා ඇවිද ගියෙමු. "වාව්, ලුක් ඇට් දිස්, නැචුරල් වෝටර් සෝස් එකක්නේ?" නිවස පිටුපස සිට නැගි කඳු නැග්මෙන් පහළට ගලාවිත් එහි යොදන ලද පීල්ලක් හරහා මීටර එකහමාරක් පමණ වූ කුඩා කොන්ක්‍රීට් තටාකයකට ඇදහැලෙන උල්පත් ජල දහරාවක් දුටු කෙවින්ගේ නෙත් දිදුලමින් තිබුණි. තටාකය තුළට ඇදහැලෙන ජලය තුළට අත දැමූ ඔහු මොහොතකට වෙව්ලූයේ ජලයේ වූ සිසිලස නිසා වන්නට ඇත. "ඕ...හ්. සීතලයි.... මට මේකෙන් නාන්න ඕන දැන්" ඔහුගේ කුඩා දරුවෙකුගේ වන් සිතුවිලි ක්‍රියාත්මකව ඇති සැටියකි. වයස අවුරුදු 29ක් පමණ උවද විටක ඔහුගේ හැසිරීම කුඩා දරුවෙකු මෙනි.
"හේයි නෝ. මේ වෙලාවෙ හීතල වැඩී. හෙට නාමු" මොහොතකට බුම්මාගත් ඔහු යලිත් තටාකය තුළ වූ ජලය සමග සෙල්ලම් කරද්දී අඳුරු වැටෙමින් තිබූ පරිසරය තුළ මම තනිව සැරුවෙමි. නමුත් කුමක්දෝ නොදන්නා ආකර්ශනයකින් මෙන් පළමුව නෙත්ද, අනතුරුව දෙපාද නිරායාසයෙන්ම ආසන්න අනෙක් බිම් කඩ දෙසට යොමුවද්දී මම නොදැනීම එහි වූ කම්බි වැට අසල සිටගෙන සිටියෙමි. යාබද ඉඩම වල්බිහිව තිබූ නමුත් ඉඩම මද්‍යයෙහි තිබූ දෙමහල් නිවස උදා කාලයේ මෙන්ම මා නෙත් අලවාගති. විස්තර කරන්නට නොදන්නා කුමක්දෝ උවමනාවකින් ඒ දෙස බලා උන් මට එම වැටට උඩින් පැන නිවස දෙසට ඇවිද යන්නට උපන් ආසාව මගේ සිත තුළ යලි යලිත් නැගෙමින් තිබුණි. එම සිතුවිල්ලෙන් ම මම එම වැට මතින් අත තැබීමි.
අන්දකාරය ගලමින් තිබූ පරිසරය තුළ එම නිවස ගුප්‍ත ආමන්ත්‍රණයකි. නමුත් හදිසියේම දෙකොපුල මත තැවරුණු සීත ජලය මා අවධානය බිඳලීය. "ආ...හ්.... කෙවී....න් ඩෝන්ට්. යූ නෝටී...." සිනහ පාමින් දිවගිය ඔහු තම දෑත් යලිත් සීත ජල තටාකය තුළට ඔබද්දී මම වහා එතැනින් ඉවත්ව එහි වූ කුඩා අඩි පාරක් ඔස්සේ කඳු නැග්ම වෙත දිව ගියෙමි. ජල දෝතක් රැගෙන යම් දුරක් මා ලුහුබැඳි කෙවින් අවසන උත්සාහය අතහැර දමා යලිත් තටාකයේ ජලය සමග තනිව ක්‍රීඩා කරද්දී මා තවත් කඳු මුදුන වෙත පියවරක් ඉහළට නැගුනේ කඳුකර සිසිලස විඳිමිනි.
මුලුමනින්ම පාහේ නිහඬ පරිසරය තුළ කෙවින් තටාකයේ ජලය කළඹවන හඬ හා උල්පත් ජලය පහළට ගලන හඬ පමණක් ඇසේ. ගස් කොළන් සෙලවෙන හඬක් හො නොමැති වන්නට පරිසරය නිශ්චල වූයේ එහි හමා ගිය මද සුළඟක් හෝ නොවූයෙනි. නමුත් හදිසියේම දැණුනු දැඩි සීතලකින් මම වෙව්ලා ගියෙමි. කුමක්දෝ විස්තර කරන්නට නොදන්නා ගුප්ත හැඟීමක් ගතෙහි හිරිගඩු නංවාලීය.
ළය හරහා දෑත් බැඳගත් මම නොසන්සුන්බවකින් යුතුව අඳුරු පරිසරය සිසාරා බැලුවෙමි. ඇසට නොපෙනෙන නමුත් එහි කුමක් අද්භූත හෝ අන්තරයාක් ඇතැයි යන හැඟීම මා දෙපා එහිම මුල් ඇද්දවීය.
"සුවී....." උච්ච ස්වරයෙන් පහතින් නැගුණු සොයුරියගේ හඬ සවන් හරහා ගොස් මා තිගස්වද්දී, මම වහ වහා බෑවුම බසින්නට පටන්ගතිමි. "මේ කලුවරේ කැලෑව අස්සෙ රිංගන්නෙ තමුසෙට පිස්සුද? මෙන්න මෙහෙ ගෙට එනව" නිවසෙහි පිටුපස දොරෙන් එබී බලා උන්, සොහොයුරියගේ හඬෙහි අහේතුක කෝපයක් තැවරී තිබූ අතර කෙවින්ටද එය වැටහුණු බවක් ඔහුගේ විසල්ව තිබූ දෑස කියාපෑවේය. නමුත් කිසිත් නොකියා ඔහුගේ අතගත් මම පිටුපස දොරින් නිවස තුළට පිවිසුනෙමි. "ආයෙ එහෙම යන්නෙ නෑ ඉර බැහැගෙන එද්දි ඔය මූකලාන් අස්සෙ රිංගන්න. ඕවගෙ මොක්කු ඉන්නවද දන්නෙ නෑ" ඇය මගේ මුහුණ දෙස නොබලාම පවසා නිවසෙහි දොර අගුලු දමා ආලින්දය දෙසට පියනගද්දී කෙවින් ප්‍රශ්නාර්ථයක් නෙත රඳවාගෙන මා දෙස බලා සිටියේය. ඔහුට මම මද සිනහවකින් සංග්‍රහ කළෙමි.
"හවස් වෙද්දි කැලෑවෙ සත්තු ඉඳියත් පේන්නෙ නෑනෙ. ඒකයි ඔය" ඔහුගේ කුහුල නිවන්නට එසේ කී නමුත් සොයුරියගේ හදිසි කෝපය මට තව දුරටත් ප්‍රෙහෙලිකාවක්ම විය. රැයෙහි කුඩාඋන් මෙන්ම කෙවින්ද නින්දට වැටී උන් වේලාවේ තව දුරටත් මුළුතැන්ගෙයි වෙහෙසෙන මගේ සොයුරිය වෙත මම ඇවිද ගියෙමි.
"අක්කේ.... මොකෝ තාම ඇහැරගෙන?" "ආහ්, නංගි. මම මේ හෙට උදේ කෑමට තෝසෙ ටිකක් හදන්න පිටි ලෑස්ති කළා. මස්සිනා පොඩ්ඩත් කැමති ඇතිනෙ ලංකාවෙ කෑම කන්න" "හ්ම්ම්. එයා හරි ආසයි. ඉඳල හිටල මට කියල හදවගන්නව"
"අෆ්ෆේ.... අපේ පොඩි එකී දැන් කෑමත් හදනවද?" "අනේ මේ... මං පොඩි නෑ දැන්. මට අවුරුදු 29ක්" "ඒකත් ඇත්ත. මොන පොඩිද" උපහාසය මුසුව කී සොහොයුරිය තරමක උස් හඬින් සිනහවක් පෑ නමුත් කුඩාවුන් අවදි වේයැයි වහා මුව වසාගත්තාය. "මස්සිනා ආස දේවල් තියනව නම් අහල කියන්න.
මම හදල දෙන්නම්" "මං අහල බලන්නම්" "ඒක නෙමෙයි, මේ අවුරුද්දට බැඳල අවුරුදු තුනකුත් වෙනව නේද?" "හ්ම්ම්ම්" "නැද්ද දරුවෙක් මල්ලෙක් එහෙම හදාගන්න අදහසක්?" සොහොයුරියගේ පැනය හමුවේ මුහුණ රතුවනු දැනුනද මම එය නොතකා හැරීමි. "එහෙමට හදිසියක් නෑ අපිට. තාම අපි දෙන්නටම 29යිනෙ. තව කල් තියනව" "කල් තියනව කිය කිය නාකි වෙනකම් හිටපල්ලකො දෙන්නත් එක්ක" ඇගේ වදන් මා මුවට ගෙන ආවේ සිනහවකි.
මොහොතක නිහැඬියාවක් තුළ ඇය තම කටයුත්තෙහි නිරත වෙනු මම බලා සිටියෙමි. නමුත් සවස වූ සිදුවීම පිළිබඳ විමසන්නට මගේ මුව පොපියමින් තිබුණි. "මොකෝ?" සොයුරිය මදෙස නොබලා ම නමුත් විමසූයේ මගේ සිතුවිලි දැණුනා මෙනි. "ඇයි උඩහට යන්නෙපා කිව්වෙ? ඉර බැස්සට පස්සෙ?" යලිත් බැනුම් අසන්නට වේයැයි සිතුනද මම විමසුවෙමි. කරමින් සිටි කාර්‍යය මොහොතකට නවතාලූ නමුත් සොයුරිය එලෙසින් ම ගල්ගැසී මොහොතක් නිහඬව උන්නාය. යලිත් ඇය තම කාර්‍යය ඇරඹූයේ මා දෙසට බැල්මක් හෝ නොහෙලමිනි.
"ඉර බැස්සයින් පස්සෙ කරක්ගහන්න හොඳ පැත්තක් නෙමෙයි මේක. ඇහැට නොදැක්කට නොහිතන දේවල් ඕන තරම් තියනව. මේක විපුලගෙ මහගෙදර නොවෙන්න අපිත් මේවා විකුණල ගිහින් ගොඩක් කල්. ඒක නිසා.... ආයෙ කලුවරේ ඕවයෙ රිංගන්න යන්න එපා. මස්සිනාට යන්න දෙන්නත් එපා" එලෙස කියූ ඇය තවත් කිසිත් නොකියාම ඉවත බලාගත්තෙන් තවත් කිසිත් නොකියන බව වටහාගත් මම එතැනින් නික්මී අපට වෙන්වූ කුටිය වෙත පියනැගීමි. ඒ යද්දී සයනයේ ගුලිගැසී උන් කෙවින් සුව නින්දකය. ඔහු අවදි නොකරම සයනයට ගොඩ වූ මම ඔහුගේ පසෙකින් පොරෝනාව තුළ ගුලි වුනෙමි.
******************************************** උදෑසනම අවදිවන්නට සිතා සිටි නමුත් කෙවින් සහ මම අවදි වද්දී උදෑසන දහයයි තිහත් පසුවී තිබුණි. සොහොයුරිය සකසා තිබූ තෝසෙ සහ සාම්බාරු හොදිද, කොච්චි සම්බෝලයෙන්ද හොඳ හැටි බඩපුරවාගත් මම සුන්දර පරිසරයෙහි සිසිලස විඳිනු වස් මොහොතකට නිවසින් පිටතට බැසීමි. නමුත් කෙවින්ට ඔහුගේ රැකියාවට අදාල ඊමේල් පණිවුඩ කිහිපයක් යැවීමට තිබුණෙන් ඔහු තවත් වේලාවක් නිවස තුළ ම ගත කළේය. කුඩා උන් දෙදෙනාද පාසල් ගොස් තිබුණෙන් සමාගමයට කෙනෙකු නොවූ නිසාම හුදෙකලාව අලසකමින් උන් මම තනිවම නිවස වටා වූ ගස් කොළන් දෙස බලමින් ඇවිද ගියෙමි. කෙසේ උවද අනවැසි, අද්භූත දේ කෙරෙහි මිනිස් සිතෙහි ඇතිවන භයානක ආකර්ශනය නිසාවෙන්ම මිනිත්තු කිහිපයක් ගතවද්දී මම සොයුරියගේ නිවසේ පිටුපස වූ කඳුගැටය නගිමින් සිටියෙමි.
පෙරදා රැයෙහි දැණුනු සිරුරෙහි හිරිගඩු නංවන අමුතු හැඟීම නොවූයෙන් තවත් දිරි වඩාගත් මම තව තවත් කඳු මුදුන දෙසට ඇවිද යද්දී මගේ නෙත් යාබද ඉඩම වෙත නිතැතින්ම යොමුවිනි. මා සිටි ස්ථානයේ සිට අක්කරයක් පමණ ඈතින් දිස්වූ එහි වූ නිවස ඉර දිලෙන උදෑසන උව කලු පැහැ සෙවනැලි දරා සිටින වගක් මට හැඟිනි. පෙර නොදැනුණු නමුත් යලිත් දැනෙන්නට වූ ගත සීතල කළ, ලොමුදැහැගන්වන හැඟීම සමගින් මම කාන්දමක් ලෙසින් වැට මායිම දෙසට ඇවිද ගියෙමි.
පෙර දින එහි යන්නට උපන් උවමනාව කෙවින් නිසාවෙන් නතර උවද බාධා කරන්නට කිසිත් නොවූ ඒ මොහොතෙහි එහි ඇතුල්වන්නට තැනක් සොයමින් වැට අයින අසලින් ම තවත් ඉහළට ඇවිද ගිය මම එහි වූ එක් බිඳීගිය තැනක් සොයාගතිමි. මොහොතකට දෙගිඩියාවෙන් සිටි නමුත් තවත් තප්පර කිහිපයකදී මම ඒ ගුප්ත අභිරහස් බිම්කඩෙහි වීමි. ඉදිරියට තබන පියවරක් පාසා තැතිගැන්මක්, කුස තුළින් නැගෙන ගිනිගන්නා වැනි හැඟීමක්ද, සවන තුළ ම මෙන් ඇසෙන හද ගැහෙන හඬද සමගින් මම ඇවිද ගියෙමි.
ඒ නිවස මගේ කුහුල නිවාගැන්මට මා කැඳවන ලෙසකි. ඒ මොහොතෙහි මම එය දුටුවෙමි. එය පිහිටා තිබුනේ නිවසේ සිට අක්කර භාගයක් පමණ පිටුපසට වන්නට කඳු මුදුන දෙසිනි. එම වත්තෙහි පිවිසුමෙහි වූ ලෙසින් ම විසල් සෙල් කණු මත සෙල් පියස්සාවක් ආරුක්කු පිවිසුමකි. ඇතැම් විට එය එහි පිටුපස මායිම වන්නට ඇත.
වඩාත් කුහුලින් යුතුව ඒ දෙස ඇවිද ගිය මම එම සෙල් පිවිසුම මැද සිටගතිමි. පෙනෙන නිවස දුක්බරය. ජරාජීර්නවන්නට පටන්ගෙන තිබුණි. කලක් විභූතිමත්ව තිබෙන්නට ඇති නමුත් දැන් වත්මනෙහි ශෝකී අඳුරකට නතුවෙමින් තිබුණි. මම සිතිවිල්ලෙහි ගිලෙමින් සිටිනා අතර හදිසි සීතලක් කොඳුඇට පෙළ හරහා ගමන් කරද්දී මම වෙව්ලා ගියෙමි. සවන අසලම කවුදෝ කුපිතව කොඳුරණු ඇසුණි. කී දේ පැහැදිලි නොමැති මුත් මම බියෙන් සැලී ගියෙමි. ඒ අතරවාරයෙහි ඉබේම මෙන් ඉඩමෙහි ඉදිරි පිවිසුම වෙත මා දෑස් යොමුවද්දී මම ඔවුන්ව දුටුවෙමි.
තාරුණ්‍යයෙහි ජීවය උතුරණ වයසක සිටින ඔවුන් පෙනුමින් බොහෝමත් කඩවසම්ය. නමුත් ඒ සුන්දර අවිහිංසක මුහුණු මත, දෑස් තුළ වදනින් විස්තර කළ නොහැකි මරණීය ශෝකයක සෙවනැලිය. ඔවුන් සයදෙනෙකි. බිඳ වැටුණු පවුරෙහි පාදම මත පිවිසුමෙහි එක පසෙක තිදෙනා බැගින් සිටගෙන වලව්ව දෙස බළා සිටි ඔවුන්ගේ අසරණ සුදුමැලි මුහුණු ඉඩමෙහි අනෙක් කෙළවර සිටි මට එතරම් පැහැදිලිව දුටුවේ කෙසේදැයි මම නොදනිමි. නමුත් මම ඔවුන්ව දුටු බව නම් සහතිකවම දනිමි. ඔවුන් තවමත් එලෙසම බලා හිඳී.
තවමත් කන අසලම නැගෙන කෝපී මිමිණුම් තවත් තීව්‍ර වද්දී මට ජීවිතාශාව දැණුනි. එහෙයින් පිටුපස ලුහුබැඳ එන අද්භූත හැඟීම සමගින්ම මම හැකි වේගයෙන් වැට මායිම දෙසට දිව ගියෙමි. අවසන මම පැහැදිලි මනසකින් යුතුව හුස්මක් ගනිද්දී මම සොහොයුරියගේ නිවස පිටුපස තටාකය අසල වීමි. එයින් ගත් සිහිල් දිය දෝතකින් දහඩිය ගලන වත දොවාගත් මම නිවසෙහි ඉදිරිපස මිදුල දෙසට පියනැගුවෙමි.
ඒ වෙද්දී කෙවින් පමණක් නොව මගේ සොහොයුරියද එහි විය. කෙසේ නමුත් මගේ වත දුටු සොහොයුරිය කුමක් හෝ වටහාගත්තා විය යුතුය. ඇය මා වෙත හෙලූයේ කෝපය සහ භීතිය යන දෙකම සම්මිශ්‍රිත බැල්මකි. නමුත් මා පැමිණි වගක් හෝ නොදත් කෙවින් පහත කඳු පාවුල කුමක් හෝ දෙස බලා සිටී.
"මොනවද බලන්නෙ?" චංචල වී තිබූ සිත වෙනතක යවාගන්නට මෙන්ම, සොහොයුරිය බනින්නට සිතා සිටී නම එය වලකා ගැනීමට සිතමින් මම වහා කෙවින් අමටා ඇසීමී. මා දුටු, අත්විඳි දෙයක් වේ නම් එය මොවුන් දෙදෙනාට කීමට මෙය කාලය නොවේ. "ඕ සුවී,කොහෙද ගියෙ ඔයා? ලුක්, එහෙ මරණයක්. එයාලා ඩෙඩ් බොඩී එක බරී කරන්න හදන්නෙ" කෙවින් කි විට යන්තමින් වෙව්ලා ගිය මම ඔහු අසලට ගියෙමි.
ඔහු කී ලෙසම යාබද ඉඩමෙහි සිටි කීප දෙනෙක් විසින් ඉඩමෙහි මාවතට ආසන්න සීමාවෙහිම වූ වලක් තුළට මිනී පෙට්ටියක් පහත් කරමින් තිබුණි. එය පෙර දින අප එද්දී මිනිස්සුන් සිව්දෙනෙකු විසින් සාරමින් සිටි වලම විය. නොදන්නා හේතුවකට මම යලිත් වෙව්ලා හියෙමි. වලව් වත්තක් තුළ වල දමන්නට නම් ඒ පිටස්තරයෙකුගේ සිරුරක් විය නොහේ. එපමණක් නොවේ එහි වූයේ යන්තමින් මිනිසුන් සය දෙනෙකි. ඒ පිළිබඳ අසන්නට මම මුව විවර කරද්දීම කෙවින් තම හඬ අවදි කළේය.
"අක්කා, හූස් දැට්?" කෙවින්ගේ පැනය හමුවේ මොහොතක් ගොලුව උන් මගේ සොහොයුරිය මා දෙසටද ඉක්මන් බැල්මක් හෙලා යලි කෙවින් දෙස බැලීය. "ඒ තමයි මල්ලි ඔය පේන වලව්වෙ අයිතිකාරයා" "ඕහ්, ඒත් ඔන්ලි සික්ස් පීපල් ෆොද ෆියුනරල්, වයි?" මගේ සිත නැගුණු පැනයම ඔහුද විමසයි.
යලිත් මා දෙස බැලූ සහෝදරීය අවසන සුසුමක් හෙලුවාය. මා සිත තුළද කුහුළ නලියන බවක් ඇයට වැටහුණු ලෙසකි. " ඒ ඉන්නෙ මිහිසර. ඔය වලව්වෙ අන්තිම උරුමක්කාරය. මරණෙටවත් එන්න වෙන කිසිම කෙනෙක් ඒ මනුස්සයට ඉතුරු වෙල නෑ" ඇගේ හඬ තුළ අඳුරකි. ඇය යන්තමින් සැලුන බවක් දුටුවද එය ඇතැම් විට මගේ සිතුවිල්ලක් වන්නට ඇත. "අනිත් අය කෝ?" කෙවින් තවත් ප්‍රශ්න අසමිනි.
"ඒක අමුතු කතාවක් මල්ලි" "අමුතු?" "ඔව්, ඒ වලව්ව අයිති සාපලත් පෙලපතකට. ගම්මු කියන විදිහට ඒ පරම්පරාවෙ සදහටම ඉපදිලා තියෙන්නෙ පුතාලාම විතරයි. ඒ අයගෙනුත් හත්වෙනි පුතා විදිහට ඉපදෙන කෙනාට ආපහු පුතාලම හත්දෙනෙක් ලැබුණලු. ඒක වාසනාවක් කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් ඒක එහෙම නෑ. මොකද මේ පරම්පරාවෙ ඉපදෙන කිසිම පිරිමියෙක් අවුරුදු 30කට වැඩිය ජීවත් වෙලා නෑලු. ඒ වගේම හැම පවුලකම් ඉපදෙන හත්වෙනි දරුවා තව පිරිමි දරුවො හතක් උපද්දවල ඒ සාපෙ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනිහින්" "එතකොට මිහිසර මේ පවුලෙ හත්වෙනියද?" ඒ පැනය මගෙනි.
මගේ හිතෙහි වූ කුහුල දරාගත නොහැකි ලෙසටම ඉහළ නැග තිබුණි. "නෑ. ඒ හයවෙනිය. වැඩිමල් පස් දෙනාම අවුරුදු තිහට කලින් මැරුණ. ඔය වලව්ව අස්සෙම රිංගගෙන හිතින් විඳව විඳව මිහිසරත් ඉඳියෙ ඕක බලාපොරොත්තුවෙන්. මැරිලත් දවස් දෙකක් විතර මං හිතන්නෙ. දවස් තුන හතරකට විතර වතාවක් ඔය ගේ අස්පස් කරල දෙන්න යන ගමේ ගෑණු මනුස්සයෙක් තමා මිනිය දැකල තියෙන්නෙ.
අන්තිමට මිනියටවත් බල්ලෙක්වත් නැති උනා. පව්, කාටවත්ම වැරැද්දක් නැති අහිංසකයො ටිකක්. බලන්න ලස්සන කොල්ලො" සොහොයුරියගේ හඬෙහි ශෝකය මෙන්ම අනුකම්පාවකි. " එතකොට කෝ හත්වෙනිය" මම යලිත් ඇගෙන් ඇසීමි.
"මිහිසරගෙ තාත්තා හත්වෙනි දරුවෙක් ඉපදෙන්න යනව කියල දැනගත්ත දවස්වලම තීරණයක් අරගත්තලු, දරුවව නැතිකරනව කියල. ඒ වගේම ඉපදුන පුතාලගෙනුත් කිසිම කෙනෙක්ට කසාදයක් කරගන්න අවසර දෙන්නෙත් නෑ කියල. කොහොමින් හරි වජිර වීරපරාක්‍රම පරම්පරාවෙ සාපෙ මෙතනින් ඉවර කළා. තමන්ගෙම පරම්පරාවත් ඉවර කරගත්තා" හදිසියෙම විදුලිසරයක් වැදුණු ලෙසින් කෙවින් මා දෙස බැලීය.
ඔහුගේ දෑස් විසල්ය. මාගේ මොළය තුළද යම් කිසි කොණක මතකයක් ඇවිස්සෙමින් කැලතෙමින් තිබුණි.
"ඉට්ස් මී, ස්වප්න වීරපරාක්‍රම" තම ළය මත අත තබාගෙන තමාටම මෙන් කියාගත් නමුත් ඔහුගේ දෑස් මා දෑස් මතය. නමුත් කඳුළු පිරුණේ මගේ දෑසෙහිය.
"මොකක්ද?" සොයුරියගේ හඬ තුළ වියවුල්සහගත නොසන්සුන්කමකි.
"එයා, අරන් හදාගත්ත කෙනෙක්. එ.. එයාගෙ ස්විස්ටර්ලන්ඩ් පේරන්ට්ස්ලා එයාව ඇඩෝප්ට් කරල තියෙන්නෙ ශ්‍රීලංකාවෙන්. එයාගෙ බයොලොජිකල් ඩෑඩ්..." මගේ හඬ වෙව්ලනු මට දැනුණි. දෙපා වාරු නොමැති බවක් හැඟෙද්දී කෙවින්ගේ ටීශටය ගුලිකොට අල්ලාගත් මම ඔහු ළයට තුරුළු වීමි.
"වජිර වීරපරාක්‍රම" මට කියාගන්නට නොහැකි වූ කොටස කෙවින් සම්පූර්ණ කළේය. මට සියල්ල අඳුරු වී යනු දැණුනි.
ඒ සමග ම කුස තුළ කුඩා ස්පන්දනයකි, නව ජීවයක හෘදස්පන්දනයක්. පරපුරෙහි නව චක්‍රයක ඇරඹුම.
Written by Chathuri Nisansala
වැහි හිරිකඩ එක්ක කවුලුවෙන් ඇතුලට ගහගෙන ආපු හීතලම හීතල හුළඟක් මූණ ඉඹිද්දි එච්චර වෙලාවක් මූණෙ බර දරාගෙන හිටපු අත් දෙක අරන් මම එකට ගැටගහගත්තෙ හැමදාම විඳින හීතලට පිටස්තරින් දැනුණ ආගන්තුක වැහි හීතලෙන් වෙව්ලන ගමන්. පැයකට විතර කලියෙන් හදාගෙන ආපු කිරි තේ එක ජනෙල් කවුලුව උඩම හීතල වෙලා තිබ්බෙ එකම උගුරක්වත් නොබී.
හිත ඇතුලෙ මුල්බැහැගත්ත මිදුණු සීතල ගිනි කන්දක් ගිල්ලත් දියකරල දාන්න බැරි තරම් වෙද්දි උණු තේ කෝප්පයකට කරන්න පුලුවන් මොනවද? හරිම විහිලුවක්. පලල් ජනෙල් බැම්ම උඩින් බිමට නොබැහැම මම තවත් එලියෙ වැටෙන වැස්ස දිහා බලන් හිටිය. වැහි අඳුරෙන් වෙලාගත්ත පරිසරය හරිම ලස්සනයි. මේ මගේ ලෝකය. හැමදාමත් මං ආස කරපු ආදරේ කරපු ලෝකය. කහපාටට දිලිසුණාට, එලිය දුන්නට ඉර අව්වකට බැහැ පුලුවන්ද ලෝකෙට මෙච්චර ලස්සනක් සැනසුමක් ගේන්න. හැමදාමත් වැස්සට ආදරේ කරපු මම ඉරට අකමැති උනාම නෙමෙයි.
ඒත්,...... එලිමහන දිහා බලාගෙන හිටපු මගෙ අවධානය බිඳුනෙ මොකක්දෝ බිම වැටෙන හඬින්. ජනෙල් පඩිය උඩ ඉඳගෙනම මම බිම බැලුවෙ කම්මැලිකමින්. ආහ්, රෝමියෝ ජුලියට්. කට පාඩම් හිටිනකම්ම සිය දහස්වතාවක් කියවල ඇති. මම කවදාවත් ඒ කතාවට කැමති උනේ නෑ. අප්‍රමාණව වෛර කලා. ඒත් පිටු අතරින් රෝස සුවඳ හමපු ඒ පොත මගෙන් ඈත් කරන්න මට ඕන උනේ නෑ. ඒ එයාගෙන් ලැබිච්ච පලවෙනි තෑග්ග. ජනෙල් පඩියෙන් බිමට බැහැපු මම ඒ පොත අහුලල අතට අරන් ආපහු ජනෙල් පඩිය උඩින්ම වාඩිවුනේ පොත පපුවට තුරුල් කරන්.
පොතේ පිටු අතර සුවඳ යාන්තමින් නාස්පුඩු කිතිකවනව. ඒ අතරෙ ඊටත් සැරට කවුලුව ගාවම රෝස පඳුරෙ පිපිල තිබ්බ ලොකුම ලොකු රෝස මලෙන් සුවඳ හමනව. වැහි හුළඟට, සැඩ වැහි බින්දුවලට එකෙල මෙකෙල උනත් රෝස පෙති බිඳෙන්නෙ නැතුව දරාගෙන ඉන්න හැටි පුදුමයි. හ්ම්ම්ම්ම්. පපුවෙ පිරුණු බර හුස්ම පිටකරගත්තෙ හරිම ආයාසයකින්.
ඒ රෝසමලත් හරියට...... බෙල්ලට දැනුනු හුස්මක් එක්කම මගෙ මූණට ආවෙ හිනාවක්. ඇඟ වටේ එතුණු අත් දෙකක්, බෙල්ලෙ තැවරුණු ආදරණීය දෙතොල්. ඒ මගේ ස්වර්ගය. කන් පෙති, නලල, හිස් මුදුන, නහය, අන්තිමටම තොල්වලට ලැබුණු ආදරණීය හාදු. මගේ ඉස්සරහම ඉඳගෙන හිනාවෙන ඒ ආදරණීයම ඇස්.
උණු තේ කෝප්පයකය, ගිනි කන්දකට දියකරන්න බැරි හීතල අතුරුදහන් කරවන ඒ ආදරය. මම ඒ උණුහුම් පපුවට ඔලුව තියාගත්ත. මගේ අත් වලින් මගේ වටිනාම වස්තුව තුරුල් කරගත්ත. ඒත්,.... ආයෙමත් මිදෙන හීතල. ඒත් එයා තවම හිනාවෙනව.
මගෙ ඇස් අගක කොහෙන්දෝ ආපු කඳුලු. නලලට දීපු හාදුවකට පස්සෙ එයා මට අත වැනුව. හැමදාමත් වගේ මාව තනියම දාල එයා අදත් යන්න යනව. මගේ හීතල ලෝකෙ මම විතරක් තනිවෙනව.
මම ඇස් පියාගත්ත. මට එයා යනව බලන්න ඕනි නෑ. ඒක ලොකු වේදනාවක්. මොහොතකට පස්සෙ ඇස් ඇරල බලපු මට ඉතුරුවෙලා තිබ්බෙ තනිකමයි සීතලයි. ජනෙල් පඩියෙන් බිමට බැහැපු මම ජනේලෙ වහල දැම්ම.
අහම්බෙන් කැඩපත බැලුව මගෙ ඇස් නතර උනේ මගෙ කොන්ඩෙ මත. කොන්ඩෙ පුරාවට හුළඟෙන් ඉහුණු වැහි හිරිකඩ සැරසිල්ලක් වගේ. හරියට මනමාලියෙක්ගෙ සැරසිල්ලක් වගේ. එයා ඒක නොදකින්න ඇති.
එයා දැක්කොත් ලස්සනයි කියයි. පොත් රාක්කෙ උඩින් කාර් එකේ යතුර ගත්ත මම තෙමි තෙමිම දිව්වෙ එලියෙ තිබ්බ කාර් එක ගාවට. කාර් එකට ගොඩවෙලා ඒකත් අරන් මම පාරට දාගත්තෙ එයාව බලන්න යන්න.
ඒත් වත්තෙන් එලියට ගනිද්දිම ලස්සන මල් පොකුරු පිරුණු ගහක්. මේ එයාගෙ ආසම මල් ජාතිය. වැස්සවත් නොතකාම අත එලියට දාපු මම මල් පොකුරක් නෙලාගත්ත. එයා ආසම මල් පොකුරක් එක්ක වැහි බින්දු වේල් එකක්. මං හිතන්නෙ මට පිස්සු හැදීගෙන එනව.
කොහොම උනත් එයා ආස වෙයි. මාර ගස් වලින් හෙවන උන පාර අඳුරුයි, ඒත් හරිම ලස්සනයි. අඳුර, මම ආසම අඳුර. වැහි බිංදු වලින් හේදුනු පාර හරිම ලස්සනයි. කඳු බෑවුමෙන් පහලට ඇඳුනු ඒ පාර ලස්සනම චිත්‍රයක්.
හුරුපුරුදු පාර දිගේ ගිහින් මම කාර් එක නැවැත්තුවෙ කඳු පාමුල. මල් මිටත් අතට අරන් කාර් එකෙන් බැහැපු මට ඊළඟට වැස්සෙම පාරෙන් පහලට ගමනක්. එයාවයි මාවයි මුනගස්වපු, අපි ගොඩක්ම ආස කරපු මේ ලෝකෙ ලස්සනම ආදරණීයම නිම්නය.
කඳු පාමුල දිව්‍යලෝකය. නිමනය පුරාම ලස්සන මල්. වැහි කලුවරෙත් ඒව දිලිසුනේ පුදුම ලස්සනකින්. හෙමි හෙමින් මම ඇවිදගෙන යද්දි ලස්සන රතු මැයි ගස් දෙකක් යට හෙවනක එයා හිනවෙවී බලන් ඉන්නව.
රතු කැට වගේ පිපුණු මැයි මල් අතරෙම දියමන්ති වගේ වැහි බින්දු. මෙතනට වැඩිය ලස්සන තැනක් ලෝකෙම කොහෙද. එයා ගාවට ඇවිදගෙන ගිය මම අතේ තිබ්බ එයා ආසම මල් මිට එයා ගාවින් තිබ්බ.
එයා තාමත් හිනාවෙනව, එදා වගෙම. එයාව දෑතින්ම තුරුල් කරගෙන මම ඒ හිනාවෙන තොල් උඩින් හාදුවක් තිබ්බ. බදාමයෙන් බැඳල තිබ්බ කණුවකට අල්ලපු ඔයාගෙ රූපෙ තාම හිනාවෙනව.
මගෙ ඇස් වලින් කඳුළු වැටෙනව කියන එක ගැන ඔයාට ගාණක්වත් නෑ. අපිව මුණගස්සපු, අපිට ආදරේ හොයල දීපු සුන්දරම සුන්දර මේ නිම්නයම ඔයාව මගෙන් උදුරන් අදට මාස හයක්.
ලෝකෙටම අමතක උනත් මං කොහොම අමතක කරන්නද?
මාරයට ඔයාව ගෙනියන්න උදව් කරපු ඒ කාර් එකට වෛර කලාට ඔයාව මේ නිම්නයටම අයිතිකරගන්න ඉඩ දීපු වැස්සට වෛර කරන්න මට තවම බැරි උනා.
අපේ ආදරේ ප්‍රකාශ කරපු මේ මැයි මල් හෙවනම ඔයාගෙ සදාකාලික නින්දට හෙවන දෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ. මම කවදහරි එන දවසක් වෙනකම් ඔයාගෙ පැත්තකින් තියන මේ ඉඩ මටම වෙන් කරල තියාගන්න.
මට දැන්ම එන්න බැරිවෙයි. මොකද ඔයාගෙ අන්තිම තෑග්ග පරිස්සම් කරන්න තියනව. උතුම්ම තෑග්ග.
ආහ්. පුංචිම පුංචි තට්ටුවක්. මම දන්නව රත්තරං ඔයා ඉන්නව කියල. මම ඔයාව පරිස්සම් කරනව.
Written by Chathuri Nisansala
හිරු සැඟවීම ගොස් ඇති හැඩකි. කඳු පියස්සාව වටා ගී ගයමින් ඉගිලෙන වැහි කෝඩය නොනැවතී වැහිබිඳු බිම හලයි. හිමිදිරි සිහිල හෝදා වැහි සිසිල පරිසරය ම වෙලා ගෙන තිබුණි. එනමුදු මා හද උණුහුමකින් පිරී තිබුණි. යලිත් වරක් මා ජැකට්ටුවේ වම්පස සාක්කුවට අත තබා බැලීමි. ළයේ ගැවෙනා මායිමෙහි ඒ දිලිසෙනා කුඩා තිලිණය තිබුණි. හුස්මක් ඉහළ ඇද වැහි හුළඟෙන් ළය පුරවාගෙන නිවසින් පිටතට පියවරක් තැබීමි.
හිසට ඉහළින් උසුලා ගත් කුඩය කඳු මුවුනත හරහා හමා යන හුළඟ සමගින් අරගලයකය. අසීරුවෙන් එයද වාවාගෙන අනික් අතෙහි වු සුවඳැති ක්‍රිසන්තියම් මල් පොකුර මම සිරුරට මුවාකරගතිමි.
සුළඟට එය සුණුවිසුණු කරනට ඉඩ දිය නොහේ. වර්ෂාව මැද ඉදිරියට යාමද තරමක අසීරුවක් උව මා නතර කළ හැක්කේ නම් කා හටද? අද නම් යා යුතු ම දිනයකි. ඉදින් මම වැසි දියෙන් තෙමෙමින් ඇට මිදුලු දක්වා ම කාවදින සීතලෙන් වෙව්ලමින් ම මම කඳු පාමුලට බැස යාන්තමින් වැසි මුවාවකට පා තැබීමි.
වැස්සෙහි හඬ තවද ඇසේ. එනමුදු හිසට ඉහළින් නැගි මැයි මාර ගස් දෙපේලිය මද සහනයක් ගෙනදුනි. රතු පැහැයෙන් පිපී තිබූ මැයි මාර මල් වැසි දියෙන් පහර ලද නටුවෙන් ගිලිහී බිම වැටෙමින් තිබුනේ වැස්සට ම මුහු වෙමිනි. එය අද දිනයට හොඳ ම රතු පාවඩයකි.
අහා... අවසන මම එහි පැමිණියෙමි.
නොපැමිණියා නම් කුමට? මා අපේක්ෂාවෙන් එහි රැඳී සිටි තැනැත්තියගේ නෙත් මත දුලමින් තිබූයේ මා දුටු ප්‍රේමණීය ම මදහසයි.වදනක් හෝ නොදොඩාම අත වූ ක්‍රිසන්තියම් පොකුර ඈ හට දුනිමි. වෙනත් තිලිනයක් නම් අවැසි නොවන බව මම දනිමි.
අද වැනි දිනක මෙතරම් වැසි වැටෙන හිමිදිරියේ ම ක්‍රිසන්තියම් මල් පොකුරක්ද අත දරා මා ඈ සොයා පැමිණීම ම ඈ හට තිළිණයක් සදිසි බව දනිමි. එනමුදු මම ඇයට තවත් දෑසින් සිනහ විසිරුවන්නට ඉඩ දී නැඹුරුව ඈ දෙතොල් පෙති සිපගතිමි.
සීතල පරයමින් මා හද තුළ උණුහුම නැගෙන්නට විනි. මම සිනහ සැලුවෙමි. ඈ වඩා සුන්දර සිනහවක් මුව දරා උන්නාය. අවසන මම මගේ ජැකට්ටුවෙහි සාක්කුවට අත දමා එය පිටතට ගතිමි. කුඩා හුරුබුහුටි , එමෙන් ම දිලෙන කුඩා තිළිණය. දිලෙනා රිදී පැහැ කර මාලයෙහි එල්ලෙන කුඩා රිදී හදවතකි.
ඈ සැමදාමත් එවැනි දේට ආශා කල බව දනිමි. මගේ දෑතින් ම එය පැළඳවූ මම ඈ වැළඳ මිනිත්තු කිහිපයක් ගත කළෙමි. කිසි දිනක ඈ තුරුලෙන් මිදෙන්නට අවැසි බවක් නොදැනේ. ඈව වැළඳ හිඳිනා අතරතුර ම යලිත් ඒ දෙතොල් තව වරක් සිපගතිමි.
"සුබ උපන්දිනයක් මගෙ බෝනික්කි. ඔයාට නම් වයස කියන්නෙ නිකන් ම නිකන් ඉලක්කමක්" මා එලෙස මුමුණද්දී උව ඇගේ දෙතොලතර ඒ නොවෙනස් සිනහව එලෙසින් ම රැඳී තිබුණි. ඈ වෙන නම් කුමක් කරන්නද? මම ද කඳුළු ගලනා වේදනාබර හදවත ආයාසයෙන් වසාගෙන සිනහවක් පෑමි. කිමද මට ඈ අබියස හඬනු නොහේ. එහෙයින් යලිත් මීපැණි තැවරූ සිනහවක් පෑ මම හිසට ඉහළින් නැගි කිරිගරුඬ පියස්සාව දෙස බලා ශෝකය පාකොට ඈ අසල හිඳගෙන දොඩන්නට උනෙමි. ඒ සයවන අවුරුද්දයි. රිදී කරාබු යුගල, මුදුව, අත් පලඳනාව,මේ වසරෙහි කර මාලය.
ලබන වසරෙහි මම ඈ වෙනුවෙන් පා සළඹක් ගෙනෙමි. සිතුවිලි අතර ම යලිත් මම ඈ දෙතොල් සිපගතිමි. ඈ මගේ මත්වීමයි. උණුහුම මුසු මුදුබව වෙනුවට පිඟන් ගඩොලක දැඩි සීත බව දෙතොල විඳගනිද්දී මම කඳුලක් සැනෙන් පිසගතිමි. කම් නැත, ඇය නිදනු ඇත. මම ඈ සමීපයෙහි සිට දොඩමි. ඈ අසා සිටියාවේ. නිමි.